1950 ජූනි මස 13 වැනි දින ඩී. ආර්. විජයවර්ධනයන්ගේ අභාවයෙන් පසුව හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් 1950 ජූනි 18 වැනි දින සිළුමිණ පුවත්පතට එතුමා පිළිබඳ ලියන ලද ලිපිය.
ඩී.ආර්. විජයවර්ධන මහතාගේ මරණය දේශ හිතෛෂියකුගේ, ශ්‍රේෂ්ඨ පුරුෂයකුගේද අභාවයයි. විජයවර්ධන මහතා ජාති හිතෛෂී ලෙස මා හඳුන්වන්නේ කුමක් නිසාදැයි සමහරුන් ප්‍රශ්න නගනු නිසැකය. ඒ මහතා ජාති හිතෛෂියකු වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. රටක්, ජාතියක් උදෙසා කළ සේවය වටහා ගත හැක්කේ ඔහු කියු දේ සෙවීමට වෙහෙසීමෙන් නොව කළ දේ සෙවීමට වෙහෙසීමෙනි.
විජයවර්ධන මහතා මෑතකාලයෙහි ලක්දිව උපන් ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගෙන් එක් කෙනෙකි. ශ්‍රේෂ්ඨ පුරුෂයන් මනිනු ලබන්නේ එකම මිනුමකින් නොව මිනුම් කිහිපයකිනි. ඒ මිනුම්වලින් මනින කල එකම විදියේ චරිත ඇතියන් නොව නොයෙක් විදියේ චරිත ඇති දුර්ලභ මනුෂ්‍යයන්ගේ පුරුෂයන්ගේ ගණයෙහිලා සැලකිය යුතු බව වැටහෙයි. ධන පරිත්‍යාගය සහ සේවය එක් විදියක ශ්‍රේෂ්ඨ පුරුෂයන් මැනීමට ඉවහල් වන මිනුමකි. තමාගේ කාලයත්, කායික, මානසික ශක්තියත් යම්කිසි දුෂ්කර ව්‍යාපාරයක් උදෙසා යොදා සියලු උවදුරු ජයගෙන ඒ උතුම් ව්‍යාපාරය ගිරිදුර්ගයක දල්වන ලද නොනිමෙන පහනක් සේ බැබළවීම ද ශ්‍රේෂ්ඨ මිනිසෙකු මැනෙන හොඳම මිනුම් දෙක තුනෙන් එකකි.
පුවත්පත් ප්‍රකාශයට පත්කිරීම හැමට වඩා දුෂ්කර ව්‍යාපාරයකි. සාර්ථක වුවහොත් රටත් ජාතියත් ආණ්ඩුවත් හොලවන්නට තරම් ධනයක්, බලයක් එයින් ලැබිය හැකිය. ව්‍යර්ථ වුවහොත් ඒ ව්‍යාපාරය මහා කඳු මුදුනෙන් පෙරළී පෙරළී එන පර්වතයක් සේ ඇරඹු තැනැත්තා තළා මිරිකා සප කරන්නේය යනු ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය අරභයා ලියන ලද පොතක සඳහන් වන කියුමකි.
දිනමිණ, සිළුමිණ, ඩේලිනිවුස්, ඉරිදා ඔබ්සවර්, තිනකරන් සහ ඉරිදා තිනකරන් යන පුවත්පත් හතක් විජයවර්ධන මහතා ආරම්භ කළේය. ඒ පත්‍ර සකස් කිරීමට වුවමනා ශූර පත්‍ර කලාවේදීන් පරපුරක් පුහුණු කළේය. ශූර සංවිධායක මණ්ඩල තැනුවේය. ඒ පත්‍ර පාට කීහිපයකින් විසිතුරු කොට පැයට විසිදාහක වුවද මුද්‍රණය කළ හැකි යන්ත්‍රයන්ගෙන් යුතු මහා මුද්‍රණාලය පිහිටු වූයේය. මුදල් ඇත්නම් මේ සියල්ල කළ හැකිය යනු මහ මෝඩ කියුමකි. මේ සියල්ලම මුදල් විනාශ කළ හැකි තැන් යැයි කී නම් වඩා නුවණට හුරු කීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජය ගත්තකු සේ ලේක්හවුස් මන්දිරය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරයට කියන ලද සියල්ලෙන් පිරිපුන් කොට දෙදරුම් නොකා අඩිතාලමක් උඩ පිහිටුවාලීය. එය එසේ පිහිටුවාලුයේ දැයි අධිෂ්ඨානයෙන් සිත, කය අධ්‍යාත්මය යන තුනම ඒ කාර්යයට කැප කොට වැඩ කිරීමෙනි. විජයවර්ධන මහතා උදය දහයට කාර්යාලයට ගියේය. තම ව්‍යාපාරයෙහි මුදල් හදල් වැයකර මුද්‍රණය හා මුද්‍රණය කරන ලද ඒ පත්‍ර මිනිසුන් නින්දෙන් අවදි වන්නට පෙර ඒ ඒ පෙදෙස්වලට යැවීම ආදී කටයුතු පිළිබඳ පැත්ත ද සෙවීය. විවේචනය කළේය. අතපසු කරන ලද වැඩ වගකිය යුතු කළමනාකරණයන්ට පෙන්නුවේය. වැඩ වැරැද්දුවන්ට තරවටු කළේය. අවවාද කළේය. ඇතැම් විට තර්ජනය ද කළේය. දවල් එක වනතෙක් මොහොතකුදු අපතේ නෑර මෙසේ වැඩ කළ විජයවර්ධන මහතා දවල් එකට තම නිවසට ගියේය. ආහාර ගෙන අනතුරුව ගෙදරදී ද සිතුවේ තමාගේ ප්‍රවෘත්ති පත්‍රවල ඊළඟ දවසෙහි පළ විය යුතු ආරංචි ආදිය ගැනය. යළිත් තුනට තම කාර්යාලයට ගිය විජයවර්ධන මහතා ප්‍රවෘත්ති සකස් කරන මණ්ඩලයෙහි කර්තෘන්, උපකර්තෘන් හා වාර්තාකරුවන් සමඟ ද සාකච්ඡා කළේය. ඔවුන්ට අමතක විය හැකි කරුණු මතක් කළේය. මහජන ප්‍රශ්නයක් අරභයා ඔවුන් නොසලකන ඇතැම් කරුණු පෙන්වා දුන්නේය. වැදගත් ප්‍රවෘත්තියක් කෙටි කොටද නිසරු පුවතක් දික්කොට ද පළ කිරීමෙන් වැරදි කළවුන්ට තරවටු කළේය. මහජනයා ආශාවෙන් කියවන පුවත් කලට වේලාවට පළ නොකරන ලද විට ඊට වගකිව යුත්තා සොයා ඔහුට අවවාද කළේය. රෑ අටවන තුරු මෙසේ වැඩ කිරීම විජයවර්ධන මහතාගේ දින චර්යාව විය.
වයස අවුරුදු හැටක් වන තුරු මෙසේ නොනවත්වා වැඩ කිරීමට ඔරොත්තු දෙන සිතකුත් කයකුත් ලැබිය හැක්කේ දුර්ලභ පුරුෂයකුට පමණි. ඔහු ශ්‍රේෂ්ඨයෙකි.
ඩොනමෝර් වාර්තාව එංගලන්තයෙහි පළවු අවස්ථාවෙහි විජයවර්ධන මහතා ක්‍රියා කළේ සැනකින් තැනට උචිත දේ කිරීමට ලත් දුර්ලභ ප්‍රතිභා ශක්තිය ඇත්තකු ලෙසිනි. එංගලන්තයෙහි පළ වන වේලාවට මෙහි ද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වේලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළ වෙන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදාය. එවිට ඒ වාර්තාව මෙහි පළ වෙන්නේ සවස පත්‍රයෙහිය. ඩේලි නිවුස් පතෙහි පළවන්නේ ඊටත් පසුදා උදයේය. මෙය තම පත්‍රයට පරාජයකි. මදිකමකි. විජයවර්ධන මහතා කළයුත්ත සැනකින් දුටුවේය. එවලේම ක්‍රියා කළේය. ඩොනමෝර් වාර්තාව පළ වු වහාම එය පිඬුකොට ලංකාවට විදුලි මගින් දන්වන ලෙස විජයවර්ධන මහතා එංගලන්තයේ තම කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයෙන් එවන ඒ සම්පිණ්ඩන වාර්තාව විදුලි මඟින් මෙහි ලැබෙන්නේ රෑ බෝවීය. එහෙයින් එය උප කර්තෘන් විසින් සකස් කොට අකුරු අමුණන්නත් අමුණා ශුද්ධි පත්‍ර බලා පසුදා උදය පත්‍රයෙන් පළ කළ නොහැකිය. කුමක් කළ යුතු ද විජයවර්ධන මහතා සැනකින් එය ද විසඳුවේය. මෝටර් රථ පෙළක් තැපැල් කන්තෝරුව අසලට යැවීය. එංගලන්තයෙන් එවන දිග විදුලි පුවත් කොළ කොටසෙන් කොටස ගෙන මේ මොටෝ රථ පත්‍ර කාර්යාලය බලා වේගයෙන් දිවීය. ආපසු ගිය ගිය රථය යළිත් එක කොළය බැගින් ගෙනාවෝය. උප කර්තෘන් පෙළක් විසින් වහාම කොළයෙන් කොළය සකස් කොට, කොළයෙන් කොළයට අකුරු අමුණන්නන් වෙත යවන ලදි. විජයවර්ධන මහතා එළිවෙන යාමය තෙක් කාර්යාලයෙන් පිට නොවූයේය. පසුදා උදය වරුවේ ඩොනමෝර් වාර්තාව සහිත ‘ඩේලි නිව්ස්’ පත්‍රය පළ වූයේ අප රට දේශපාලනඥයන් හා ආණ්ඩුව ද විස්මයට පත් කරමිනි. ලංකා ආණ්ඩුව ඒ වාර්තාව පිට කළේ ඊට පසුවය.
