මීගස්වැව සෝමාවතිය රක්ෂිතයේ කුඹුකුණාවල නරිපොළ වැව ප්‍රදේශයේ නිදන් ගැනීමට තැත් කළ පුද්ගලයන් 6දෙනෙකු පිළිබඳ තොරතුරක් මීගස්වැව පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ පසුගියදාය. පොලිසියට ලැබුණු ඒ තොරතුරෙන් කියැවුණේ සෝමාවතිය රක්ෂිතයේ කුඹුකුණාවල නරිපොළ වැව ප්‍රදේශයේ මේ අය නිදන් හාරන බවය. ඒ අනුව සිදු කරන ලද වැටලීමේදී පුද්ගලයන් 6 දෙනෙකු සමඟ කැණීම් සිදු කිරීමට භාවිත කරන උපකරණ, පූජා භාණ්ඩ සහ පැරණි මැටි බඳුන් 4ක් සමඟ පාත්තරයක්, ලෝහ බඳුනක කැඩී ගිය කොටස් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. නිදන් කොල්ලකරුවන් නිදන් ගැනීම සඳහා අඩි 20ක් පමණ විශාල වළක් හාරා තිබුණි. මෙම වැටලීමේදී මැටි බඳුන් සමඟ පාත්තරයක් ද අත්අඩංගුවට ගත් බව වැටලීම් සිදු කළ පොලිස් නිලධරයකු සඳහන් කළේය.
යුක්තිය මෙහෙයුම් වැඩපිළිවෙළ යටතේ මීගස්වැව පොලිසිය මෙම වැටලීමට සූදානම් වන මොහොතේ පොලිස් පරීක්ෂක ධර්මසිරිට දුරකතන ඇමතුමක් ලැබුණේ “සර් අර වැඩේ හරි, කට්ටිය කැලෑ ඇතුළට ගියා“ යැයි කියාය. එසේ තොරතුරක් ලැබුණ ද වැටලීම සිදු කිරීමට පොලිස් පරීක්ෂක ධර්මසිරි ඉක්මන් වූයේ නැත. ඒ සැලසුම්කර මේ වැටලීම සිදු කිරීමට අවශ්‍ය නිසාය.
මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාරගෙන් උපදෙස් ලබාගත් පොලිස් පරීක්ෂක ධර්මසිරි එලෙස උපදෙස් ලබාගත් දින වැටලීමට නොගොස් පසු දින වැටලීමට යෑමට සූදානම් විය. වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 5 දෙනෙක් සමඟ ජිප් රථයක් ධර්මසිරිට ලැබුණි.
නිදන් කොල්ලකරුවන් සිටින ස්ථානයට කිලෝමීටර් 28ක් පමණ දුරක් කුඩා වැව් පහක් පමණ පසු කරමින් ඉදිරියට ගමන් ගත්තද ජීප් රථයට කැලෑව තුළ ඇති කුඩා මාර්ගයෙන් ගමන් කළ නොහැකි විය. එහෙත් සැලසුම්කර ගත් පරිදි එතැන් සිට කැලෑ මැද්දෙන් ගමන් කිරීමට යතුරුපැදි උපයෝගී කරගෙන තිබුණි.
අලි කොටි වග වලසුන්ගෙන් තම ජීවිතවලට අනතුරක් නොවී නිදන් කොල්ලකරුවන් සිටින රක්ෂිතයට පොලිසිය යන විට සාම්බ්‍රානි සුවඳක් වහනය විය. ඒ නිදන් කොල්ලකරුවන් සුවඳ දුම් අල්ලන සුවඳයි. ‘දැන් නම් වැඩේ හරි‘ යැයි සිතූ පොලිස් නිලධරයෝ නිදන් ගැනීමට කැණීම් කරන තැනට ගොස් පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පුද්ගලයන් දෙදෙනෙකු පලා ගිය ද නිදන් ගැනීමට හෑරු වළ අසල තිබූ සිවුරක්, අඳනකඩයක් නිදන් ගැනීමට උපයෝගී කරගත් උපකරණ සහ පාත්තරයක් වළං කීපයක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ස්ථානයේ ගරා වැටුණු නටබුන් ඇති බවද ගරා වැටුණු චෛත්‍යයක් ඇති බවද වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් පවසා ඇත්තේ මාළු ඇල්ලීමට ගිය අවස්ථාවේ ගරා වැටුණු චෛත්‍යය අසල පැරණි වළං කැබැල්ලක් තිබූ නිසා මෙම ස්ථානයේ නිදන් වස්තු ඇති යැයි සිතා කැණීම් කළ බවයි.
පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් මාතර සහ පොලොන්නරුව මීගස්වැව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ වෙති.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේ නිලධරයන්ගේ උපදෙස් පරිදි මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාරගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ආර්.ඒ.ධර්මසිරි, සැරයන් 57092 සෝමචන්ද්‍ර, පොලිස් සැරයන් 63437 බණ්ඩාර, සැරයන් 69176 ගමගේ, සැරයන් 61468 මඩකුඹුර, කොස්තාපල් 88883 ලක්ෂාන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.
ඇළහැර සරත් වෙලගෙදර