නවකතා සහ කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති රුසියානු – සෝවියට් ලේඛක කොනස්තන්තයින් පවුස්තොව්ස්කි (1892 – 1968) විසින් 1955 වසරේ රුසියානු බසින් රචිත ‘සොලෝටිකා රෝසා’ නම් කෘතිය The Golden Rose: literature in the making නමින් ඉන් වසර කිහිපයකට පසුව සුසානා රොසෙන්බර්ග් නම් ස්වීඩන් ලේඛිකාව විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.
කොන්ස්තන්තයින් පවුස්තොවුස්කි කොසැක් පියකුට දාව පෝලන්ත මවකගේ කුසින් 1892 මැයි 31දා සාර් රුසියාවේ උපත ලැබී ය. සිය පියාගේ රැකියාව නිසා යුක්රේනයේ හැදී වැඩුණු ඔහු පැටි වියේ ගම්බද මෙන්ම කියෙව් අගනුවර ද එකසේ කල් ගෙවී ය. 1912 දී ගණිතය සහ භෞතික විද්‍යාව හැදෑරීම සඳහා කියෙව් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හේ 1914 දී ඒ පාඨමාලාව අතැර දර්ශනය හැදෑරීමට මොස්කව් විශ්වවිද්‍යාලයයට ඇතුළත් විය. පළමුවන ලෝක මහා යුද්ධය නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාළ වූ අතර යුද සේවයට බැඳුණු ඔහු වෛද්‍ය අංශයේ පණිවුඩකරුවකු ලෙස පෙරමුණේ සේවය කළේ ය.
යුද්ධය අවසන් වූ පසුව දීර්ඝ සංචාරවල නිරත වූ ඔහු මුදල් අවශ්‍යතා නිසා විවිධ රැකියාවල නිරත වූයේ ය. 1917 වසරේ ඇරඹි ඔක්තෝබර් විප්ලව සමයේ පුවත්පත් කලාවේදියකු ලෙස රුසියාවේ සහ පසුව රුසියාවට ඈඳුණු රාජ්‍යවල ඇවිද ගිය ඔහුු 1923 වසරේ ආපසු මොස්කව් වෙත පැමිණ පූර්ණකාලීිනව ලේඛන වෘත්තියේ නිරත විය.
සරසවි අධ්‍යාපනය ලබන දවස්වල ලිිවීම ඇරඹු පවුස්තොවුස්කිගේ කෙටිකතා 1911 වසරේ සිට ම පුවත්පත්වල පළ වී තිබේ.
සංචාරවල දී එක්කාසු කර ගත් අත්දැකීම් ඇසුරින් ‘මුහුද මැද දී ලියූ කටු සටහන්’ මුද්‍රණයෙන් එළි දුටු ඔහුගේ මුල්ම කෘතියයි. ඉන්පසු ‘මිනසෝටා’ (1927) සහ ‘දිලෙන වලා’ (1929) යන කෘති එළිදැක්වූ ඔහු කෙරේ විචාරක අවධානය යොමු වූයේ ‘කරා බුගාස්’ නම් නවකතාව නිකුත් වීමත් සමඟ ය. මෙයට පදනම් වූයේ එකල සෝවියට් දේශයට අයත්ව තිබූ කැස්පියන් මුහුදේ කරා බුගාස් කලපුවේ ග්ලෝබර් ලුණු ලේවාය යි. කිසිදා දැක නොතිබුණු කරා බුගාස් කලපුව පසුබිම් වන නවකතාවක් සඳහා නිර්මාණාවේශය තමාට ලැබුණේ කෙසේ ද යන්න මේ කෘතියේ මැනවින් විස්තර කෙරෙයි.
ඒ ඇසුරින් පවුස්තොව්ස්කි විසින් පිටපත ලියා නිපදවන ලද එනමින් ම යුත් චිත්‍රපටය එවකට රුසියානු පාලකයාව සිටි ජෝසෆ් ස්ටාලින් විසින් පෞද්ගලිකව ම තහනම් කරන ලද බව සඳහන් ය.
පවුස්තොවුස්කි සෝවියට් කමියුනිස්ට් පාලනයත් සමග ඇඟෑලුම්කම් පවත්වා ගෙන නොගිය ලේඛකයකු ලෙස ප්‍රකට ය. 1965 වසරේ ඔහුගේ නම නෝබල් ත්‍යාගය සඳහා නිර්දේශ වුවත් ඔහුට එය ලබා ගැනීම සෝවියට් පාලනය විසින් අවහිර කරන ලද බව පැවැසේ. ඒ වසරේ නෝබල් ත්‍යාගය දිනා ගත්තේ සෝවියට් ලේඛක මිහායෙල් ෂොලහෝව් ය.
