Home » උදේ කෝච්චිය

උදේ කෝච්චිය

by Mahesh Lakehouse
June 15, 2024 12:28 am 0 comment

මුහුදු කොණේ ඈත ක්‍ෂිතිජයේ පාවෙන තිතක් දෙස බලාගෙන ඈ අනිමිසලෝචනයකය. ඈ දෙස බලන කෙනෙකුට එසේ පෙනුණ ද ඈ ඒ තිත දෙස බලා නොසිටිනවා ද විය හැකිය. ඒ තිත නම් එක තැන තිබෙන සේ පෙනුණ ද ගමන් ගන්නා නැවකි. ඇගේ සිතේ කකියන්නේ ඒ ඈත ඇදෙන තිත හෝ නැවවත් නොව, ඈ වෙළාගෙන සිටින දහසකුත් එකක් පැන විය හැකිය. එසේ නැතිනම් කිසිදු අරමුණකින් තොර හිස් බැල්මක් ද විය හැකිය. තත්පරෙන් දහසකින් පංගුවකින් සසල වන සිත තත්පරයකින් දහසකින් පංගුවකදී එක තැනකටත් තවත් දහසකින් පංගුවකදී ගවත් තැනකටත් විතැන් වේ. යම් හෙයකින් ඈ මේ සිටින්නේ කිසිදු අරමුණකින් තොරව හිස් සිතින් නම් ඒ චිත්ත විවේකයක් නැත්නම් සිත එක්තැන්වූ අවස්ථාවකි. සචිත්ත පරියෝ දපනං අවස්ථාවකි. එහෙත් දමනය නොකළ නිරායාසයෙන් දමනය වූ අවස්ථාවකි. එය එහෙම නම් ඉතාමත් හොඳය.

ගෙවල් පොල්ගස් වගේම යන්තම් අටවාගත් පැල්පත් පේළි ද අතරින් පතර ඇසට හසුවෙනවා ද සැක සහිතය.

මහින්ද නැත්නම් දුම්රිය ගමන මෙලෝ රහක් නැති වීමට ඉඩ තිබුණි. ඔහු මැදිරියම සතුටින් තබන සිනා සාගරයකි. මැදිරියේ ඒ කෙළවරටත් මේ කෙළවරටත් දුව පනිමින් විහිළු සපයයි. අප කණ්ඩායම හැර අනෙක් බොහෝ දෙනාට “කාඩ්“ ගසා ඇත.

මාද ඇතුළුව අපගේ කණ්ඩායමේ දහ පහළොස් දෙනෙකුම බැංකු සේවකයන්ය. මහ බැංකුවේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ මෙන්ම තවත් පුද්ගලික බැංකු කීපයක අයද වෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවියන් පස්දෙනෙක් ඇතුළු විවිධ ආයතනවල සේවය කරනු ලබන විවිධ තරා තිරම්වල වැඩිපිරිසක් ද වෙති. අපේ පිරිස හැමදාම ගමන් ගන්නේ එකම මැදිරියකය. ඒ එන්ජිමේ සිට තුන්වන මැදිරියයි.

“ ආ මෙන්න රුවන් මහත්තය එනව. කොහොමද සුවඳ. ඔය කවුරුහරි නැඟිටල ඉඩ දෙන්න ඒ මහත්තයට වාඩි වෙන්න. ”

මම දුම්රියට නැග්ග විගස මහින්ද කෑ ගසන්නේ එලෙසය.

“ රුවන් මහත්තය ඔය ටයි එක කලිසම් සාක්කුවෙන් එළියට ඇවිල්ල, වැටෙයි. ඇතුළට ඔබා ගන්න. නෑ කමක් නෑ කොණක් එළියට පේන්න තිබ්බත් කමක් නෑ. ඔයා ඔෆිස් එකේදි ටයි එකක් දාන් ඉන්නෙ කියල දකින අය තේරුම් ගන්නවනෙ.”

මගේ සාක්කුවේ ඇති ටයි එකක් නැත. එහෙත් ඔහු කියන්නේ එහෙමය.

“ කෝ රුවන් මහත්තයගෙ සාක්කුවෙ ටයි එකක් නෑනෙ. ඔයා බොරුනෙ කියන්නෙ,”

සුනිල් මහත්තයා පවසයි.

“ හා නැත්ද, එහෙනං කමක් නෑ.”

නැවත මහින්ද පවසයි. ඔහුගේ කතා ස්වරූපයටම කාටත් සිනා නොවී සිටිය නොහැකිය.

