Home » ඉදිරි වසර පහේදීත් ඉන්දු – ශ්‍රී ලංකා බැඳීම් තහවුරු වෙයි

ඉදිරි වසර පහේදීත් ඉන්දු – ශ්‍රී ලංකා බැඳීම් තහවුරු වෙයි

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment
එල්. පි සූරංග
නව අග­මැති දිවු­රුම් දීමෙන් පසු රාජ්‍ය නාය­ක­වරු සමඟ සමූහ ඡායා­රූ­ප­ය­කට පෙනි සිටි අව­ස්ථාව

වහල්ලාල් නේරු අගමැතිවරයාගේ වාර්තාව සම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ තෙවන වරටත් දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ විශේෂ ආරාධනාවකට අනුවය. නරේන්ද්‍ර මෝදී මහතාගේ ජයග්‍රහණයේ පූර්ණ ප්‍රතිඵලය නිකුත් වීමටත් ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඔහුට සුබ පැතුවේ දුරකතනයෙනි.

ජන­පති රනිල් බංග්ලාදේශ අග­මැ­තිනි ෂික් හසීනා සමඟ

ජන­පති රනිල් බංග්ලාදේශ අග­මැ­තිනි ෂික් හසීනා සමඟ

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ද එසැණින් ජනපති රනිල්ට ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවැත්වෙන සිය දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන ලෙස පෙරළා ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් ජනපති රනිල් ඉන්දියාවේ ගියේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කණ්ඩායමක් ද එක්කර ගනිමිනි.

ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී පිළිගනු ලැබූවේ එරට විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ‍ෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසිනි.

ගුවන්තොටුපොළේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වුණේ ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන අයුරිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පිළිගනු ලැබූවේ ඔහු නතර වී සිටි දිල්ලි නගරයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන අයි. සි. ටි මෞර්ය හෝටලයේදීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවීමට පැමිණි දෙස් විදෙස් ආරාධිතයන් රැසක් මෙම හෝටලයේ නවතැන් ගෙන තිබීම නිසා ඊට විශේෂ ආරක්ෂාවක් සලසා තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මඟින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර, නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී 09 වැනිදා පස්වරුවේ පැවැත්විණි. අග්‍රමාත්‍යවරයා දිවුරුම් දෙන දින විශේෂ ආරක්ෂාවක් දිල්ලි නගරයට යොදවා තිබූ අතර ගුවන් ගමන් ද උත්සව භූමියට ඉහළ අහසේ ගමන් කිරීම තහනම් කර තිබුණි.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද, සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ ඊට සහභාගී වී සිටියහ.

දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසු නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි..

ශ්‍රි ලංකා ජනාධිපතිවරයාව උත්සව භූමියට කැඳවාගෙන යද්දී නිවේදිකාව විසින් රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශේෂ සඳහන් කරන ලදි. උත්සවයට පැමිණි විදෙස් නායකයන් ඇතුළු පිරිස සිය ආසනවලින් නැගිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කරනු දක්නට ලැබිණි.

දිවුරුම් දීමේ උත්සවය අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් පිළිවෙළින් ප්‍රධාන පීඨිකාව වෙත ගෙන ගිය අතර ජනපති රනිල්ට වෙන් කර තිබුණේ නරේන්ද්‍ර මෝදීගේ වම් පස පළමු ස්ථානය වීම විශේෂයෙන්ම කැපී පෙනෙන කාරණයකි. ඉන්පසු පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ද ජනපති රනිල්ට අසුන් පැනවුණේ ඒ ආකාරයෙන්මය.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර අගමැති මෝදිගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ. ජනපති රනිල් රාෂ්ට්‍රපති භවන් වෙතින් පිටතට පැමිණෙන විට රාත්‍රී 11.00 ද පසුවී තිබුණි. ඒ ඔහු රාජ්‍ය නායකයන් රැසක් සමඟ සාකච්ඡාවන්හි නිරතවූ බැවිනි.

