වසර 17ක විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි විය. විස්සයි20 තරග බිමේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයාගේ නායකත්වයෙන් යුතුව දහසක් බලාපොරොත්තු කරපින්නා ගෙන අමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පිලේ ඉරණම තීන්දු වී ඇත්තේ මූලික වටයේ මුහුණ දීමට නියමිත අවසන් තරගයටත් පෙරය. ශ්‍රී ලංකාවට මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුවූයේ විස්සයි20 තරගවලට නම් දැරූ ක්‍රීඩකයන් ගොන්නක්ම සිටියදීය.
නායක වනිඳු හසරංග විස්සයි20 තරග බිමේ ලොව හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා වූවා පමණක් නොව හොඳම පන්දු යවන්නන් අතරත් දෙවැනි වූයේ එංගලන්තයේ ආදිල් රෂීඩ්ට පමණි. ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන පසුවූ පන්දු යවන්නා සිටියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ය. ඇරත් පසුගිය කාලය පුරාම ලොව බොහෝ රටවල විස්සයි20 ෆ්‍රැන්චයිස් තරගාවලි රැසකට සහභාගි වී අත්දැකීම් කන්දරාවක් ලබා සිටි පන්දු යවන්නෝ ද, පිතිකරුවෝ ද වූහ. එහෙත් රටවල් 20ක් තරග වැදුණු මෙවර තරගාවලියේ ‘ඩී‘ කාණ්ඩයට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමනට කණකොකා හඬන්නට වූයේ දකුණු අප්‍රිකාව සමඟ නිව්යෝක් නුවර පැවැති පළමු තරගයේ සිටමය.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත් අලුත් කරමින් එදා තරගයේදී ශ්‍රී ලංකා පිල ඕවර විස්සටම රැස් කළේ ලකුණු 77ක් පමණි. අනතුරුව බංග්ලාදේශය සමඟ පැවැති ඊළඟ තරගයේදීත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් උරුම කර දුන් වනිඳුලා සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ‘මකර කටට‘ දමා ගත්හ. එදා තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 124කට සීමා වූ අතර, විස්සයි20ටම කියාපු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිලේ සිටියත් එය ආරක්ෂා කිරීමට කිසිවකුට නොහැකි විය. හුදෙකලා සටනක නිරතවූ නුවන් තුෂාර සිය ඕවර 4ට ලකුණු 18ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ දැමුවත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ ද නැත. අන්තිමට සිදුවූයේ මෙරට ක්‍රීඩාලෝලීන් ‘පරදිනවා දකින්නට‘ අකමැතිම කණ්ඩායම හමුවේ අන්ත පරාජයක් අත්කර ගැනීමය. ලකුණු ලැබීමේ දළ වේගය ඉහළ දමමින් ඉතිරි තරග දෙකම ජයගෙන සුපිරි අටට රිංගා ගැනීමට ශ්‍රී ලංකාවට සියුම් අවස්ථාවක් තිබුණේ නම් එය ද නේපාලයට එරෙහි තරගය වර්ෂාවට හසුවීමත් සමඟම දිය වී ගියේය. හිස් අතින් ආපසු මව්බිමට පැමිණීමට පෙර ශ්‍රී ලංකා පිල අද (16) නෙදර්ලන්තය සමඟ මූලික වටයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතය. අඩුම තරමින් ‘ගෙදර එන ගමන්’ එම තරගය හෝ ජය ගැනීමට වනිඳුලා සමත් වන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් ලෙස අදහන මිලියන 22ක ජනතාවගේ හිත්වලට යම් අස්වැසිල්ලක් වනු ඇත.
