ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක මීදෙණිය වලව්ව නැරඹීමට යෑමෙන් අනතුරුව එම වලව්ව සමඟ ජනාධිපතිවරයාගේ ඇති සබඳතාව කුමක්දැයි බොහෝදෙනෙකුගේ අවධානය යොමු වි තිබිණි.
ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ පෙර රජ දවසේ රාජ රාජ මහාමාත්‍යාදීන් ඔය කියන මීදෙණිය පරම්පරාව කටයුතු කොට ඇත. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිට වත්මන් පාර්ලිමේන්තු පරම්පරාව දක්වාත් මීදෙණිය පරම්පරාව මෙරට දේශපාලන ලෝකයේ විවිධාකාර ස්වරූපයෙන් නියෝජනය වී ඇත. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මෑණියන් නාලිනි වික්‍රමසිංහ ය. ඒ කියන්නේ ජනපති රනිල්ගේ සීයා ලේක් හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධනය. විජයවර්ධන මහතා විවාහ වූයේ ජේ.එච් මීදෙණිය අධිකාරම්ගේ දෙවැනි දියණිය වූ ඇලිස් ගර්ට්රූඩ් රූබි මෙනවිය සමඟ ය.
මීදෙණිය පරම්පරාවේ පුරාණය මහනුවර රාජධානි සමයටත් එහා ලිඛිත ඉතිහාසයක් ඇති ඓතිහාසික එකකි. වීරපරාක්‍රම නරේන්ද්‍රසිහ රජුගේ අභාවයෙන් පසු සිහසුනට පත්වන්නේ ශ්‍රී විජය රාජසිංහයන් ය. එම සමයේ ලංකාවේ උපසම්පදාවක් නොමැතිව මෙරට බුදු සසුනක් භික්ෂූන් වහන්සේත් මහත් අර්බුදයකට ලක්වී තිබුණ සමයකි. ශ්‍රී විජය රජතුමාට නැවත ලංකාවට නැතිවී ගිය උපසම්පදාව ලබා ගැනීමට සියමයෙන් සහාය පැතීය. ඒ සඳහා සියමට යෑමට රජතුමා මුහන්දිරම් ත්‍රිත්වයක් තෝරාගත්තේය. විල්වාගෙදර මුහන්දිරම්, දරනාගම මුහන්දිරම් සමඟ රනිල් ජනපති පසුගියදා නරඹන්නට ගිය රුවන්වැල්ලේ වලව්වේ මීදෙණිය ඒ මුහන්දිරම් මේ ත්‍රිත්වයයි. මීදෙණිය මුහන්දිරම් නිලමේගේ මුනුබුරෙකු වූයේ මීදෙණියේ පණික්කි මුහන්දිරම්ය. මේ මුහන්දිරම් ශ්‍රි වික්‍රමසිංහ රජු යටතේ රාජ්‍ය තනතුරු නවයක් එකවර දැරූ බව මෑතකාලීන ලේඛනවල ඇත. ලංකාව බ්‍රිතාන්‍යයන් අල්ලා ගැනීමෙන් පසුවද ඔහු දැරූ තනතුරු නවයෙන් එකක් වූ හුණු බද්දේ නිලමේ ධුරය තවදුරටත් දැරීමට බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව පවරා තිබීම ජෝන් ඩොයිලි සඳහන් කොට ඇත්තේ එම විෂය ගැන ඇති විශේෂඥ දැනුම නිස මීදෙණියේ පණික්කි මුහන්දිරම්ට එම තනතුර ලැබුණ බවය. මෙම තනතුර සරල සිංහලයෙන් හැඳින්වෙන්නේ ප්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂ ලෙසය.
එක් දහස් නවසියය සියවසේ මුල්කාලේ ජනප්‍රිය චරිතයක් වූයේ ජෝන් හෙන්රි මීදෙණියයි. ඔහු හුණු බද්දේ දිසාවගේ මුණුබුරෙකි. ඔහු උගත්තේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය සේවයට එක්වුණු ඔහුට කෝරාල, රටේ මහත්තයා ආදි එකල ප්‍රබල රාජ්‍ය තනතුරු දරන්නට හැකි විය. ජෝන් හෙන්රි මීදෙණිය විවාහ වන්නේ සේනානායක පරම්පරාවේ මෙනවියක සමඟය. ඇය නමින් කෝර්නේලියා මැග්ඩලින් සේනානායකය. ඇයගේ පියා වූයේ සී. සේනානායක දේවගැති තුමාය. මේ යුවළට දියණියන් දෙදෙනකු හා පුතණුවකු දායාද විය. වැඩිමහල් දියණිය වූ ඇඩ්ලින් මිදෙණිය විවාහ වූයේ ප්‍රථම කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ සමඟය. පසුව ඔහු නයිට් නාමයෙන් ද පුදනු ලැබීය.