“ අද ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නැත්ද දුව.”

තම පෙම්වතා සමඟ එන මහ බැංකුවේ අලුත් පත්වීමක් ලැබ දුම්රිය ගමනට එක්ව සිටින නෙත්මිගෙන් මහින්ද අසයි.

“ නෑ එයා නිවාඩු.”

“ ඉතිං ළමයො අදට වෙන කාවහරි සෙට් කර ගන්න එපැයි. ඔහොම තනියම ගිහින් හරියනවයැ.”

මහින්ද පවසන්නේ කවුරුත් සමඟ නෙත්මි ද හිනස්සවමිනි.

මහින්ද පැහැපත් වඩා උසත් නැති මිටිත් නැති මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි නොම්මර එකේ ස්ටේසමෙන් දුම්රියට ගොඩවන මහජන බැංකුවේ සේවය කරන නිතර සතුටින් සිටින්නෙකි. වයස අවුරුදු හතළිස් පහකි. දරු දෙදෙනෙකි. දන්නා පරිදි බිරිය රැකියාවක් නොකරයි.

ගාල්ලේ සිට එන මේ දුම්රියේ අසුන් අත්පත් කරගෙන එන පිරිසක් ද සිටී. ඔවුන්ගෙන් සමහරු සැප නින්දේය. පාන්දර හතරට පමණ දුම්රියට ගොඩවන රෑ දහයට පමණ ආපසු නිවෙසට යන මේ මිනිසුන්ගේ රෑ නින්දෙන් කොටසක් දුම්රියේ ගෙවීම සාධාරණය. කාට හරි අසුන දෙන්නට වෙයි කියා හොරට නිදන අය ද සිටී. ඔවුන් හඳුනාගත හැකිය. වරින් වර හොරෙන් හොරෙන් බාගෙට ඇස් ඇර බලයි.

ඉඳගෙන හිඳින තවත් පිරිසක් කාඩ් කුට්ටමක් අනමින් ඕමි ගසයි. තැනක තරුණ පිරිසක් එක්ව ගී ගයයි. මධුර මනෝහර ගීත. ජෝතිගේ මිල්ටන්ගේ කපුගේගේ ගී වැඩියෙන් ඇසේ.

බොහෝ තැන්වල කාන්තාවන් කුටු කුටු ගාමින් දොඩමළු වෙන්නේ තම තමන්ට පෙරදා නැතිනම් පෙර දිනෙක මුහුණ පෑමට සිදුවූ සංසිද්ධීන්ය.

නිතර මැදිරිවල උපන්දින පාටිය. අපගේ මැදිරිය ද එසේමය. සතියකට දවසක්වත් කේක් කෑල්ලක් කන්න ලැබේ. මදි වුණොත් කෑල්ලෙන් කෑල්ලක් හෝ බෙදා හදාගෙන කයි. එය හරිම සුන්දරය. කේක් කෑල්ලක් කීවේ උදාහරණයකටය. විවිධ කෑම වර්ග ඒ අතර ඇත.

ඉඳහිට මරණයකට ද අසනීප වූවකු බැලීමට ද තරුණ කොටස්වල මඟුල් තුලාවකටද දරුවකුගේ කොටහලුවකට ද යන්නට සිදු වෙයි. ඒ, මේ සංසදයේ හැටිය.

මිස්ටර් සුරවීර දුම්රිය සේවකයෙකි. ඔහු ලොකු වැටුපක් නොලබයි. ඔහු හිටගෙනම බර කල්පනාවකය. දරුවන් තිදෙනෙකි. ඔහුගේ රැකියාවට අමතරව බිරිය අසල කුඩා ඇඳුම් මසන තැනක සේවයට ගොස් සොච්චමක් උපයයි.

වැඩිමහල් දියණිය වැඩිවිය පැමිණිලාය. පොඩියට හරි උත්සවයක් නොගතහොත් දරුවාගේ හිත පෑරේ යැයි ඔහු සිතයි. උත්සවයක් ගන්නාවිට ගෙටත් පොඩියට හරි තීන්ත පාරක්වත් ඉලිය යුතුය. නමට හරි දරුවාට කන කරක් රැගෙන දිය යුතුය. ණය විය යුතුමය. ඒත් කාගෙන්ද. බිරිඳගේ චේන් පොටත් වළලු දෙකත් උකස් කළ හැකිය. ඒත් ඒ ටික තබා කීයක් ලබාගත හැකිද? එය ප්‍රමාණවත් වෙයිද? තිබ්බ වගේ නොවේ, බේරුම් කළ හැකි වේවි ද. ලැබෙන තෑගිවලින් කොටසක් හරි බේරගන්න බැරියැ. ගේ ඉස්සරහ විතරක් තීන්ත ටිකක් ගානව. මටම බැරියැ නිවාඩු දාල ඒක කරගන්න. ලුහුඬුවට යනව. ඔහු සිතයි.

