Home » මත්ලෝලීන් ඇප දී මුදාගෙන ඩුබායි පාතාලයන් ගහන ගේම

මත්ලෝලීන් ඇප දී මුදාගෙන ඩුබායි පාතාලයන් ගහන ගේම

by thanushika
June 15, 2024 12:30 am 0 comment

මෙරට පිහිටි මූල්‍ය ආයතන සහ ස්වර්ණාභරණ වෙළෙඳසල් කොල්ලකෑම් කීපයක්ම පසුගිය දිනවල වාර්තා විය. එම කොල්ලකෑම් සිදුකරන ලද සංවිධානාත්මක කණ්ඩායම් විසින් කෙතරම් සූක්ෂ්ම ලෙස සිදු කළද දක්ෂ පොලිස් නිලධාරින් නිසා එම අපරාධ බොහොමයක සුලමුල අනාවරණය කරගැනීමට හැකි වුණේ ඒවාට සම්බන්ධ සැකකරුවන් පමණක් නොව එලෙස පැහැරගත් රන් ආභරණ සහ මුදල් ද සොයා ගනිමිනි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත යුක්තිය මෙහෙයුම පසුගිය දෙසැම්බර් 17 දින ඇරඹුණේ මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා තුරන් කිරීමේ අරමුණෙනි. යුක්තිය මෙහෙයුම දිනෙන් දින පුළුල් කරමින් අපරාධකරුවන් පසුපස හඹා යෑම සඳහා පොලිස් නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගෙන් සමන්විත අධිවේගී යතුරුපැදි සහිත විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකොට ස්ථාපිත කෙරුණේ පසුගිය මාර්තු 19 දාය.

මේ වන විට එම විශේෂ පොලිස් කණ්ඩායම් 20 නිලධාරින් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අමතරව රට තුළ සිදුවන අනේකවිධ සොරකම්, කොල්ලකෑම් වැනි අපරාධ ක්‍රියාවල නිරත වන්නන් පසුපස ද හඹා යමින් සිටින්නේ තවදුරටත් එවැනි අපරාධකාරයන්ට නීතියෙන් සැඟවී සිටීමට නොහැකි බව පසක් කරමිනි.

හෝමාගම නගරයේ පසුගිය මැයි මස 10 වැනිදා ස්වර්ණාභරණ වෙළෙඳසලක් කොල්ලකා ලක්ෂ 43ක පමණ රත්රන් සහ මුදල් පැහැරගෙන ගිය කොල්ලයේ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන කොල්ලකෑ රන් ආභරණවලින් ග්‍රෑම් 97ක පමණ ප්‍රමාණයක්ද සොයා ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන යුක්තිය විශේෂ මෙහෙයුම් කණ්ඩායම් 20හි ‘ගෘප් නම්බර් ඉලවන්‘ (Group No. 11) කණ්ඩායමේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එන්. වීරසිංහගේ නායකත්වයෙන් යුත් නිලධාරින්ට හැකි විය.

එම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන කොල්ලකෑ රන් සොයාගත් අයුරු පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

පසුගිය මැයි මසස 10 වැනිදා මහ දහවලේ හෝමාගම නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසලක් කොල්ලකා තිබුණේ යතුරුපැදි දෙකකින් පැමිණි 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි. රන් මුදුවක් මිලදී ගැනීමට පැමිණි අය සේ එම වෙළෙඳසලට ඇතුළුවූ පුද්ගලයන් දෙදෙනා තත්පර කීපයක් ගතවෙද්දී සඟවාගෙන සිටි පිස්තෝලයක් එළියට ගෙන වෙළෙඳසලේ සේවකයන් බියගන්වා රන් ආභරණ කොල්ලකා පලා යන ආකාරය එම රන්හලේ සීසීටීවී කැමරාවල මනා ලෙස සටහන්ව තිබිණි.

කිසිවකුත් නොසිතූ මොහොතක දෙනෝදහක් බලා සිටියදී සිදුවූ එම කොල්ලය පිළිබඳ හෝමාගම මූලස්ථාන පොලිසියට ලද පැමිණිල්ල සමඟ සැණින් පොලිස් නිලධාරින් එහි ගොස් ඒ පිළිබඳ මූලික විමර්ශන සිදු කරමින් පුළුල් විමර්ශනයක් සිදු කළේ අවට සීසීටීවී කැමරාද පරීක්ෂා කරමිනි. තොරතුරුකරුවන් මාර්ගයෙන් ද එම කැමරාවන්හි සටහන් වූ කොල්ලකරුවන් හඳුනා ගැනීමට ද විමර්ශන සිදු කෙරිණි.