ජෝන් හෙන්රි මීදෙණියගේ බාල දියණිය වූ ඇලිස් ගර්ට්රූඩ් රූබි විවාහ වූයේ ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන් සමඟය. මෙම විවාහය එදා 1916 ජනවාරි 27 වැනි දින සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කොට තිබුණි.
“මිදෙණියේ දිසා මහතාගේ හා එම කුමාරිහාමිගේ දෙවැනි දියණිය වූ ඇලිස් ගර්ට්රූඩ් රූබි මෙනෙවිය සේදවත්තේ නැසීගිය දොන් පිලිප් විජයවර්ධන මහතාගේ හා එම ළමාතැනීගේ පුත්‍ර බී.ඒ. ඇල්.ඇල්.බී. උපාධිධාරී අධිනීතිඥ ඩී.ආර්. විජයවර්ධන මහතාට සරණ පාවා දීමේ විවාහ මංගල්‍ය රුවන්වැල්ලේ වලව්වේ දී සිදුවිය. මෙය එම වලව්වෙහි සිදුවූ දෙවැනි විවාහ මංගල්‍යයයි. සපිරිවරින් පැමිණි ආණ්ඩුකාරතුමා ඇතුළු උසස් ම පෙළේ අය සහභාගි වූ 1912 දී සිදුවූ විවාහ මංගල්‍ය මෙන් නොව ඊයේ විවාහ මංගල්‍යය දෙපක්ෂයේ කිට්ටුවර ඥාතීන්ට පමණ් සීමා වූ නිශ්චල එකක් විය. නමුත් මීදෙණියේ දිසාව මෙන් ම විජයවර්ධන පවුලත් රටේ කොතරම් විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින්නාහු ද යත් ආරාධනා පත්‍ර නො යැවූවත් එම අවස්ථාවට විශාල පිරිසක් පැමිණ සිටිය හ. ජේ.එච්. මීදෙණිය මහතා අතිශයින්ම විශ්වාසය තබන ලද ආණ්ඩුවේ සේවයෙහි නියුක්ත උඩරට රදළවරුන් අතරෙහි කෙනෙකුවා පමණක් නොව සමාදාන විනිශ්චයකාරයකු හා නිලනොලත් පොලිස් මහේස්ත්‍රාත්වරයකු වීම හැරෙන්නට මුළු සබරගමුවටම දිසාවරයා වෙයි. 1906 දී එංගලන්තයට පැමිණි ගමනේ දී හත්වැනි එඩ්වර්ඩ් මහරජතුමා විසින් පිළිගනු ලැබීමේ ගෞරවය ද ඔහුට හිමි ය.”
“මනමාල මහතා අගනුවර නීතිඥ මණ්ඩලයට අයත් තරුණ අධිනීතිඥයෙකි. එංගලන්තයේ දී ලබන ලද ඉගෙනීම ඇති ඔහු කවදා නමුත් නීති වෘත්තිය නමැති සරදාකාශයෙහි දිස්වන දීප්තිමත් ආලෝකයක් වීමට භාග්‍යය ඇත්තෙකි. මේ හැර විජයවර්ධන මහතා ලංකා ජාතික සමිතියේ ලේකම්වරයා ය. මහජන සේවක සමිතියේ සම ලේකම් ය. උසස් සිංහල පවුල් දෙකක් අතරේ වූ සම්බන්ධය දෙපක්ෂයේ ම බොහෝ නෑදෑ මිතුරන් විසින් හොඳ බලාපොරොත්තු ඇති කර ගන්නා ලද්දකි. මෙවැනි අවස්ථාවලදී එය සුබ ලකුණක් ය. විවාහ මංගල්‍ය සිදුකරන ලද්දේ පැරණි සිංහල චාරිත්‍ර නො පිරිහෙළා පිළිපදිමින්ය. සුබ නැකැත් වේලාවල් නො වරදවා සියලු කටයුතු කරන ලදි.”