මස් උයන්නැතිව මාළු උයනව. එක අතකින් මාළුවලට වඩා මස් උයන එක ලාබද මන්ද. වැඩපළේ උන්ට අරක්කු දෙන්නත් එපායැ. වැඩි වැඩ කරන්න බෑ. ගල් බෝතල් හතර පහක් ගෙනැත් තියනව. මස්සිනා කෙනෙකුත් ඉන්නවනෙ බේබද්දෙක්. රූපවතී අම්මත් එක්ක නැකත් බලන්න යන්නැති.

කෙල්ලව සවුත්තු කරන්න බෑ. හොඳට කෑම ටික හදල තියන්නත් ඕනි. ඔහේ…, හොඳ ගවුමකුත් මස්සන්න එපායැ. ඒකටත් හොඳ ගාණක් යට වේවි. රූපවතීටත් අලුත් ඇඳුම් ඕන වෙයිද දන්නෑ. මටනං ඕන්නෑ. අක්ක හොඳට ඇඳල ඉද්දි පොඩි වුන් දෙන්නට පරණ ඇඳුම් අන්දන්න බෑ නෙව. උන් දෙන්නටත් ඇඳුම් සූට් දෙකක් අරන් දෙන්න ඕනි.

“ සුරවීර රත්මලානටත් ආව. උඹ බහින්නැත්ද.” රත්මලානෙන් බහින ගමන් යාළුවෙක් කෑගසයි. සුරවීර දනිපනි ගා දුම්රියෙන් බැස ගත්තේය.

සඳලතා හැමදාමත් මෙහෙමය. අත් දෙක පපුව මැද බැඳගෙන කල්පනාවේමය. ඇය කවුරුන් හෝ සමඟ කතා කරන්නේ ඇයට ඕනෑනම් හෝ කවුරුන් හෝ ඇය සමඟ කතා කළහොත් පමණය. නිතර ඇගේ මුහුණේ තියෙන්නේ දුකක කනගාටුවක මහා බරක සෙවණැලිය. පැහැපත් නමුත් නිරන්තර අඳුරු කරගත් මුහුණකිනි ඇය සිටින්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ඈ සැලකිය යුතු වැටුපක් ලැබුව ද ඇයට තිබෙන ප්‍රශ්නය නම් මහත්තයා යාපනේ කරෙයිනගර් නාවුක හමුදා කඳවුරේ සේවය කිරීමය. ත්‍රස්තවාදී උවදුරු අවසන්ව ඇතත් දරු තිදෙනෙකුගේ බර වගකීම දරන්නට සිදුව ඇත්තේ තමාටය. ඔහු ගෙදර එන්නේ මාසයකට එක් වතාවකි. ඒ ආවත් දින දෙකෙන් ආපසු යයි. වැඩිහිටි දෙමාපිය යුවළ දරුවන්ගේ කටයුතු බලා කියා ගත්ත ද විසේකාර වියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනාත් බාල ගැහැනු දරුවාත් ගැන ඇය සිටින්නේ මහත්වූ විස්සෝපයෙනි.

ඒ සියල්ල එසේ තිබියදී තමා තාමත් වයස අවුරුදු තිස් තුනක තරුණ කාන්තාවක් නොවේදැයි ඇයට නිතර සිතේ. විවාහ වීමෙන් පසුවත් ස්වාමි පුරුෂයාගේ සේවනය නොමැතිව ගෙවනු ලබන ජීවිතය කෙතරම් නීරසදැයි ඇයට දැනේ. එය හරියට තිත්ත කසායක් බඳුය.

මැදිරියේ තරුණ පෙම් යුවළ කීපයකි. ඉඳගෙන යන අය තුරුළුවී නොවුණත් එකිනෙකාගේ ඇඟට බරවී ගමන් කරයි. හිටගෙන යන ජෝඩු එකෙකු වැටේද යන අදහසින්දෝ තරුණිය තරුණයාගේ හෝ තරුණයා තරුණියගේ හෝ බඳ වටා අතක් යවාගෙන හෝ තරුණිය තරුණයාගේ අතක එල්ලීගෙන හෝ ගමන් කරයි. ඔවුන්ගේ මුහුණු පුරා සතුට ඉතිරී පිටාර ගොස්ය.

