පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇස කාරණා දෙකක් හේතුවෙන් එක්සත් ජනපදය දෙසට යොමුව තිබුණේය. විස්සයි20 ක්‍රිකට් තරගය එකකි. මූල්‍ය අරමුදල සමඟ ඇති දෙවැනි සමාලෝචනය සහ තෙවැනි වාරිකය යන්න අනෙකය. ‘මූල්‍ය අරමුදලේ ආරම්භය සහ විකාශය’ වැනි කතා ගෙන මාතෘකාව දුර විහිදුවාලීම කළ යුතු නොවේ.
මූල්‍ය අරමුදල දෙවියකු නොවන බව ප්‍රකාශ කරන ලද්දේ එහි අට වැනි සභාපති වූ, හෝස්ට් කෝලර්ය. මේ නිසා ‘දෙන දෙවියෝ වහලයේ උළු ගලවා දුන්නා සේ’යැයි මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ලැබීම ගැන සිතිය යුතු නොවේ.
අප ගත කළ කාලය පිළිබඳ වාක්‍යයක් දෙකක් නොලියා එක්වරම මුල්‍ය අරමුදලේ වාරිකය දෙසට ගමන් කළ නොහැකිය. තාරකා සඳහා ඇති දුර මනිනුයේ, සැතපුම් හෝ කිලෝ මීටර්වලින් නොවේ. වර්ෂවලිනි. මේ රටේ ඒ කාලයේ තිබූ ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දිග මැන්නේද ඒ ආකාරයට දින ගණන්වලිනි. රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරන ලද අතර, දේශපාලන අස්ථාවර භාවය කොතරම්ද කිවහොත්, රටේ නීතිය සහ සාමය පතුලටම ඇද වැටී තිබිණි. ඇඳිරි නීතිය පනවා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළද මිනිස්සු පොදි පිටින් පාරේය. එහෙම යුගයක අතරමග මේ රට භාර ගැනීමට ඉදිරිපත් වූ නායකයෙක් නොවීය. වත්මන් රාජ්‍ය නායකයා ගිනි හට්ටියක් වූ මේ සියල්ල දෑතට ගත්තේය.
මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඔහු පිවිසෙන්නේ තමාගේ තීරණයක් අනුව නොවේ. බංකොලොත් රටකට ඇති එකම පිළිසරණ එය නිසාය.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වන්නේ 1950 වසරේ අගෝස්තු 29 වැනිදා එහි 50 වැනි සාමාජිකයා ලෙසය. 1965 වසරේ සිට දහසය වතාවක් මුල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන් ශ්‍රී ලංකාව පවත්වා තිබේ. එයින් බොහොමයක් මැද හරියේදී කඩා වට්ටන ලද්දේ අපමය. මූල්‍ය අරමුදල සඳහා ණය කොන්දේසි පනවන්නේ එම පාර්ශ්වය නොවේ. බැංකුවක් සමඟ ණය ගන්නා විට, තමා ණය ගෙවන්නේ කෙසේ දැයි බැංකුවට දැනුම් දෙනවා විනා, බැංකුව ඒ සඳහා යෝජනා පත්‍රයක් සකස් කර දෙන්නේ නැත. මූල්‍ය අරමුදල සමඟ කතාව ද එබඳුය. එම යෝජනා ඉටු කළ විට ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කර මූල්‍ය අරමුදල ඊළඟ වාරික නිකුත් කරන්නේය. මෙතෙක් බොහෝ වැඩසටහන්වලදී, ශ්‍රී ලංකාව සිදු කරන ලද්දේ ක්ෂණික ගැටලුව නිරාකරණය කරගෙන වැඩසටහන අතරමග නවතා දැමීමය.
දැන් අප ගෙවන්නේ ඒ සියල්ලේ විපාකය. මේ රටේ ආර්ථිකය සඳහා සියලුම පාලකයන් සහ පාලිතයන් ගත් වැරදි තීරණ අවසාන ගිණුමකට බැරවීමේ ප්‍රතිඵලය වුයේ, රට බංකොලොත් වීමය. දැන් ඒ සියල්ලටම විසඳුම් සෙවීමට සිදුව ඇත්තේය.
මේ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොකළොත් පතුලේ ද වැළලී යනවා හැර විකල්පයක් අපට නැත්තේය. ආර්ථිකය ගොඩගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ එහෙයිනි. එතැනදී විදුලි බල මණ්ඩලය හෝ තෙල් සංස්ථාව පෙර පරිදි අතින් පාඩුවට ගෙන යා නොහැකිය. බදු සම්බන්ධයෙන් සැම දෙනාම සතුටු වන ආකාරයට කටයුතු කළ නොහැකිය.