ශ්‍රී ලංකාව මෙවැනි ඉරණමකට ගොදුරු විය යුතු කණ්ඩායමක් නොවන බව විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නිදසුන් ගණනාවක්ම ඇත. ශ්‍රී ලංකා පිල දස්කම් අතර සිටියේ 2007 දී දකුණු අප්‍රිකාවේ පැවැති පළමු තරගාවලියේ සිටමය. 2007 -2014 කාලවකවානුව විස්සයි20 ලෝක කුසලාන තරග බිමේදී ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය බවට පත් කරමින් ශූරතාවක් සහ අනුශූරතා දෙකක්ම දිනා සිටි කණ්ඩායමකි. එහෙත් වර්තමානයේදී තත්ත්වය වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීමට මේ වන විට විදෙස් රටවලින් ඩොලර් දහස් ගණනාවක වැටුපකට පුහුණුකරුවන්, විශේෂඥවරු ආනයනය කර තිබේ. ඒ හැර මෙරට හිටපු ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ සේවයත් ඉහළ වැටුපකට ලබා ගැනීමටත් පියවර ගෙන තිබේ. ජයග්‍රහණයට පියවරු සියයක් සිටියද පරාජය අවජාතක බැවින් මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පසුබැස්මේ වගකීම භාර ගැනීමට ද කිසිවකු ඉදිරිපත් නොවනු ඇත. ක්‍රීඩාවේ දියුණුවත්, ක්‍රීඩකයන්ට සියලු පහසුකම් ලැබීමත් එදාට වඩා වැඩි වැඩියෙන් සිදුවන නිසා විය යුතුව තිබුණේ එතැනින් තවත් ඉදිරියට යෑමය. එහෙත් සිදුවූයේ සිටි තැනින් තවත් පහළට වැටීමය.
දැන් ක්‍රීඩාලෝලීන්ගේ ප්රශ්නය වී ඇත්තේ සියලු ලෝක කුසලාන තරගාවලි ‘හදිසියේ’ සංවිධාන නොකරන බැවින් සහ ඒවාට දින වකවානු නියම කරනු ලබන්නේ සෑහෙන කාලයකට පෙර බැවින් ඕනෑම කණ්ඩායමකට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබෙද්දී ශ්‍රී ලංකා පිලට අඩුම තරමින් සුපිරි අටටවත් යෑමට නොහැකි වීම ගැනය. තරගාවලියට කණ්ඩායම තේරීම ගැනත්, ක්‍රීඩකයන්ගේ දුර්වලතා ගැනත් විවේචනයට සහ කතාබහට ලක්වෙමින් ද පවතී. එපමණක් නොව සමාජ මාධ්‍ය ජාලයේ වනිඳුලා අරබයා විවිධාකාරයේ සංසිද්ධීන් තේමා කරමින් නිර්මාණය වන ප්‍රහසනාත්මක ‘මීම්ස්‘ ද වයිරල් වෙමින් පවතී. වැඩිපුරම ව්‍යාප්ත වී ඇත්තේ පසුගිය දිනෙක වැලිඔය ප්‍රදේශයේදී කුඩා දැරියකට බත් කවන අතරතුර අමානුෂික ලෙස පහර දුන් ‘කුකුල් චමින්ද‘ නමැති පුද්ගලයා ද ඊට ඈඳාගෙන නිර්මාණය වූ මීම්ස් ය. ‘ටීම් එකේ ඔක්කෝමලා ගෙනල්ලා කුකුල් චමින්දයාට කියලා බත් කට කට කව්වන්න ඕනි‘ යනුවෙන් සඳහන් කරමින් අදාළ පුද්ගලයා දැරියට බත් කවන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමඟ සමාජ මාධ්‍ය ජාලයේ පැතිරුණු ‘පෝස්ටුව‘ ඒ අතුරින් වැඩිපුරම පැතිරී ගිය පෝස්ටුවකි. ඒවා ව්‍යාප්ත වන්නේ කිසිදු ක්‍රීඩකයකු අරබයා පෞද්ගලිකව පළි ගැනීමට හෝ මඩ ගැසීමට නොව ශ්‍රී ලංකා පිලේ පරාජයෙන් ක්‍රීඩාලෝලීන් තුළ ඇති වූ වේදනාව යම් තරමකින් සමනය කරගැනීම සඳහා බව ක්‍රීඩකයන් පමණක් නොව සියලු වගකිව යුතු පාර්ශ්ව තේරුම් ගත යුතුමය.