“මෝටර් රථවලින් ඊයේ උදෑසන ම කොළඹින් පිටත්වූ මනමාල මහතා ඇතුළු පිරිස රුවන්වැල්ලේ තානායමේ නැවතී ඇඳ පැලඳගෙන සූදානම්ව දවල් 11ට වලව්වට සැපත් විය. අලි ඇතුන් හැත්තෑපස් දෙනකුගෙන් ද සිය ගණන් නළුවන්ගෙන් ද සෑදුණ පෙරහරක් ඉදිරියට ගමන්කොට පිරිස පිළිගන්නා ලදි. වලව්වේ අංගණයට පිවිසෙන දොරටුවේ සිට දිගට ම පාවාඩ අතුරන ලදි. මනමාල මහතා මරායුධ සේසත් වල්විදුණා ආදී මංගල සම්මත භාණ්ඩ පෙරදැරිව උඩු වියනක් යටින් වලව්ව දක්වා ම ගමන් ගත්තේ ය. ලංකා පාබල හමුදාවේ ලුතිනන් මුලාදෑනියකු වූ මනමාල මහතා එම නිල ඇඳුමින් සැරසී සිටියේ තමන් අවට වූ අනික් පෙරදිග විචිත්‍රතා මධ්‍යයෙහි විශිෂ්ටත්වයක් ගනිමිනි. මෙය මුළු පළාත ම ප්‍රීතියෙන් උද්දාම වූ අවස්ථාවක් බව කියන්ට පුළුවන. අවිස්සාවේල්ල දුම්රිය පොළ පසුකළ තැන් පටන් රුවන්වැල්ලේ වලව්ව දක්වා වූ මහ මඟ දෙපස වූ කුඩා ගෙවල් එකිනෙක ජය ගන්ට මෙන් සරසා තිබුණේ ය. මේ අතර මඟ හරහා බඳින ලද විසිතුරු තොරන් සූවිස්සක් විය. මේ සියල්ල කරන ලද්දේ පෙදෙස් වැසියන් විසින් තම ආදරණීය දිසා මහතාට හා ඔහුගේ දියණිය වූ තරුණ මනමාලියටත් තම තමන් තුළ ඇති ගෞරවය ප්‍රකාශ කර දක්වනු පිණිස ය. ”
තරුණ මනමාල යුවළට සුබපතා ලියන ලද ආශීර්වාද වාක්‍යවලින් යුත් තොරන පූර්ව දිග ලක්ෂණ ගත් ඒවා විය. වලව්ව අවට පෙදෙස රැලිපාලම් ප්‍රමුඛ කොට වූ සැරසිලිවලින් අලංකෘත විය. වලව්වට අල්ලා නුවර මඟුල් මඩුවේ හැඩයට සාදා තිබුණ විශේෂ මඩුවක් ද විය.
පෝරුවේ සිටුවීම අ: හා: 2.52ට යෙදුණු සුබ නැකැත් වේලාවට නියමිව තිබිණ. පැමිණ සිටි සියලු දෙනාම මඟුල් මඩුවට රැස්වූහ. උඩරට කලාව අනුව අලංකාර ලෙස නිමවන ලද මඟුල් පුවරුව ඒ ශාලාව මැදවිය. පුවරුව මත කැකුළු හාල් අතුරා තිබුණ අතර වටේටම කැවුම්, කිරිබත්, කෙසෙල්ගෙඩි ඇතුළු කැවිලි හා බුලත් හා පොල් ද තබා තිබුණේ ය.
මෙම වාර්තාවේ වෙඩින් කේක් එක හඳුන්වා දුන්නේ ‘පූපය’ ලෙසය. ඩී.ආර්. විජයවර්ධන එම කේක් එක කපා ඇත්තේ තමන්ගේ හමුදා භට නිල ඇඳුමේ ඇති කඩුවෙනි.
මේ අතර 1937දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමේ දී රුවන්වැල්ල ආයතනය සඳහා නිතරගයෙන් පත්වූ මන්ත්‍රීවරයා වූයේ ජේ.එච්. මීදෙණිය යි. අප කලින් ජෝන් හෙන්රි කිව්වේ ඔහුට ය. එහෙත් ඒ වසරේදීම සැප්තැම්බර් පස්වනදා ජේ.එම්. මීදෙණිය මියයාම නිසා රුවන්වැල්ලට අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදුවිය. මීදෙණිය අධිකාරම්ගේ බිරිය මරණයට පත්වී ඇත්තේ ජෙරුසෙලමේදී ඇගේ අවසන් කැමැත්ත අනුවය. ඇගේ අවසන් පැතුම වී ඇත්තේ ක්‍රිස්තු භක්තිකයින්ගේ ශුද්ධ නුවර වූ ජෙරුසෙලමේදී ඇගේ ජීවිතය අවසන් වීම ය. ජෙරුසෙලමේදී මියගිය ඇයගේ දේහය ඇගේ අවසන් කැමැත්ත අනුව ජෙරුසෙලමේදීම මිහිදන් කරන ලදි.