එසේ කළහොත් ශ්‍රී ලංකාව තව ටික දිනකින් ඉන්දියන් සාගරයේ කුණු මුල්ල බවට පත්වෙනවා ඇත. මූල්‍ය අරමුදලේ වාරිකය ලැබීම යනු අතට ගතමනාවක් කඩා වැටුණා වැනි යමක් නොවේ.
බොහෝ දෙනා සිය දේශපාලන න්‍යාය පත්‍රය අනුව, මූල්‍ය අරමුදලේ වාරිකය නොලැබුණොත් අනගි යැයි යටි සිතේ තබාගෙන සිටියහ. බංකොලොත් දේශපාලනයේදී හිත ඇදී යන්නේම එවැනි කමකට නැති අදහස් වෙතය.
ජනතාවගේ සහනාධාර මෙන්ම ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික පරිසරය ද රඳවා ගනිමින් මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අප මේ කෙටි කාලයේදී ක්‍රියාත්මක කරන ලද හෙයින්, තුන්වැනි වාරිකය, ශ්‍රී ලංකාවේ ගිණුමට ගිය සතියේ බැර විය.
මෙතැන් සිට ද ගමන යා යුත්තේ පරෙස්සමටය.
උදාහරණය වන්නේ ඉන්දියාවය. 1951 වසරේ සිට 1993 වසර දක්වා කාලය තුළ, මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන් හතක් ඉන්දියාව සිදු කළේය. 1993 වසරේදී සිය අවසන් වැඩසටහන නිම කිරීමෙන් පසු, ඉන්දියාව යළි මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන් සඳහා ගියේ නැත. අතරමග වංගු ගසමින් යනවා වෙනුවට, මූල්‍ය අරමුදල සමඟ සිය ආර්ථික ප්‍රතිසංස්කරණ මැනවින් පවත්වාගෙන යෑමේ විචක්ෂණ භාවයක් ඉන්දීය පාලිතයන්ට සහ පාලකයන්ට තිබිණි. එයින් ආර්ථික සවිමත් භාවය ඉන්දියාව ලබා ගත්තේය. ව්‍යුහාත්මක ගැළපීම් හරහා ආර්ථිකයට දිගුකාලීන ප්රතිලාභ ලබා ගැනීමට අප ද යොමු වුයේ නම් මූල්‍ය අරමුදල පැත්තේ නිතර නිතර යෑම අවම කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා ඇත.
දැන් තුන්වැනි වාරිකය ලැබුණා කියා නිදහසේ පියාසර කිරීමේ ආර්ථික වරම අපට ඇත්තේ නැත.
පළමුව මේ ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීම අප සතුය. ඒ සඳහා වන දේශපාලන සහ සමාජීය පදනම අතරමගින් කඩාකප්පල් කර ගතහොත්, ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදල විසින් දරුකමට හදා ගත්තද වැඩක් වන්නේ නැත.
සමාජයක් ලෙස මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ විෂයෙහි ධනාත්මක සාකච්ඡා පැවැත්වීම අත්‍යවශ්‍යය. ඒ මිස පරණ වලව් බිමට පහත් වුවද, ඒවායේ වරිච්චි බිත්ති බදාගෙන මිය යා යුතු යැයි අප තීරණය කළ යුතු නැත. ඒ වෙනුවට ඒවා නව ආකෘතින් අනුව ගොඩනඟා ගත යුතුය.
මේ සඳහා රටක් ලෙස අපට න්‍යාය පත්‍රයක් තිබිය යුතුය.
2022 වසරේ සැප්තැම්බරයේදී මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් විශේෂ ගැනුම් හිමිකම් යටතේ රුපියල් බිලියන 2.286ක විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා එළැඹි කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව මත මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ දහ හත් වැනි වැඩසටහන ආරම්භ විය. දැන් එහි මැද හරියට අප පැමිණ ඇත්තේ වැඩේ නිවැරදි ආකාරයට සිදු කිරීම නිසාය. එතැන් සිට ඉතිරි කොටස ද ‘හරි පාරේ’ රැගෙන යන්නේ නම්, මේ රටට යළි ‘පාර වරදින්නේ’ නැත.