අනිත් අතට ශ්‍රී ලංකා පිලේ පරාජය ගැන ක්‍රීඩකයන් විවේචනය කරන හිටපු ක්‍රීඩකයන්ගේද, විස්තර විචාරකයන්ගේ ද ප්‍රකාශ ගැන වැඩිපුර උලුප්පා ඔවුන්ගේ අතීත පැටිකිරිය එළියට ඇද ඇද වනිඳුලාගේ පරාජය බර සැහැල්ලු කිරීමටත්, විස්සයි20 ලෝක කුසලානයට කණ්ඩායම නම් කළ තේරීම් කමිටුව වෙනුවෙන් පෙනී සිටින වගකිව යුතු ඇතැම් පාර්ශ්ව පිළිබඳ ඇතිවන්නේ දැඩි කනගාටුවකි. මන්ද ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ හිටපු ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩකයන්ගෙන් සිදුවූ දුර්වලතා පෙන්වා දීම හැම අතින්ම සාධාරණ බැවිනි. වනිඳුලාගේ අන්ත පරාජය ගැන විවේචනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම් කළ ක්‍රීඩකයන් තරම් සුදුසු තවත් පිරිසක් නැති බව ඕනෑම අයකු පිළිගත යුතු බැවිනි. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලුසහගත තැන් ගණනාවක් තිබේ. දුර්වලතා රාශියක් තිබේ. අකටයුතුකම් ද අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතී. ‘සිළුමිණ’ පුවත්පත මඟින් මේ ලියුම්කරු පවා අඛණ්ඩව ඒවා පෙන්වා දෙමින් සිටින අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තවදුරටත් කොන්දේසි විරහිතව පෙනී සිටියි. තවත් එවැනි පාර්ශ්ව ගණනාවක් ද, හිටපු ක්‍රීඩකයන් රැසක් ද ඒ අතර වෙති. එවැනි විවේචන සහ දුර්වලතා පෙන්වා දීමේදී ඇතැම් පාර්ශ්ව ඒවා පෞද්ගලික කෝන්තර ලෙසත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීමක් ලෙසත් ඉස්මතු කර පෙන්වීමට උත්සාහ දරමින් සිටී.
ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන පරාජයේදී වනිඳු හසරංගගේ නායකත්වයත් දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ. හිටපු ක්‍රීඩකයන්ගේ අදහස වන්නේ ඔහුගේ නායකත්වයේ ගති ලක්ෂණ හා මෙරට හිටපු ක්‍රිකට් නායකයන් හා කිසිසේත්ම සමාන කළ නොහැකි අයුරින් පහළ මට්ටමක පවතින බවය.
ගැටලුව ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායකයා මේ කියන ආකාරයේ ගති ලක්ෂණ ඇති පුද්ගලයකු දැයි විශ්ලේෂණය කිරීමය. ඒ සඳහා ක්‍රිකට් ඔස්තාර්ස්ලා ඇති පදමට මෙරට සිටින බැවින් එය ඔවුන්ට භාර කළ යුතුය. නොඑසේ නම් එය සොයා බැලීමට ඩොලර් දහස් ගණනක වැටුපකට විදේශීය විශ්ලේෂකයකු ආනයනය කිරීමටද හැකිය. එය කෙසේ වුවද මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පසුබැස්ම ගැන ක්‍රීඩකයන්ට වඩා වේදනාවක්, කනගාටුවක් ඇත්තේ මෙරට මිලියන 22ක ක්‍රීඩාලෝලීන්ට බව නම් ඉඳුරාම පැවැසිය හැකිය. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුවේ සභාපති විදේශ ඇමැති අලි සබ්රි කියන ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඔළුවෙන් හිට වූ බකට්කාරයෝ හඳුනා ගැනීමත්, ඔවුන් ක්‍රීඩාවෙන් පලවා හැරීමත් කඩිනමින් කළ යුතුව ඇත.