එම කොල්ලය පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද දැනුම්වත් කිරීමත් සමඟ එහි විමර්ශන පොලිස්පතිවරයාගේ ද අවධානයට යොමු කෙරිණි. දින ගණනාවක් ගෙවුණද විමර්ශනවල ප්‍රගතියක් නොවූ හෙයින් පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත් වීමෙන් එම සොරකම පිළිබඳ විමර්ශන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට යොමු කිරීමත් සමඟ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත ‘ගෘප් ඉලවන්‘ කණ්ඩායමට යොමු කෙරුණේ එම කණ්ඩායම ඒ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සෑම අස්සක්-මුල්ලක් නෑර කරක් ගසමින් අපරාධකාරයන් පසුපස හඹා යමින් සිටි මොහොතකය.

ඒ අනුව පසුගිය 29 වැනිදා ගෘප් ඉලවන් කණ්ඩායමේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එන්. වීරසිංහට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.

“සර්… අර හෝමාගම රොබරියට සම්බන්ධ කට්ටිය තව වැඩකට සෙට් වෙන්නයි හදන්නේ… ඉස්සෙල්ලා වැඩේට සෙට් වුණ කළුතර දෙන්නත් ඇවිල්ලයි ඉන්නේ…“ යැයි පවසමින් එම අපරාධකරුවන් හෝමාගම, හබරකඩ නිවසක සිටින බවද තොරතුරුකරු ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය.

එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ඩී.එන්. වීරසිංහ ඇතුළු කණ්ඩායම අදාළ නිවස සොයා ගියේය. දෙදෙනා එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත්තේ එම කොල්ලය සම්බන්ධව විමර්ශනය සඳහාය.

එහිදී විමර්ශන නිලධාරින් සැකකරුවන් දෙදෙනාගෙන් හෝමාගම ස්වර්ණාභරණ වෙළෙඳසලේ සිදුවූ කොල්ලය ගැන ප්‍රශ්න කරන්නට වූයේ එම නිලධාරින්ද ඒ වන විට සොයාගෙන තිබූ තොරතුරුවලට අනුවය. අත්අඩංගුවට ගෙන සිටි 25 හැවිරිදි ‘ඉස්සා‘ සහ 36 හැවිරිදි ‘ලල්ලා‘ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන කළුතර පදිංචිකරුවන් වන සැකකරුවන් ඔවුන් සිදුකළ රන් කොල්ලය පිළිබඳ අකුරක් නෑර පොලිසියට හෙළි කළේ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් කීපදෙනෙකුගේ නම්ගම්ද හෙළි කරමිනි. මේ දෙදෙනා අත්අඩංගුවට ගත් නිවසේ තිබී රන් කොල්ලය සඳහා යොදාගත් යතුරුපැදියට භාවිත කළ ලැමිනේට් කරන ලද යතුරුපැදි අංක කොළයද පොලිසිය සොයාගත්තේ එය පුළුස්සා දැමීමට දුන් පුද්ගලයා සතුව තිබියදීය. රන් කොල්ලයේ සුලමුල ඉන් අනතුරුව අනාවරණය වන්නේ මෙසේ ය.

ලල්ලා සහ ඉස්සා මීට පෙර බන්ධනාගාරගතව සිටි දෙදෙනෙකි. ඔවුන්ට බන්ධනාගාරයෙන් නිදහස් වීමට ඇප ලැබුණද එම ඇප ගෙවා ගැනීමට නොහැකිව සිටියදී ඇප ගෙවා තිබුණේ ඩුබායිහි සිටින මෙරට අපරාධකාරයෙකි. මේ දෙදෙනා ඇප ලබා හිරෙන් පැමිණීමෙන් පසු ඊට ප්‍රතිඋපකාර නැතිනම් එම මුදල් ආපසු ගෙවීමට ක්‍රමයක් ලෙස ඩුබායි අපරාධකරු මේ දෙදෙනාට යෝජනාවක් කර තිබිණි. ඒ මංකොල්ලකෑමක් පිළිබඳවය. මහරගම පිහිටා තිබෙන මෙරට ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළෙඳසල් ජාලයක මාසික වේතන රැගෙන යන වාහනයක් කොල්ලකෑම එම යෝජනාවයි.