කිසියම් පුද්ගලයෙක් රන්කම් කරනා තැනක බිම පිස දා වැලි එක් කොට එහි ඇති රන් සුනු පෙරා ගනී. දිගු කලක් තිස්සේ ඔහු මෙය කරන්නේ තමා ඇලුම් කරන දැරියකට තෑගි දීමට එයින් රන් මලක් නිර්මාණය කරවා ගන්නට ය. මන්දයත් තමාට කවුරුන් හෝ රන් රෝස මලක් දුන්නොත් සිය ජීවිතය වාසනාවන්ත එකක් වනු ඇතැයි ඇය වරෙක ඔහු සමග කියනා හෙයිනි. දිගු කලකට පසු ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි. අසීරුවෙන් රැස් කර ගත් රන්සුනුවලින් නිමවන ලද මලක් රන්කරුවා ඔහු අත පත් කරයි. එහෙත් ඒ වන විට එම මලින් පුදන්නට ඔහු සිත තුළ සිටි ඇය නැවත හමු නොවන සේ දුර ඈත පෙදෙසකට යන්නට ගොසින් ය.
නිර්මාණයක් ද එබඳු රන් මලක් වෙති යි පවුස්තොවුස්කි අපට පෙන්වා දෙයි. නිර්මාණයක් යනු ඉතා අසීරු කාරියකි. අමාරුවෙන් නිමවා ගත්තත් සමහරවිට ඉලක්ක ගත පුද්ගලයාට එය දී ගන්නට නොහැකි වන්නට ද ඉඩ තිබේ.
‘ගෙවෙන සැම නිමේෂයක්, නොසිතා බිණූ වදනක්, හෙළූ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත රේණුවක්, විලෙක දිලෙන තරු කිරණ කණිකාවක්, මේ සියල්ල ම රන්සුනු ය. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි සිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන්සුනු අවුලමු. අවුළා දිනෙක ඒවා ගෙන එකට තලා අපගේ ම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු. ඒ රන් රෝස මල කතන්දරයක්, නවකතාවක් නැතහොත් කවක් විය හැකි ය. සාහිත ශ්‍රෝතස උපදින්නේ අගය නොමිනිය හැකි මේ රන් සුනුවලිනි.’
‘තමන් නිරත කාර්යය උතුම්ම එකක් ය යන අදහස ලේඛකයා කිසිවිටෙකත් අමතක නොකළ යුතු ය. සාහිත්‍යමය අත්දැකීම් සංවර්ධනය කිරීම හා සියලු දෑ දෙස යථාර්ථවාදී ව බැලිම වැදගත් වුව ද අර උතුම් අරමුණ හා සසඳන විට ඒවා දෙවැනි තැනට වැටේ. එහෙත් ඒ නිසාම ලේඛකයා බොරු වීරයකු වීම නොහොබනා ය. තමා අන් හැමට ම ඉහළ ය යන බොරු මානය ද ඔහු දුරු කළ යුතු ය. සමාජ ව්‍යුහය තුළ තමාගේ කාර්යය පිළිබඳ අතිශයෝක්තියෙන් ගත් අදහසක් හිස දරා ගැනීම සුදුසු නොවේ. සාහිත්‍යයෙහි පෘථූලාර්ථය ගැන හොඳ දැනුමක් තිබූ ඒ සඳහා සිය ජිවිතයම කැප කළ මිඛායෙල් පිරශ්වින් මේ කරුණ ගැන කීවේ මෙසේ ය: “නියම ලේඛකයා කැමැති වන්නේ තමා සිය සහෝදර ජනීජනයාගෙන් වෙනස් අයකු ලෙස සිතීමට නොව, ඔවුන්ගේ ම ලෙයින්, මසින් සැදුණු අයකු සේ සිතීමට ය.”’
‘නිර්මාණාත්මක ක්‍රියාවලිය උල්පතකට සම කිරීම සුදුසු ය. හිරු කිරණ හිම උණු කරයි. වාතය ද පොළොව ද ගස්වැල් ද උණුසුම් කරයි. හඬවයි. මේ සියල්ල වසන්තයේ ලකුණු ය. මේ අයුරින් ම නිර්මාණකාරී ක්‍රියාවලිය ආරම්භ වූවාට පසුව එයට අලුත් සිතුවිලි අලුත් චිත්ත රූප, අලුත් සම්බන්ධතා, අලුත් වදන් එක් වීම සිදුවේ. නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයා පවා මෙවන් විටෙක විස්මයෙන් මුසපත් වීම ස්වාභාවික ය.
යමෙකුට ලේඛකයකු විය හැක්කේ ඔහුට යම් අලුත්, වැදගත් සිත් ගන්නාසුලු දෙයක් කියන්නට ඇත්නම් පමණි. ඔහුට අනෙක් අයගේ ග්‍රහණයෙන් ගිලිහෙන දෙයෙහි, ඔවුන් නොදුටු පැත්තක් දැකිය හැකි අන්දමේ තියුණු ගුණයක් තිබිය යුතු ය.
The Golden Rose ආරියවංශ රණවීර විසින් රන්රෝස නමින් සිංහලට පරිවර්තනය කරන ලදී.
ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.
මේ 2020 දී සුභාවි ප්‍රකාශකයන් විසින් එළිදක්වන ලද එහි කංචුකයයි.