Home » කටුනායක හරිත පාරෙන් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කළ තවත් හොර වැඩක්

කටුනායක හරිත පාරෙන් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කළ තවත් හොර වැඩක්

by thanushika
June 15, 2024 12:30 am 0 comment
කටුනායක ටී.කේ.ජී. කපිල

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙනදා මෙන්ම පසුගිය දිනෙක අලුයම ද කාර්යබහුලත්වයට පත් වී තිබුණි. මැදපෙරදිග මෙන්ම තවත් ආසියානු සහ යුරෝපා රටවල සිට ගුවන් මගීන් සෑහෙන පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ ලහි ලහියේ පිටතට පැමිණීමට කටයුතු කරමින් සිටියේ බොහෝ මගීන් පැය ගණනාවක ගුවන් ගමනකින් පසු හෙම්බත් වී සිටි නිසාවෙනි.

මේ නිසාම කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” අධ්‍යාපනය ලබා පැමිණෙන සිසුන්ට, විදේශීය සංචාරකයන්ට, රැකියා සඳහා ගොස් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන් කර තිබේ.

ඔවුන් ඒ මාවත ඔස්සේ ඉතා කඩිනමින් ගුවන්තොටුපොළෙන් පිටතටයෑමේ පහසුකම සලසා ගනිති. එහෙත් මෙම පහසුකම අවභාවිත කරන පිරිසක් ද සිටින අතර ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් නිරන්තරයෙන් මෙම “හරිත මාවත” අසල ප්‍රදේශයේ සිය ආවේක්ෂණ රාජකාරීවල නිරත වී සිටිති.

ඒ අතර එදින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඒ අනුව අලුයම් කාලයේ මෙසේ කාර්යබහුල වූ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” අසල සිය රාජකාරී දැල එළා තිබියදී ඩුබායි සිට පැමිණි දෙදෙනෙකු සීඅයිඩී නිලධාරින්ට කොටුවූයේ බලාපොරොත්තු නොවූ ලෙසය.

ඒ අනුව මේ ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ගමන් මලු රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීනතම ජංගම දුරකතන සහ පෙන්ඩ්‍රයිව්වලින් පුරවාගෙන මෙම “හරිත මාවත” ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටවීමට තැත් කරමින් සිටියහ.

වහා ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . අනෙකා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් දෙදෙනාගේ ගමන් මලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් දැඩි සෝදිසි කිරීමකට ලක් කළ අතර ඒවා තුළ ඇපල්, ගැලැක්සි, රෙඩ් මී, හීරෝ සහ එන් ප්ලස් වර්ගයේ අති නවීනතම ජංගම දුරකතන 1,083 ක් විය.

ඊට අමතරව පෙන්ඩ්‍රයිව් 200ක් ද ඔවුන් සිය ගමන් මලු තුළ සඟවාගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකතන සහ පෙන් ඩ්‍රයිව් තොගය සමඟ මේවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනා ද මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් වෙත භාර දීමට සීඅයිඩීය පියවර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division