ඒ සඳහා ඉස්සා සහ ලල්ලා ඉකුත් මැයි මස 8 වැනිදා කළුතර සිට පැමිණ නතර වූයේ අතුරුගිරියේ, ශාන්තාලෝකගම පිහිටි හෝටලයකය. දෙදෙනාට එම හෝටලයේ කාමරයක් වෙන්කර දී තිබුණේ එහි පැමිණි තවත් පුද්ගලයෙක් විසිනි. ඔහුගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම එහි නවාතැන් ගැනිණි. පසුව දෙදෙනා එම කාමරයේ සිට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයකොට එදින රාත්‍රිය ගත කළෝය. ඒ අතරේ තවත් පුද්ගලයෙක් පැමිණ දෙදෙනාට යතුරුපැදියක් සහ විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක්ද දී තිබිණි. ඒ එන පුද්ගලයන් කවුරුන්ද යන්න ඔවුන් කිසිවෙක් ඒ වන විට එකිනෙකා හඳුනාගෙන සිටියේ නැත. ඒ සියලු දෙනාම මෙහෙයවා තිබුණේ ඩුබායි සිටින අපරාධකරු විසිනි.

මැයි මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා දෙදෙනා හෝටලයේ ගත කළහ. 10 වැනිදා පෙරවරුවේ යතුරුපැදියකින් තවත් දෙදෙනෙක් ද හෝටලයට පැමිණියෝය. අනතුරුව සිවුදෙනා යතුරුපැදි දෙකේ නැඟී එදින දහවල් 10ට පමණ යන්නේ මහරගම, නාවින්න ප්‍රදේශයටයි. ඒ රෙදිපිළි වෙළෙඳසල් ජාලයේ මාසික වේතන රැගෙන එන වෑන් රථය කොල්ලකෑමේ අරමුණෙනි.

නාවල සිට පැමිණෙන එම වෑන් රථයේ දෝෂයක් හෙයින් එදින එය නොපැමිණෙන බව ඒ මොහොතේ ඩුබායි සිට වට්ස්ඇප් දුරකතන ඇමැතුමක් ලැබී තිබුණේ එම පුද්ගලයන් සිවුදෙනාගෙන් කෙනෙකුටය. අනතුරුව මඳ වේලාවකින් ඩුබායි සිට නැවත දුරකතන ඇමතුමක් ලැබිණි.

“දැන් ඔය වැඩේ හරියන්නෙ නෑ… උඹලා හතරදෙනා ඔහොමම පලයන් හෝමාගමට… හෝමාගම ජුවලරි ෂොප් එකකටවත් ගේමක් ගහලා පලයල්ලා…“ යැයි ඩුබායි පුද්ගලයාගෙන් ලද ඇමතුමෙන් කියැවිණි.

එසැණින් ඩුබායි අපරාධකරු විසින් යතුරුපැදියක නංවා තවත් දෙදෙනෙකු හෝමාගමට ස්ථානගත කළේ එම ස්වර්ණාභරණ වෙළෙඳසල අසල ඔත්තු බැලීමටය. නාවින්නේ සිට හෝමාගමට එන අතරතුර එක් යතුරුපැදියක පැමිණි දෙදෙනෙක් කොට්ටාවේ ස්වර්ණාභරණ වෙළෙඳසලක් කොල්ලකෑමට ද තැත් කරන ලදි. එහිදී හිස් ආවරණද පැලඳ එම වෙළෙඳසලට ගොස් එහි දොර එළියට අදින්න (full) යැයි සඳහන් කර තිබුණද ඔහු කලබලයෙන් මෙන් එය ඇතුළට තල්ලු කිරීමත් සමඟ එම පුද්ගලයා පිළිබඳව සැකයක් ඇතිකර ගත් වෙළෙඳසල් හිමිකරු එහි දොර ස්වයංක්‍රීයව අගුළුදා තිබුණේ හිමිකරුට එම තැනැත්තා අපරාධකරුවකු බවට ඉවෙන් මෙන් දැනුණු හෙයිනි.

