බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන sky robarta macgowan පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේද ටික දිනක් මෙහි නතර වී තම සිත් ගත් ස්ථාන හිතේ හැටියට නරඹා ආස්වාදයක් ලබා ගැනීම සඳහා ය. ඇයට වුවමනා වූයේ ලංකාවේ සංචාරය කර තොරතුරු එක්රැස් කර ඇගේ යූටියුබ් නාළිකාවේ ප්‍රචාරය කිරීමටය. ඇය මෙලෙස ලෝකය පුරා විවිධ රටවල සංචාරය කරමින් ලබාගන්නා අත්දැකීම් මෙන්ම තොරතුරු ඇසුරෙන් නිර්මාණය කරන ලද ලිපි හා ඡායාරූප තම නාළිකාව මඟින් ලොවටම හඳුන්වා දීම සිදු කරන්නේ විනෝදය සඳහා ම නොවේ. ඇගේ ආර්ථික මාර්ගය සකසාගෙන ඇත්තේ ද මේ මඟින් බව පැහැදිලිය.
මේ වන විට ලෝකයේ විවිධ රටවල් තිස්හයක සංචාරය කර ඇති ඇය තවමත් 26 වැනි වියේ පසුවන තරුණියකි.
පසුගිය 23 වැනිදා ලංකාවට පැමිණි ඇය දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන් පොළක කාමරයක නතර වූයේ විවේක සුවයෙන් සිට තම අරමුණට ළඟා වීම සඳහාය.
ඇය මුලින්ම සංචාරය කිරීමට තෝරා ගත්තේ ඇල්ල ප්රදේශයයි. ඒ සඳහා පසුගිය මැයි 25 වන දින උදෑසනින්ම දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කළත් දුම්රිය මඟහැරී ගියේ සුළු අතපසු වීමකින් විය යුතුය. එහෙත් එම ගමන කල් දැමීමට කටයුතු කළේ නැත.
පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළට පැමිණි ඇය පස්සර බලා පිටත්වන අධි සුඛෝපභෝගී බස් රථයකට ගොඩ වූයේ ඉන් අනතුරුවය.
සුව පහසු අසුනක හරිබරි ගැහී වාඩිවූ ඇය රැගෙන ගිය බෑග් දෙකෙන් එක් බෑගයක් ඇය අසල අසුන මත තබා අනෙක් බෑගය දෙපා අසල තබා ගත්තේ විශාල බරකින් නිදහස් වූ ලෙසිනි. මගියෙකු පැමිණ ඇය අසල අසුනේ වාඩි වූයේ ඔහු රැගෙන ආ බෑගය ඇගේ බෑගය අසලින් තබන අතරය. ඇයට ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොතිබූ අතර ටික වේලාවක් රැඳී සිටි මෙම මගියා බස්රථයෙන් බැස ගියද ඒ පිළිබඳව ද ඇය වැඩි තැකීමක් කළේ නැත. එහෙත් ඇයට දෙවියන් සිහි වූයේ බස් රථය පිටත් වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ ඇගේ එක් බෑගයක් නොමැති බව දැන ගැනීමෙන් පසුවය. ඇය මේ බව බැස්ටියන් මාවත පොලිස් මුරපොළ වෙත දැනුම් දුන්නේ පිළිසරණක් පතාගෙනය.
පසුව පිටකොටුව පොලිසිය වෙත යොමු කළ ඇය ඇගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම වෙතය.
මේ පිළිබඳ පිටකොටුව පොලිසිය විමර්ශන ආරම්භ කළේ උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුවය. සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු පිළිබඳ යම් හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසියට හැකි වී තිබිණි. ඔහු සිටියේ හිස්වැස්මක්ද පැලඳ ගෙනය. පොලිසිය ඊළඟට කළේ අපරාධකරුවන්ගේ ඡායාරූප ඇල්බම් සහ විස්තර සමඟත් පිටකොටුවේ වෙළඳුන්ගේ තොරතුරු සමඟ එම පුද්ගලයා ගැන යම් අදහසක් ලබාගැනීමට උත්සාහ කිරීමයි. මෙහිදී අනාවරණය වූයේ මෙම පුද්ගලයා මීට පෙර පිටකොටුව බස්රථවල බැලුම්, ස්ටිකර් වැනි ටොයිස් බඩු අලෙවි කළ අයෙකු බවය. ඔහු පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමේ දී කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ සිටින බවට පොලිසියට තොරතුරු ලැබිණි.
මේ අතර පොලිසිය සැකකරු පදිංචි එම නිවස සොයා ගියත් ඔහු එහි නොසිටියේය. අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ එම ප්‍රදේශයේම වෙනත් නිවෙසක සැඟවී සිටියදීය.
මෙම සැකකරු විදේශීය කතගෙන් සොරාගත් භාණ්ඩ පෑලියගොඩ ප්‍රදේශයේ දුරකතන අලෙවිසලක සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේ ඔහුගේ ප්‍රකාශ මතය. මීට පෙර වෙනත් රටවල දී ඇය මෙවැනි කරදරවලට මුහුණපා ඇති අතර එහිදී ඇගේ නැතිවූ බඩු කිසිදිනක සොයා ගැනීමට නොහැකි වූ බව ඇය පවසා සිටියේ පොලිසියට දහස් වරක් ස්තුතිවන්ත වෙමිනි. ඇයට අවශ්‍ය ආරක්ෂාව හා කෑමබීම සපයා දී අවශ්‍ය පහසුකම් සලසා දීමද එම කාලය තුළ පොලිසිය සිදු කළේ ඇය තනිවී නොමැති බව පෙන්වා දෙමිනි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වූ 26 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුට අවසානයේ සිදු වූයේ සිර බතේ රස විඳීමටය.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න, වැඩබලන පොලිස් අධිකාරී බිමල් රත්නායක, සහකාර පොලිස් අධිකාරී කමල් කිරිඇල්ල යන නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණයෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරජිත්, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන් 40746 රංජිත්, කොස්තාපල් 102526 රණතුංග යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