ජපනුන් අහස් නැව් අතළොස්සකින් ඇවිත් කොළඹට බෝම්බ දැමුවේ විජයවර්ධන මහතා කාර්යාලයට නේන ඉරිදා දවසකය. වෙනදාටත් වඩා කලින් විජයවර්ධන මහතා එදින පත්‍ර කාර්යාලයට ගියේය. ඒ මහතා පත්‍ර කාර්යාලයේ ඒ ඒ තැන්වලට යන්නේ ඉතාම කලාතුරකිනි. කර්තෘ මණ්ඩලයේ සේවකයන් පමණකි ඉරිදා වැඩට එන්නේ. වෙනදා මෙන් නොව විජයවර්ධන මහතා මෙදින කාර්යාලයේ උඩුමහලට නැඟ හැම කාමරයක් පාසා ගියේය. ගොස් බෝම්බ දැමීම නිසා බිය ගෙන නොපැමිණියවුන් ද නොබා පැමිණියවුන් ද දැන ගත්තේය. පසුදා පත්‍රය පළ කිරීම දුෂ්කර වෙතැයි හැඟුණ නිසා විජයවර්ධන මහතා මෙතෙක් නොපැමිණි සේවකයන් සොයා ගෙන ඒමට මොටෝ රථ යැව්වේය.
ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රතිපත්ති ගැන අප එකිනෙකාගේ මතභේද විවිධය. එහෙත් තුන් බසකින් පළවන ප්‍රවෘත්ති පත්‍ර ලංකාව පුරා පතුරුවන්නට පුළුවන් පරිදි තරකොට පිහිටුවන ලද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විජයවර්ධන මහතාගේ ශක්තියත්, ජ්‍යෙෂ්ඨත්වයත් කියාපාන ස්මාරකයකි.
විජයවර්ධන මහතා බැරිස්ටර් විභාගයෙන් සමත්ව ලංකාවට පැමිණි විගස ජාති හිතෛෂියකු මෙන් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය කරවනු සඳහා ක්‍රියා කළේය. ඒ පිළිබඳ සමිති කිහීපයක් සංවිධානය කළේය. ජනෝපකාර සේවය පිණිස ආරම්භ කරන ලද සමිතියක සම්පාදකයා වූයේය. පසුව ඒ කාර්යයන්ගෙන් ඉවත් වූයේ ප්‍රවෘත්ති පත්‍රයෙන් රටට කළ හැකි සේවය දැක ඒ සඳහා ඇති කරගත් දැඩි අධිෂ්ඨානයෙනි.
කිසිම මහජන සේවකයකුට කුහකයකු නොවී රජයේ සියලුම දෙනාම සතුටු කළ නොහැක්කේය. ප්‍රවෘත්ති පත්‍රයෙන් ද රටට සේවය කළ හැක්කේ දේශපාලන වාදයන්හි එල්බ ගත්තවුන් අතරෙන් බොහෝ දෙනෙකුන් අසංතෝෂ කරමිනි. විජයවර්ධන මහතා කිසිම තනි පුද්ගලයකු හෝ පක්ෂයක් හෝ මහත් කොට නොසැලකුවේය. එහෙත් තමාගේ විනිශ්චයෙහිත් ප්‍රතිපත්තියෙහිත් දැඩිව පිහිටා හැම දේශපාලනඥයකු දේශ සේවකයකු විවේචනය කළේය. කුහකකමත් කුහකයනුත් නොඉවසුවේය.