පසුදින විශේෂ හමුවීම් දෙකක් සංවිධානය වී තිබූණේ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසිනා සමඟ හා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස් ජයශංකර් සමඟිනි. ඒ හමුව වන විටත් ජයශංකර් මහතා වෙත නිල වශයෙන් ඇමැති ධුරය පිරිනමා නොතිබුණි. ඔවුන් දෙදෙනාම ජනපති මුණ ගැසුණේ ඔවුන් නතරවී සිටි අයි. සි. ටි හෝටලයේ හමුවීම් ශාලාවේදී ය.

ෂීක් හසීනා මහත්මිය මුලින්ම ජනපති රනිල්ව අගය කළේ වැටී තිබුණ රට ගොඩගත් නායකයෙකු ලෙස හඳුන්වමිනි. ඉතා කෙටි කලකින් මෙවැනි පරිවර්තනයක් සිදු නොවුණ බවද ඇය කීවාය. ඊට පිළිතුරු දුන් ජනපති රනිල් කීවේ ඉන්දියාවේ හා බංග­්ලාදේශයේ සහයත් තමන්ට මේ කාර්ය වෙනුවෙන් ප්‍රයෝජනවත් වූ බවය.

බංග­්ලාදේශයේ ක්‍රියාත්මක සමූපකාර කෘෂි කර්මාන්තය ගැන ඇය සිහිපත් කළ අතර එම ක්‍රමය තුළ කෘෂි නවීකරණයක් සිදුව ඇතැයි ප්‍රකාශ කළාය. එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ලංකාවේ ආරම්භ කර ඇති කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ගැන අදහස් පළ කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ කණ්ඩායමක් බංග්ලාදේශයේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට එවිය හැකි බවයි. එයට ඇය කැමැත්ත පළ කළාය.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම ගැන ද දෙපාර්ශ්වය කතා කළ අතර ඉන්දීය නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසු බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ හැකි බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජන­පති රනිල් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ

ජන­පති රනිල් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ

බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සඳහා යොමු කරන බව මෙහිදී බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වූවාය. දෙරට ආයෝජන මණ්ඩල සම්බන්ධීකරණය කරමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ද මෙහිදී සාකච්ඡා කෙරුණි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

එරට නිල සංචාරයකට ආරාධනා කළ අගමැතිනි ෂික් හසීනා බංග්ලාදේශයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන අතරවාරයේදී එය කළ හැකි බව කීවාය. එම සමුළුව පැවැත්වෙන දින වකවානුව ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයක් බැවින් සමුළුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් සහභාගී කරවන බව ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිවරියට දැනුම් දුන්නේය.

මැතිවරණයෙන් පසුව තමා බංගලාදේශයේ සංචාරයකට පැමිණෙන බව ජනාධිපතිවරයා මෙහිදී බංගලාදේශ අගමැතිවරියට පොරොන්දු විනි.

බංගලාදේශ අගමැතිනිය හමුවීමෙන් පසු ජනපති මුණ ගැසුණේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙරට සංචාරයකට එක් වන්නැයි ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබූ අතර ඒ ගැන කතාබහ කිරීමට ඇමැතිවරයා මෙරටට පැමිණෙන බවද ඔහු කියා තිබුණි. එසේම ඔහුගේ මෙරට සංචාරයේදී මෙරට දැනටමත් කරගෙන යන ඉන්දීය ව්‍යාපෘති ගැන මෙන්ම අතරමඟ නතරවී ඇති ආයෝජන ව්‍යාපෘති ගැන සොයා බලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කර තිබුණි.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයි­ශං­කර් හමුවූ අව­ස්ථාව

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයි­ශං­කර් හමුවූ අව­ස්ථාව

අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර තිබුණි. ඉන්දීය ආයෝජකයන්ට අමතරව එක්සත් අරාබීය වැනි වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද සඳහන් කරන ලදි.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවද එකඟතාවයකට එළැඹිණි.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ගැසට් පත්‍රයේ නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණුවට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ යැයිද සඳහන් කළේය.

යළිත් වරක් අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජයිෂංකර්ට සුබ පැතුම් පළ කළේය. මෙම ඉන්දීය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා, යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. සාර්ථක දෙදින නිල සංචාරය නිමකළ රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 11 දා යළි ලංකාවට පැමිණියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division