රුවන්වැල්ල අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවේ මීදෙණිය අධිකාරම්ගේ වැඩිමහල් දියණිය ඇඩ්ලින් මොලමුරේය. ඇය ඉතිහාසගත වූයේ ව්‍යවස්ථාදායකයට ප්‍රථමයෙන්ම පත්වූ මන්ත්‍රීවරියක ලෙසය. 1947දී උත්තර මන්ත්‍රී මණ්ඩලයට ඇඩ්ලින් මොලමුරේ පත්වන්නේ එම සභාවට පත්වූ ප්‍රථම කාන්තාව ලෙසය.
ප්‍රැන්සිස් මොලමුරේ බෑනා සහ මාමා වූ ජේ.එච්. මීදෙණිය ඉතිහාසගත වන්නේ බෑනා සහ මාමා එකට සභාගර්භය නියෝජනය කළ නිසාය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු දැදිගම ආසනයට නිතරගයෙන් පත් වූයේ ප්‍රැන්සිස් මොලමුරේ වන අතර රුවන්වැල්ල මන්ත්‍රීවරයා වූයේ ඔහුගේ මාමණ්ඩිය වූ ජේ.එච්. මීදෙණියයි.
මීදෙණිය වලව්ව තවත් ඉතිහාසගත වන්නේ ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩ්ලින් මොලමුරේ මන්ත්‍රී යුවළ එක්වර අසුන්ගත් ප්‍රථම මන්ත්‍රී යුවළ ලෙස ව්‍යවස්ථාදායකයේ අසුන් ගැනීම නිසාය. ප්‍රැන්සිස් මොලමුරේ මුතුන්මිත්තන් වූයේ මඩුවන්වෙල දිසාවේය. එමනිසා ඔහු උත්පත්තියෙන්ම අතිවිශාල බූදලයක හිමිකරු විය. මොලමුරේ යුවළගේ එකම දියණිය වූයේ සිතා මොලමුරේ මහත්මියයි. ඇය පස්වැනි පාර්ලිමේන්තුවට තරග කළේ තම සමීපතම ඥාතිවරියක වු මල්ලිකා රත්වත්තේ සමඟය. එහෙත් ඇයට ඇඩ්ලින් මොලමුරේ නම් තම මවට තිබුණ දේශපාලන ‘ලක්’ එක තිබුණේ නැත. ලංකාවේ දේශාලන ඉතිහාසය පක්ෂ ලෙස බෙදී ගියත් මේ ඉහළ පවුල්වල ඥාති නිෙවස බෙදී ගියේ නැත. රත්වත්තේ, එල්ලාවල, මහවල තැන්න, මීදෙණිය සහ කොබ්බෑකඩුව නිරීක්ෂණයේදී පෙනී යන්නේ ඔවුන් එකම නෑ පරපුරක් බවය.
ජේ.එච්. මීදෙණියගේ දියණියන් දෙදෙනා මෙන්ම පුතා හර්කියුලස් ද සුවිශේෂ චරිතයකි. ඔහු තම පියාගෙන් පසු රටේ මහත්තයා පදවියට පත්විය. හර්කියුලස්ගේ ලොකු බෑනා ද 1983දි යූ.ඇන්.පීයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ කිරිඇල්ල ආයතනයටය. හර්කියුලස්ගේ වැඩිමහල් දියණිය විවාහ කරගත් ඔහු ලෙනාඩ් කිරිඇල්ලය. හර්කියුලස්ගේ දෙවැනි දියණිය වූයේ අයිරාංගනි රෙක්ෂානා මීදෙණියෙයි. ඇය වඩාත් ප්‍රසිද්ධ අයිරාංගනී සේරසිංහ යනුවෙනි. අයිරාංගනි කියන පරිදි ඇගේ පියාගේ සම්පූර්ණ නම ජෝසප් හර්කියුලස් මීදෙණියයි. හර්කියුලස්ගේ විවාහය ද මෙරට දේශපාලනයේ තවත් සබඳතාවයක් ඇති කරන්නකි. හර්කියුලස් විවාහ වූයේ රත්නපුරේ නන්ද එල්ලාවලගේ පියාගේ සහෝදරියක් වූ වයලට් එල්ලාවලය.
