Home » පාණදුරේ සංගීතයේදී රවිඳුට මරු කැඳවූ නොහොබිනා විහිළුව

පාණදුරේ සංගීතයේදී රවිඳුට මරු කැඳවූ නොහොබිනා විහිළුව

by thanushika
June 15, 2024 12:30 am 0 comment

කනට මිහිරි සංගීතයට කවුරුත් ලොබ බඳින්නේ ඉන් සිතට ගතට ලැබෙන වින්දනය කියා නිම කළ නොහැකි බැවිනි. කුඩා දරුවාගේ පටන් වියපත් මහල්ලා දක්වා සංගීතයට ඇලුම් නොකරන පුද්ගලයකු සොයා ගැනීම කළුනික සොයා ගැනීමටත් වඩා අමාරු යැයි කීවොත් නිවැරදිය.

පසුගියදා පාණදුර ප්‍රදේශයේද සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. පාණදුර ප්‍රාදේශීය සභාවට අයත් පාණදුර උතුර, රිව්දෙව්ගම අත්පන්දු ක්‍රීඩාංගණයේදී මේ සංගීත සංදර්ශනය පැවැත්විණි. අවුරුදු උත්සවය අවසන් වීමෙන් පසුව පැවැත්වුණු මෙම සංගීත සංදර්ශනය නැරඹීමට අවට ප්‍රදේශවල ජනතාව පවා වැල නොකැඩී ඇදී ආවේ ජන ගඟක් පරිද්දෙනි.

කෙසෙල්වත්ත, දිග්ගල පාර, ජය මාවතේ පදිංචිකරුවකු වන රවිඳු හේෂාන් ප්‍රනාන්දු නමැති තරුණයා ද මෙම සංගීත සංදර්ශනය නැරඹීමට ආවේ අන් තරුණයන් මෙන්ම එය නැරඹීමට ඔහුට තිබූ අසීමිත ආශාව පෙරදැරි කරගෙනය. ‘සංගීතය’ පටන් ගත්තේ බොහෝ රෑ බෝවී වුවත් එහි සිටි කිසිවකුටත් ඒ ගැන ගාණක් නොතිබුණි. ඔවුන්ට උවමනා වූයේ සංගීතයට අනුව නටමින් හිතේ හැටියට විනෝද වීමටය.

තවමත් 17 වැනි වියේ පසු වූ රවිඳු යන්තම් දැලි රවුල මෝදු වෙමින් සිටි ගැටවරයෙකි. ගොරකාන චන්ද්‍රසේකර මහා විද්‍යාලයෙන් දහවන වසර දක්වා අධ්‍යාපනය ලබාගත් ඔහු පවුලේ අගහිඟකම් නිසා පාසල් ගමනට සමු දුන්නේ තවදුරටත් ඔහු වෙනුවෙන් වියපැහැදම් කිරීමට මව්පියන් අපොහොසත්ව සිටි බැවිනි. ඔහුගේ පියා ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිහලක කම්කරු රැකියාවක් සිදු කළ අතර තවමත් ඉගෙන ගන්නා බාල සහෝදරියක් සහ විවාහක වැඩිමහල් සහෝදරයකු ද ඔහුට සිටියේ ඔහුගේ සෙවණැල්ල ලෙස ඔහු තනි නොකරමිනි. මේ අතර පාසල් ගමනට තිත තැබූ රවිඳු පෙදරේරු අත්උදවුකරුවකු ලෙස කටයුතු කරමින් මුදල් උපයා ගත්තේ කිසිවකුටත් බරක් නොවන අයුරිනි.

හෝටලයක සූපවේදියකු ලෙස කටයුතු කරන 21 හැවිරිදි තරුණයකු ද මෙම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ සිටියේ ඔහුගේ මව මෙන්ම ඥාති තරුණ තරුණියන් කීපදෙනෙකුද සමඟිනි. ඔහු පදිංචිව සිටියේ එම ස්ථානයට ආසන්නවය. ඔහුගේ මව එදින සුළු වෙළෙඳාමක් ආරම්භ කර තිබුණි. එනම්, එම ස්ථානයට පැමිණි ජනතාවට අඹ වෙළෙඳාම් කිරීමයි. මෙම තරුණයා ද මවගෙන් අඹ ගෙඩියක් ඉල්ලා කපාගෙන එහි රස බැලුවේ යහළුවන් සමඟ බෙදාහදාගෙනය.

