Home » කුඩු ගහන්න සල්ලි හොයන්න මෝටර් බයිසිකල් උස්සන හයේ කල්ලිය

කුඩු ගහන්න සල්ලි හොයන්න මෝටර් බයිසිකල් උස්සන හයේ කල්ලිය

by thanushika
June 15, 2024 12:30 am 0 comment

“මෝටර් සයිකලයක් හොරෙන් අරන් යන දෙන්නෙක් දැන් දංඕවිට පැත්තට නුවර පාරේ එනවා.” දංඕවිට පොලිසියට ලැබුණු පණිවිඩයකින් එසේ කියැවිණි.

යතුරුපැදියේ එන පුද්ගලයන් හඳුනා ගැනීමට අවැසි සියලු තොරතුරු ලබා දෙන්නට මේ ඇමතුම සමත් විය. ඒ සමඟම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත පෙරේරා වහා ක්‍රියාත්මක වූයේය. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ‘හැලගල’ ප්‍රදේශයේදී මාර්ග බාධකයක් දැමුණේ ඒ අනුවය. ඒ අතරම ඔහු තවත් පිරිසක් සමඟ පොලිසිය අසලද සූදානම්ව සිටියේය.

පෙර සූදානම නිවැරදිය. යතුරුපැදිය හැලගල මාර්ග බාධකයෙන් පලා යන්නට සමත් විය. ඒ නිසාම ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසටද ඒ ගැන සැලකිලිමත් වන්නට සිදුවිය. දැඩි විමසිල්ලෙන් සිටියදී යතුරුපැදිය වේගයෙන් කොළඹ දෙසට ගමන් කරනු පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය. පොලිස් නිලධරයෝ එය ලුහුබැන්දහ. ටික දුරක් යද්දී මඟ හරස්කර යතුරුපැදිය නවතා ගන්නට පොලිස් කණ්ඩායමට හැකිවිය. පැදිකරු යතුරුපැදිය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී එහි පිටුපස ගමන් කළ පුද්ගලයා ‘අන්තරස්දාන’ වූයේය. පලාගිය පුද්ගලයා ගැන සොයා බැලුවද පලක් නොවූ අතර සොරාගෙන යමින් තිබූ යතුරුපැදිය ලුහුබැඳ ආ තවත් පිරිසකගෙන් අත්අඩංගුවට පත්වූ සැකකරු බේරාගන්නට පොලිස් නිලධාරීන්ට තවත් වෙහෙසක් ගන්නට සිදුවිය. ඒ පොලිසියට ඔත්තුව දුන් පිරිස බව පසුව පසක් විය.

කෙසේ හෝ සැකකරු නිරුපද්‍රිතව ආරක්ෂිතව ජීප්රියට නංවාගෙන පොලිසියට ගෙන ආවත් ඔහු හොඳ සිහියක සිටියේ නැත. ඒ තරමට සැකකරුවා මතින් සප්පායම්ව සිටි බව පෙනිණි. ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2160ක ප්‍රමාණයක් ද තිබී පොලිසියට හමුවිය. වෙනත් ඇඳුමක් අන්දවා කල්පනාවකට ආ පසු සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹිණි.

ඒ අතර පොලිසියට තවත් පැමිණිල්ලක් ආවේය. ඒ සැකකරු අත්අඩංගුවට පත්වෙද්දී පලාගිය පුද්ගලයා කිසියම් තැනක සැඟවී සිට ඒ ස්ථානයේ පෞද්ගලික ආරක්ෂක රැකවල්වලින් පවා මිදී ඒ ස්ථානයේ නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙන පලාගිය බවයි.

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරු හොරණ පදිංචිකරුවෙකි. දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලින් මෙම සැකකරු තවත් පුද්ගලයන් පස්දෙනෙක් සමඟ එක්ව මෙරට විවිධ පෙදෙස්වල සැරිසරමින් යතුරුපැදි සොරා ගැනීමේ යෙදුණු කල්ලියක සාමාජිකයෙක් බව අනාවරණය කරගන්නට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකිවිය.