කාර්යශූරයකු වූ ඒ මහතා උපායෙන් ජයගත යුතු තැන උපාය වහල් කොට ගත්තේය. ඍජු, අවංක ගති වහල් කොට ගත යුතු තැන ඒ ගති වහල්කොට ගත්තේය. දයාව කරුණාව දැක්විය යුතු තැන ඒ දෙක වහල් කොට ගත්තේය. ඒ සියල්ල වහල්කොට ගත්තේ පෞද්ගලික කිත් යසස් පතා නොවේ. තමාගේ නම ගම පළ කරවා ගනු පිණිස ද නොවේ. ඒ සියල්ලම නොතකා ජීවත් වූවකු වශයෙන් විජයවර්ධන මහතා ලක්දිව අනික් සුප්‍රකට මිනිසුන් ඉක්මවූවෙකි.
විජයවර්ධන මහතා අනුන්ට පමණක් නොව තමාට ද නීතිය ලෙස ක්‍රියා කළේ තමා අතට ගත් කාර්යය සාර්ථක කොට එය අගතැන් පමුණුවනු පිණිසය. ඒ මඟින් රටටත් ජාතියටත් සේවය කරනු පිණිසය. ඔහුගේ නීතිකත්වයට අනුන්ටත් වඩා භාජනය වූයේ තමාමය. තමාගේ ශක්තිය දෙදරා බිඳ වැටෙන තෙක් නොනවත්වා වැඩ කිරීම තමාගෙන්ම නීතිය ලෙස වැඩ ගැනීමකි. ඔහු වැඩ කළේ අන්තිම බින්දුව දක්වා තමාගේ ශ්‍රම ශක්තිය මිරිකා වැඩට යොදවනකු ලෙසිනි. එනයින් අනුන් ද එසේ වැඩ කරනු දැකීමට ඔහු ආශා කළේය. විජයවර්ධන මහතා නීතිය ස්වාමියෙකියි යන වැරදි හැඟීම ඇතැමකු තුළ ඇතිවූයේ ඒ මහතාගේ මේ නිසර්ග සිද්ධ ගතිය වටහා ගත නොහැකි වීම නිසා යැයි සිතමි.
ප්‍රවෘත්ති පත්‍ර හතක් පවත්වාගෙන යාම වැනි ඉතාම දුෂ්කර ව්‍යාපාරයකින් විජයග්‍රහණය කළ කෙනෙකු තුළ දිරියක් අභිමානයක් ඇති විය යුතුය. එවැනි අභිමානයක් ඉපදවීම සාධාරණය. මහජන ප්‍රශංසාව හෝ කිත් යසස් හෝ නොපතන කාර්යශූර පුද්ගලයකුට ආස්වාදයක් ලැබිය හැක්කේ ද එවැනි අභිමානයකින් පමණි. එවැනි අභිමානයකට ඉඩ දුන් ඇතැම් ශූර පුද්ගලයෝ තමන්ගේ අත්දැකීමම මහත් කොට ගෙන අනුන් නොඉවසූහ. එහෙත් පුදුමය වනුයේ විජයවර්ධන මහතා ප්‍රවෘත්ති පත්‍ර හිමියකු ලෙස ලත් මහා ජයග්‍රහණයෙනුදු අනුන්ට පීඩා කරවන තරම් අභිමානයක් ඇති කර නොගැනීමයි.
විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යනාදී උතුම් ගුණ බෙහෙවින් ඇත්තෙක් විය. එහෙත් දහසකට වැඩි උගත් නූගත් සේවක පිරිසක් හා දවස් පතා ගැටීම නිසා ඒ උතුම් ගුණ හද බඳුනෙන් උතුරා පිට නොවීය. ඒ ගුණ අනවරතයෙන් උතුරා පිටවන්නට වී නම් එය ඒ සා විශාල වෙෙළඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මහත් බාධාවක් වෙයි. එහෙයින් ඒ ගුණ හදින් නැගී මතුවූයේ විටින් විටය. විජයවර්ධන මහතාගේ ශ්‍රේෂ්ඨ චරිතය දැකිය යුත්තේ හැඟීමෙන් තොරවූ සියුම් බුද්ධියෙනි. අප එකිනෙකාගේ ගතානුගතික රුචි අරුචිකම් නිසා නඟින හැඟීම් අනුව ඔහුගේ චරිතයෙහි දුර්ලභ ගුණාංග දැක්ක නොහැකිය.
විශේෂ ස්තූතිය ටෙනිසන් චන්ද්‍රපාල සිල්වාට