‘සංගීතය’ පටන් ගත්තේ රාත්‍රී දහයට පමණය. පිරිස ටිකෙන් ටික නටන්නට පටන්ගත්තේ මේ අතරය. රාත්‍රී 12 පමණ වෙද්දී නර්තනයේ යෙදුණු පිරිස සිටියේ නර්තනයේ උච්චතම අවස්ථාවකය. රවිඳු නටමින් සිටියේ සූපවේදී තරුණයා සහ ඔහුගේ මව ඇතුළු පිරිස ආසන්නයේමය. සංගීතයේ රිද්මය වැඩි වන විට නර්තනයේ වේගයද වැඩි වූයේ රවිඳුගේ තරුණ සිතට නොයෙක් සිතිවිලි පහළ කරමිනි.

“නංගී ඔයාට කොල්ලෙක් ඉන්නවද?”

පෙර කී සූපවේදී තරුණයා සමඟ පැමිණි පිරිසේ සිටි තරුණියකගෙන් රවිඳු එලෙස විමසා සිටියේ එහෙයින් විය යුතුය. ඥාති සහෝදරියට අනවශ්‍ය විහිළුවක් සිදු කිරීම පිළිබඳ සූපවේදී තරුණයා සිටියේ තරමක් කෝපයෙනි. එතැන් පටන් රවිඳුගේ ක්‍රියා කලාපය පිළිබඳ විමසිල්ලෙන් ඇස ගසාගෙන සිටීමට ඔහු කටයුතු කළේ ඥාති තරුණියන්ගේ ආරක්ෂාව තහවුරු කරමිනි.

“බලා ඉන්න දෙයක් නෑ. එන්න අනේ නටන්න මාත් එක්ක.” ඇද පැද තාලයට එසේ පැවසූ රවිඳු සූපවේදී තරුණයාගේ මවගේ අතින් ඇද ඔහු සමඟ නර්තනයේ යෙදීමට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළේ ඇය කවුරුන්දැයි නොදැන විය යුතුය. ඥාති සහෝදරියට අනවශ්‍ය විහිළු කර නොනැවතුණ රවිඳු තම මවට ද එවැනි නොහොබිනා යෝජනාවක් කිරීම පිළිබඳව සූපවේදී තරුණයාගේ සිතේ මෙතෙක් වේලා බුර බුරා පැවති කෝපය පුපුරා ගියේ ක්ෂණයකිනි.

“මොකක්ද ඩෝ උඹ කිව්වේ? කාටද මේ පල් වාක්‍ය දාන්නේ?” යැයි කියමින් සූපවේදී තරුණයා රවිඳු වෙත කඩා පැන විමසුවේ ඉවසීමේ සීමාව ඉක්මවා යන මොහොතේය.

“මගේ වැඩ හොයන්න උඹ කවුද? අනේ පලයන් උඹේ වැඩක් බලාගෙන.” දෙදෙනාගේ වචන හරඹය එන්න එන්නම දික්ගැසුණේ නර්තනයේ රිද්මයට වඩා වේගයෙනි. සූපවේදී තරුණයා අඹ කැපීමට මවගෙන් ඉල්ලාගත් පිහිය තිබුණේ එම අවස්ථාවේ ඔහුගේ සාක්කුවේය. ඊළඟ තත්පරය සියල්ලන් මවිත කළ තීරණාත්මක එකක් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. තියුණු පිහි පහරවල් ඇදී ගියේ රවිඳුගේ පපු ප්‍රදේශයට සහ පිට ප්‍රදේශයට බව එතැන සිටි පිරිස දැනගන්නා විට සියල්ල සිදුවී හමාරය.

බරපතළ තුවාල ලැබූ රවිඳු පාණදුර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කළ අතර, ඒ වන විටත් ඔහු සියල්ල හැරදා ගොස් තිබුණේ දුරදිග නොබලා සිදුකළ විහිළුවක ප්‍රතිඵල මේ යැයි කියාපාමිනි.

පාණදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඩී. මෙන්ඩිස් ඇතුළු නිලධාරින් විමර්ශන ආරම්භ කළේ ඉන් පසුවය.

පාණදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර, පාණදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් ද එහි කැඳවීමට පොලිසිය කටයුතු කළේය.

එම අපරාධය සිදු කළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් අතර අපරාධය සිදු කිරීමට යොදාගත් පලතුරු කපන පිහිය ද පොලිසිය විසින් සොයාගත්තේ සැකකරුගේ ප්‍රකාශ මතය. සෙල්ලක්කාරකමට සිදුකළ නොගැළපෙන විහිළුවක් නිසා දාහත් හැවිරිදි තරුණයෙකුට දිවි ගමන නිමා කිරීමට සිදු වූයේ සංගීත සංදර්ශනය අවමංගල්‍ය අවස්ථාවක් බවට පත් කරමිනි.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණයෙන් පාණදුර උතුර පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඩී. මෙන්ඩිස්, අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරුන් වන 92915 මදුෂාන්, 31279 ලියනගේ, 28765 බණ්ඩාර යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division