ඒ සමඟම එම ස්ථානයෙන් පලාගිය එම දෙදෙනා සහ සෙසු යතුරුපැදියේ ආ දෙදෙනා හෝමාගම නගරයට පැමිණියෝය. ඒ වන විට හෝමාගම නගරයේ සිටි දෙදෙනා හෝමාගම නගරයේ ස්ථානයක් ගැන කීවේය. එහෙත් හෝමාගම රැඳි සිටි දෙදෙනා කී ස්ථානය නාවින්නේ සිට පැමිණි සිවුදෙනාට සොයා ගැනීමට අපහසු විය. කෙසේ හෝ යතුරුපැදි දෙකේ පසුපැදිකරුවන් දෙදෙනා ඇතුළු වූයේ හෝමාගම නගරයේ හතරමං හන්දිය අසල දකුණු දෙසින් පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසලටයි. ඒ දෙදෙනාගේ සහෝදරයකුගේ විවාහයකට අවශ්‍ය කරන බරින් වැඩි මුද්දක් මිලදී ගැනීමට යැයි පවසමිනි.

අනතුරුව දෙදෙනා එම ස්වර්ණාභරණ වෙළෙඳසල කොල්ලකා පලා යන ආකාරය සීසීටීවී කැමරාවන්හි මනා ලෙස සටහන්ව තිබිණි. එලෙස වෙළෙඳසලට ඇතුළුවී තිබුණේ කොල්ල කල්ලියේ කළුතර අයෙක් සහ අතුරිගිරියේ අයෙකි.

“සර්… අපි ඒ රත්තරන් බඩුයි සල්ලි අරගෙන ගියේ හබරකඩ… ශීලාලංකාර මාවතේ ගෙදරකට… එහෙදි රත්තරන් බඩු ටික මෙහේ ඉඳන් වැඩේ මෙහෙයවපු ‘කව්වා‘කියන හබරකඩ පුද්ගලයට දුන්නා… එයා ඒවා වට්ස්ඇප් පොටෝ ගහලා ඩුබායි කෙනාට යැව්වා…“ යැයි අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිසිය ඉදිරියේ පැවැසුවේ එලෙසය.

පසුව එම නිවසේදී තමන් පැමිණි යතුරුපැදි දෙකේ ඒ වන විට සවිකර තිබූ ලැමිනෙටින් කරන ලද ව්‍යාජ නොම්මර සටහන් කොළ දෙක ගලවා එහි සිටි අයෙකුට දුන්නේය. කළුතර දෙදෙනාගෙන් එක් අයෙක් යතුරුපැදියකට නැඟී තවත් අයෙක් සමඟ කළුතර යෑමට පිටත්වෙද්දී අනෙකා ගිනිඅවිය ගෙනැවිත් දුන් හබරකඩ පුද්ගලයා සමඟ ත්‍රිරෝද රථයකට නැඟී කොළඹට ගොස් එතැනින් බසයකට නැඟී කළුතර බලා යෑමට පිටත් විය. ඒ ඉකුත් මැයි මස 10 වැනිදාමය.

හබරකඩ පුද්ගලයා රත්රන් තොගය කිරා බැලීමෙන් පසු තවත් පුද්ගලයෙක් හබරකඩ නිවසට පැමිණ එම රත්රන් තොගය රැගෙන ගියේ ඩුබායි පුද්ගලයාගේ උපදෙස් මතය. එම පුද්ගලයා එදින රාත්‍රියේම නැවත හබරකඩ නිවසට පැමිණ රුපියල් 590,000ක මුදලක් හබරකඩ පුද්ගලයාට දී පිටව ගොස් තිබුණේ ද ඩුබායි පුද්ගලයාගේ උපදෙස් මතය. හබරකඩ පුද්ගලයාට ලැබුණු මුදල් ප්‍රමාණය එම කොල්ලයට එක්වූවන් අතර බෙදා දී තිබිණි. කළුතර එක් පුද්ගලයකුගෙන් ඔහු කළුතර ගිය යතුරුපැදිය ගැන ද පොලිස් නිලධාරින් ප්‍රශ්න කළේය.