වත්මන් ක්‍රිකට් ගැන ඇමැති අලි සබ්‍රිෙග් ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩිනම් ප්රතිසංස්කරණයකට ලක්විය යුතු බවට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ සභාපති විදේශ ඇමැති අලි සබ්රි ද පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එක්ස් සමාජ මාධ්‍යජාලයේ සිය ගිණුමෙහි සටහනක් තබමින් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කරගත් පුද්ගලයන්ගේ නිදහස් කරමින් පුළුල් ප්රතිසංස්කරණයක් කඩිනමින් සිදු කළ යුතු බවය.
එමෙන්ම පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සහ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැස්ම අහඹු සිදුවීම් නොවන බවත්, එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු පිළිබඳ පැහැදිලි දර්ශනයක් බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ශ්‍රී ලාංකේය ජාතියට සිනහව, අභිමානය සහ සමඟිය ගෙන දුන් ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට අර්බුදයක පවතින බවත්, තාවකාලික විසඳුම්වලින් ඊට පිළියම් සෙවිය නොහැකි බවත් අවධාරණය කළ ඇමැති අලි සබ්රි, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවට සහතික විය හැකි බවත් පෙන්වා දී තිබිණි. ඒ සඳහා නව නීති මඟින් තීරණාත්මක වෙනසක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එළැඹී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙවර විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පරාජය ජාතික මට්ටමෙන් විවේචනයට ලක්වෙමින් තිබෙන පසුබිමකදීය. එපමණක් නොව මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තීරණාත්මක මොහොතක් බව සඳහන් කරමින් අමාත්‍ය අලි සබ්රි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යනු ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොව එය ශ්‍රී ලාංකේය ජාතියේ ආත්මය පිළිබිඹු කරන්නාක් බවය. එහි සාර්ථකත්වය මැනිය යුතු වන්නේ ලැබෙන මූල්‍යමය ලාභයෙන් නොව ලැබෙන ජයග්‍රහණ සහ ජනතාව තුළ ඇති කරනු ලබන බලාපොරොත්තු මත බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.
නායකත්වය ගැන අතුල සමරසේකරගෙන්
නායකත්වය ගැන ඉතා වැදගත් පණිවුඩයක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන අතුල සමරසේකර මුහුණුපොතේ සිය පිටුවෙහි තබා තිබිණි. එය ඔහුගේම වචනවලින් සඳහන් කිරීම වටී.