අහම්බෙන් දිනෙක තවත් තැනක තරුණියක් දොම්නසින් කඳුළු සලයි. මෙතෙක් කල් ඇසුරු කළ පෙම්වතා ඇය හැර ගොස්ය. නැතිනම් ඔහුගේ වෙනත් සබඳතාවක් කන වැකිලාය. ඇය ලේන්සුව හපාගෙන හඬයි. යෙහෙළියක් ඇය සනසන්නට තනයි.

“ ඇයි ළමයො ලේන්සුව කන්නෙ. බඩගිනිද. ඉන්න කේක් කෑල්ලක් දෙන්නම්. අනේ මේ, මේ දරුවට කේක් කෑල්ලක් දෙන්න. අරුණි මිස් ඔයා කේක් ගෙනත් තිබුණ නේද; ආ ඉවරද? එහෙනං ඉතිං කරන්න දෙයක් නෑ.”

මහින්දගේ ඔලොක්කුව, කරුණු දැක්වීමෙන් ද ප්‍රශ්න ඇසීමෙන් ද උත්තර දීමෙන් ද ඔහුම අවසන් කරයි. ගෑනු ළමයාගේ කඳුළු අතරට සිනාවක්ද නඟී. ඒ මහින්දගේ හැටි ඇය ද දන්නා බැවිනි.

පාණදුරයෙන් දුම්රියට නඟින එක්තරා පුරුෂයකුත් මොරටුවෙන් ගොඩවන කාන්තාවකුත් අසම්මත සබඳතාවක් පවත්වන බව සැමගේ නිරීක්‍ෂණයට ලක්ව තිබුණි. දෙදෙනාම මිට්ටන්ය. මේ කාරණය ද මුලින්ම අවධානයට ලක්වුණේ මහින්දටය. ඔහු ඒ ගැන අප සැමගේම අවධානය යොමු කළේය.

දෙහිවලින් මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන හේවාගමගේ නම් දුටු විට හිනා යන තරම් මහත වයස පනහ පැන ඇතැයි සිතිය හැකි මහත්මියක් අප අතරට එකතු වෙයි. මහින්ද ඇයට හීන් කෙන්ද යැයි නමක් පට බැන්දේය. මහින්දගේ උසුළු විසුළු ඉවසන්න බැරිම තැන ඇය අප කණ්ඩායමෙන් වෙන්ව වෙනත් පිරිසක් අතරට ගියාය.

“ මෙයාගෙ විහිළු දරාගන්න බැරුව ඒ මනුස්සය යන්න ගියා.” කියා සුනිල් මහත්තයා පැවසූ විට,

“ආ එයා ගියාට සුනිල් මහත්තය ෂොක් වෙලා වගේ. එයා ගිය එකමයි කාරිය. එයාට ෂීට් හතරක් එපැයි ඉඳ ගන්න. ඒත් කමක් නෑ ඉඳ ගත්තට පස්සෙ ආයි අම්ම මුත්තෙ කිව්වත් නැගිටින්නෑ තව කෙනෙකුට ටිකක් ඉඳ ගන්න.”

මහින්දගෙ කතාව ඇත්තය. අප කවුරුත් ඉඳගෙත හිටගෙන එන්නේ මාරුවෙන් මාරුවටය. මහින්දගේ හීන් කෙන්ද එහෙම නැත. ඉඳ ගත්තොත් ඉඳ ගත්තාමය.

වැල්ලවත්තත් බම්බලපිටියත් අතර තැනක දුම්රිය නතර කරයි.

“ මොකද ඒ ”

කවුරුත් විමසිලිමත් වේ.

“ කවුද එකෙක් පැනල මැරිල”

“ උගේ ප්‍රශ්න ණය බර ඔක්කොම ඉවර වෙන්නැති.”

“ සතියකට එකක් දෙකක් මේ විදියට ප්‍රශ්න විසඳෙනව.”

“ අපිට ප්‍රශ්නයක් වැඩි වෙනව. ලේට් වෙලා ගියහම රතු ඉර වදිනවනෙ.”

“ ඒකනෙ පනින එකෙක් හවස කෝච්චියකට නැත්තං දවල් කොච්චියකට පැන්නම අහවරනෙ. ගල් මූසලකමට කුණු කෙළ පිටින්ම ඇවිත් පනිනව.”

ඒ මහින්දගේ හඬය.

රුවන් පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division