“සර්… එදා ඒ බයික් එකේ මම තව කෙනෙක් එක්ක ගියේ…. බයික් එක කළුතර… ගමගොඩ පාලම ළඟදි නතර වුණා… අපි බාස් කෙනෙක් ගෙනල්ලා හදන්න බැලුවා… බැරිවුණා… පස්සෙ ගමගොඩ පාලමෙන් බයික් එක ඒ ඇළට දාලා අපි ගියා…“

ඒ වන විට එම යතුරුපැදිය කළුතර පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන පොලිසියට රැගෙන ගොස් අයිතිකරුවෙක් නැති යතුරුපැදියක් ලෙස පොලිසියේ තබා තිබුණේය. අත්අඩංගුවට ගත් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම විමර්ශනය පිළිබඳ නිලධාරින්ට නැවත තොරතුරක් ලැබුණේ කොල්ලකෑ රත්රන් රැගෙන ගිය පුද්ගලයා පනාගොඩ ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටින බවටය. එම ස්ථානයට ගිය පොලිසිය ඔහුද අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී කොල්ලකෑ රන්වලින් ප්‍රමාණයක් හංවැල්ලේ රත්රන් උණු කරන පුද්ගලයකුට දුන් බව හෙළි විය. එම පුද්ගලයාද සොයා ගිය පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගත්තේ රන් ග්‍රෑම් 80ක ප්‍රමාණයක් ද සමඟිනි.

කෙසේ හෝ කොල්ලකන ලද රන්වලින් ප්‍රමාණයක් සහ මුදල් ද ඒ වන විට කොල්ලකරුවන් විසින් ඩුබායි පුද්ගලයාට හොර රහසේ බෙදාගෙන තිබිණි. හංවැල්ලේ රන් උණු කරන පුද්ගලයා රන්වලින් කොටසක් කොළඹ ප්‍රදේශයේ අයකුට ද විකුණා තිබිණි. එම රන් ප්‍රමාණයද පොලිස් නිලධාරින් විසින් සොයා ගැනිණි. ඒ අනුව කොල්ලකන ලද රන්වලින් ග්‍රෑම් 97ක් පමණ සොයා ගැනීමට පොලිසියට හැකි විය.

පසුගිය මැයි මස 30 වැනිදා සවස් යාමයේ රන් කොල්ලය සඳහා පිස්තෝලය දුන් පුද්ගලයා අතුරුගිරියේ සිටින බවට තොරතුරක් ලැබිණි. පොලිස් පරීක්ෂක ඩී. එන්. වීරසිංහ ඇතුළු කණ්ඩායම ගොස් ඔහුද අත්අඩංගුවට ගෙන ගිනිඅවිය ගැන ප්‍රශ්න කෙරිණි. එහිදී එම පුද්ගලයා කීවේ ගිනිඅවිය හබරකඩ නිවසේ සඟවා තිබෙන බවය. එම තොරතුරු ඔස්සේ විමර්ශන නිලධාරින් ගිනිඅවිය ද සොයා ගැනිණි. එය විදෙස් රටක නිෂ්පාදිත 8.6 මිලිමීටර් වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයකි. එම අවිය සමඟ ජීව උණ්ඩද සොයා ගැනිණි. එම පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කරද්දී ගිනිඅවි රැගෙන ගොස් හෝමාගම නිවෙස් කොල්ලකෑම් පහ,හයක්ද ජ්‍යොතිෂ කාර්යාලයක රන් කොල්ලයක්ද මෝටර් බයිසිකල් කොල්ලයක් සහ ජාඇළදී සිදුකරන ලද කොල්ලයක් ආදී අපරාධ රැසක්ම සිදුකර ඇති බව අනාවරණය විය.

විමර්ශන නිලධාරින් හෝමාගම රන් කොල්ලයට ආදාළව මේ වන විට හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එකිනෙකා නොහඳුනන මේ සැකකරුවන් සියලු දෙනා මෙම කොල්ලකෑම සඳහා යොදාගෙන තිබුණේ ඩුබායිහි සිටින අපරාධකරු විසිනි. ඩුබායි අපරාධකරුගේ සබඳතාව මෙකී අපරාධකාරයන්ට ලැබී ඇත්තේ මීට පෙර බන්ධනාගාරගතව සිටියදීය. බන්ධනාගාරයෙන් නිදහස් වීම සඳහා ඇප ලබා දීමෙන් අනතුරුව ඊට ප්‍රතිඋපකාර ලෙස මෙවන් කොල්ලකෑම්වලට සැකකරුවන් පොලඹවාගෙන ඇත්තේද එම ඩුබායිහි සිටින අපරාධකාරයා විසිනි.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩී. එන්. වීරසිංහ, සැරයන්වරුන් වන (40793) තෙන්නකෝන්, (36410) ගාමිණි, (32053) කොඩිකාර, කොස්තාපල්වරුන් වන (86583) පසිඳු, (31612) ආරියරත්න, (23190) තිසේරා, (94891) චතුරංග සහ (26937) රණසිංහ යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division