“ඇත්තටම බං ඔය කැප්ටන්සිය කියන්නෙ මොකක්ද බං …අපි ඉතින් ඔය ක්‍රිකට් ඔස්තාර්ල වගේ හෙන හෙන එක්ස්පර්ට්ල නොවුණත්… හෙනම හෙන ගොං මැටි මෝල්ලුත් නෙවිනෙ බං …ඉතිං ඕං ඔහෙ නිකං ඉන්නේ එකේ ටිකක් හිතල බලමුද ඒ ගැන අපිට තේරෙන හැටියට …මං අහල කියවල තේරුම් අරන් තියෙන හැටියට නං කැප්ටන්සිය කියන්නේ …ඉතාමත් කුතුහලය දනවන අභියෝගාත්මක වගකීම් සහගත එහෙත් ඉතාමත් උද්යෝගිමත්ව කරගෙන යායුතු ගෞරවනීය චාරිකාවකි. Yes its a journey …නැතිනම් ඇන ගැනීම පස්වාන් දහසකට සිකුරුය …මේ සියල්ලක්ම මැද නායකයකු කිසිවෙකුටවත් අහංකාර නොවී සැමට ඉතාමත් නිරහංකාරව නිහතමානීව සිටීම වැදගත් විය යුතුය …Down to earth but still above all …පුස් නැති නියම නායකයෙක්ට අවශ්‍ය ප්‍රධානම සහ මූලිකම සුදුසුකම තමයි හොඳ ස්ට්‍රෝන්ග් කැරට්ටුව. තම සගයන් කණ්ඩායමේ ආචාර ධර්මවලට අනුකූලව ක්‍රියා කරන්නේ නම් කෑල්ලෙන් කෑල්ල ගියත් මුළු කණ්ඩායමේම එකිනෙකාට ඇති අන්‍යෝන්‍ය අවබෝධය විශ්වාසය හා ගෞරවය ශක්තිමත් කරගනිමින් ඉදරියට යෑම නායකයෙකුට ඉතා වැදගත්ය. එවන් කණ්ඩායමක් වැට්ටීම පහසු නැත ..අනිවාර්යෙන්ම නායකයෙක් එක පැත්තකින් සමබර විය යුතු වන ගමන්ම අනෙක් පැත්තෙන් අවශ්‍ය අවස්ථාවල ඇඟට පතට නොදැනී කූල් එකේ නිර්දය (Ruthless) තීරණ ගන්නා සූක්ෂ්ම උපාය මාර්ගිකයෙක්ද විය යුතුය…අනෙක් අතට ඔහු තම සගයන්ට හොඳම මිතුරා වන ගමන්ම ඔවුනගේ උපදේශකයකු හා මනෝ විද්‍යාඥයකු ලෙස කටයුතු කිරීමද ඇහැක් නම් යෙහෙකිය (මෙය වැදගත් වන්නේ තම කණ්ඩායමේ සගයන්ගේ විවිධ අවස්ථාවන්හිදී ඔන් ඇන්ඩ් ඕෆ් ෆීල්ඩ් උඩ පහළ යන විවිධ මානසික තත්ත්ව හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම නායකයකු වශයෙන් සුවිශේෂ වගකීමක් ඇති නිසාය) මේ සියල්ල හඳුනාගත් නායකයා තම කණ්ඩායම මෝටිවේට් කරනා මෝටිවේටර් කෙනකුද විය යුතුය …(A faithful ” People’s Person” who is in touch with the human frailties and moods of his players) මස්තිෂ්කය උඩ වාඩිවී සිටිනා නිලධාරීන් ඇති ආයතනයකින් නායකයාට බලපෑම් ඇති විය හැකි වුවද …ඒ මැටි මෝලන්ගේ බලපෑම් වලින් ඇතිවන ආතතියන් පාලනය කරගනිමින් ජයග්‍රහණයේ ඉලක්කය කරා යෑමට බොහෝ විට දුෂ්කර වූවද මිනිසකු ලෙසින් හා නායකයෙක් ලෙසින් ඔහුගේ භූමිකාවන් සහ වගකීම් හරියාකාරව සිතා බලා තම සිතට අවංකව ක්‍රියාකළ යුතුය කිසි විටෙකවත් නායකයා තමන් පත්කළ එවුන්ගේ රූකඩයක් නොවිය යුතුය. මන්ද ඔහු එකොළොස් දෙනකු පමණක් මැද්දට රැගෙන ගොස් ක්‍රීඩා කළද… ඔහු නියෝජනය කරන පිරිස මිලියන ගණනකටත් වඩා වැඩි විය හැකි නිසාය…කොටින්ම කියුවොත් නායකයා තම රටෙත් රසිකයන්ගෙත් ජනතාවගෙත් ගෞරවය ආරක්ෂා කරගනිමින් එය තවත් ඉදිරියට ගෙනියන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි …“ මෙය එම සටහනෙහි කොටසක් පමණි.
ෆවුස් මොහොමඩ්