මීදෙණිය පරම්පරාවේ අයිරාංගනි ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ 1947 වසරේදීය. ඇගේ සමකාලීනයන් වන්නේ නිශ්ශංක විජේරත්න, රොනි ද මැල්, ස්ටැන්ලි තිලකරත්න, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඇය මුලින්ම විවාහ වූයේ සරසවියේ තමන් සමඟ සමකාලීන සිසුවකු වූ එස්.බී. දිසානායක සමඟය.
මීදෙණිය වලව්වේ ‘අයිරාංගනි’ ලංකා විශ්වවිද්‍යාලයේ විප්ලවීය චරිතයක් විය. පීටර් කෙනමන් නිසා කොමියුනිස්ට් පක්ෂයට බැඳුණ ඇය පසුව සමසමාජයට එක්විය. සමසමාජයේ රැස්වීම්වලදී අයිරාංගනි දේශපාලන වේදිකාවල පවා කතා පවත්වා ඇති චරිතයකි. බර්නාඩ් සොයිසා සහ ඩොරික් ද සුසා නිසා ඇය ඔවුනගේ දේශපාලන වේදිකාවට ගොඩවිය. කොල්වින් ආර් ද සිල්වා වරක් ඇයට සමසමාජයෙන් ආසනයක් තරග කරන්නට ආරාධනා කළද අයිරාංගනි එය ප්‍රතික්ෂේප කරන ලදි.
අයිරාංගනි මීදෙණිය නාමය අයිරාංගනි සේරසිංහ බවට පත්වන්නේ ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ වින්ස්ටන් සේරසිංහ සමඟ විවාහයත් සමඟය. රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු හවසට CRBFC ක්‍රීඩා සමාජයට යාම හෝ මීවිතක් තොලගා රගර් මැච් බැලීම විනෝදාංශයක් විය. පසුකලෙක ඔවුන් දෙදෙනාම ඉංග්‍රීසි වේදිකාවෙත් සිනමාවෙත් එකට රඟපෑහ. අයිරාංගනී ද දේශපාලන චරිතයක් රඟපෑ චිත්‍රපටයක් නම් සාරගයක් මැදය.
‘බහිනවා – හූම් – එළියට – ඉස්සර මුන්ව ගේට්ටුවෙන් ඇතුළට ගත්තේ නැහැ. මට දාඩිය ඉවසන්න බෑ… මාටින්…. කෝ මේ පිස්සා…. මුන්ව එලවන්න හුම්…. out…. out… out… – get out’
එහෙත් තමා රගපෑවේ ෆීලික්ස් ඩයස්ගේ නැන්දම්මාගේ චරිතය බව අයිරාංගනී දැන සිටියේ නැත.
“මං ෆිලික්ස්ගේ නැන්දම්මා දැකලා නැහැ. ෆීලික්ස්ගේ වයිෆ් ලක්ෂ්මිත් අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ හිටියේ. දවසක් පාටියකදි ෆීලික්ස් කතා කළත් ලක්ෂ්මි අමනාපයෙන් අහක බලාගත්ත” යි චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු අයිරාංගනි පවසා තිබුණි.
මීදෙණිය පරම්පරාවේ තවමත් සක්‍රිය දේශපාලන චරිතයක් වන්නේ සමසමාජයේ තිස්ස විතාරණය. තිස්ස විතාරණ විවාහ වූයේ අයිරාංගනිගේ නැඟණිය වූ කාමිනි මීදෙණිය සමඟය. තිස්ස විතාරණ ඇන්.ඇම් පෙරේරාගේ ඥාති පුත්‍රයෙකි. 1936දී ඇඩ්ලින් මොලමුරේ මැතිවරණයේදී පරාද වුයේ ඇන්.ඇම්. පෙරේරාට වීම තවත් විශේෂත්වයකි. තවත් වරක් කාමිනි ලංකා සමසමාජ පක්ෂයෙන් රත්නපුර ආසනයට තරග කළාය.
මෙසේ බලනවිට මීදෙණිය අධිකාරම්තුමාගේ වලව්වේ දේශපාලන චරිත අදටත් සක්‍රියව පවතී. දැන් එහි කූටා ප්‍රාප්තියට පත්ව ඇති ඥාතිවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. අනෙක් පුද්ගලයා ජනපති රනිල්ගේ අම්මාගේ මල්ලි වූ රන්ජිත් විජයවර්ධනයන්ගේ පුතා වූ රුවන් විජයවර්ධනයන්ය. මේ අතින් බලනවිට මීදෙණිය අධිකාරම් පරම්පරාවේ වලව්ව මෙරට දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික භූමියක් බව නොකිවමනාය.
වජිර ලියනගේ