ඒ අනුව පොලිස් පරීක්ෂණ පුළුල් කෙරිණි. පොලිස් කණ්ඩායමක් හොරණ ප්‍රදේශයට ගියේ ඒ අනුවය. වයස අවුරුදු 23 හා 29 අතර පසුවන සෙසු සාමාජිකයන් සිවුදෙනා අත්අඩංගුවට ගැනිණි.

පළමුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරුවලින් අනතුරුව හොරණ, ගෝනපොළ හංදිය, මූණගම, දොඩංගොඩ, වවුලගලවත්ත සහ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් සිවුදෙනා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. මෙම කල්ලිය මත්කුඩු පානය සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙසේ යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී ඇතැයි ද පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත. අගලවත්තෙන් අල්ලා ගැනුණු සැකකරු බස් කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කළ අයෙක් බවද සෙසු සැකකරුවන් එදිනෙදා විවිධ කුලී වැඩ කරමින් කල්ගත කළ අයවලුන් බවද හෙළිවී ඇත.

මෙම සැකකරුවන් විසින් මැයි මස 19 වැනිදා දංඕවිට ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදි දෙකක් ද මැයි මස 18දා වරකාපොළ පොලිස් වසමින් සොරාගත් යතුරුපැදි දෙකක්ද මැයි 17 දා හා පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා පැල්මඬුල්ල පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදි දෙකක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගන්නට සමත්වූ පොලිසිය එම යතුරුපැදි පහක් සහ වරකාපොළ ප්‍රදේශයෙන් සොරාගත් නවීන පන්නයේ යතුරුපැදියක අමතර කොටස් රැසක් ද සොයා ගැනීමට කටයුතු කරනු ලැබීය.

යතුරුපැදි සහ අමතර කොටස් සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සොයාගෙන ඇති අතර සොරාගත් එක් යතුරුපැදියක් වරකාපොළ ප්‍රදේශයේම ස්ථානයක සඟවා තිබීයදී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.

මෙම සොර කල්ලිය මේ අන්දමට දිවයිනේ තවත් ප්‍රදේශවල යතුරුපැදි ගණනාවක් සොරාගෙන ඇති බව පොලිසිය සැක කරයි. මෙම කල්ලිය විසින් සොරාගන්නා යතුරුපැදි මිල දී ගැනීමේ යෙදුණු මහා පරිමාණ ජාවාරම්කරුවකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද මේ වන විට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පරීක්ෂණ නව මුහුණුවරක් ගනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි. එම ජාවාරම්කරුවා මෙම කල්ලියේ මෙන් ම තවත් අපරාධ කල්ලි ගණනාවක පිරිස් විසින් ගෙනැවිත් දෙනු ලබන සොර බඩු මිල දී ගැනීමේ යෙදෙන පුද්ගලයකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන පරීක්ෂණ සිදු කර ඔවුන් සිදු කළ තවත් සොරකම් හෙළිකර ගැනීමට පොලිසිය පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනුණු 29 හැවිරිදි රොහාන් අසංක කන්දප්පා, ගෝනපොළ, ඔලබොඩුවේ පදිංචිකරුවෙකි. කේ.එම්. සමිදු විමංශ 23 හැවිරිදිය. ඔහු වවුලගලවත්ත මුනගම අයෙකි. 23 හැවිරිදි ජේ.ඩී. චන්න ප්‍රබෝධ, පාඩගල දොඩම්ගොඩය. ගන්වාරි පුබුදු හසාන්, 21 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වවුලගලවත්ත මුනගමය. 25 හැවිරිදි ජේ.ඒ. තාරක සඳරුවන් ඉහළකන්ද, අගලවත්ත පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටී.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත පෙරේරා , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වෑත්තෑව, සැරයන් 45852 පෙරේරා, කොස්තාපල්වරුන් වන 101448 දිසානායක, 102037 වීරසිරි සහ 34163 භානුක යන නිලධාරීහු මෙම වැටලීම් සඳහා එක් වූහ.

එම්. පුෂ්පකුමාර - කොටදෙනියාව සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division