Home » ඔත්පල වූ මවත් පියත් බලාගෙන පාසල් යන අවුරුදු එකොළහේ පුංචි පුතා

ඔත්පල වූ මවත් පියත් බලාගෙන පාසල් යන අවුරුදු එකොළහේ පුංචි පුතා

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

මාස කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පෙළෙන සිය මව සමඟ කරාපිටිය රෝහලේ සායනයට පැමිණෙන හුරුබුහුටි දරුවකු ගැන රෝහලේ වෛද්‍යවරුන්ගේ නෙත ගැටී තිබුණේ දින ගණනාවක සිටය.

රෝහල්ගත කෙරුණ ඒ මව බලන්නට මේ පුංචි පුතු හැරෙන්නට වෙනත් කිසිවකු රෝහලට පැමිණියේ ද නැත. ඒ ගැන විමසිල්ලෙන් සිටි කරාපිටිය රෝහලේ බාහිර රෝගී අංශයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ගීතාංජලී ගුණරත්න දරුවාගේ මවගෙන් කරුණු විමසන්නට විය. දියවැඩියා රෝගයෙන් පෙළෙන මවගේ පාදයේ කොටසක් ඉවත් කර ඇත. දරුවාගේ මව වන ශිරෝමි පතිරණ සිය පවුලට වූ දේ ගැන පැවැසුවේ හැඬු කඳුළෙනි.

“මගේ සැමියා කාලෙකට කලින් ගහකින් වැටිලා ඔත්පල වුණා. ඔහුගේ ඉණෙන් පහළ පණ නැහැ. අපි ජීවත් වෙන්නේ කඩාවැටිච්ච ගෙයක. මේ පුතා විතරයි මට ඉන්නේ.

එයා දැන් දොරපේ මහා විද්‍යාලයේ හයේ පන්තියේ ඉගෙන ගන්නේ. එයා තාත්තගෙත් වැඩ කරලා, මොනවහරි උයාගෙන මාවත් බලන්න රෝහලට එනවා. මේ නිසා පුතාට ඉස්කෝලෙ යන එකත් ඉඳහිට මඟ හැරෙනවා. වටේපිටේ අයත් ඒ අයට පුළුවන් විදියට උදවු කරනවා.” රෝගීව සිටින මවගෙ කතාව ඇසූ පසු වෛද්‍ය ගීතාංජලී කරාපිටිය මාතෘ රෝහලේ වෛද්‍යවරියක වන මාලනී ද සිල්වා සමඟ කොලු පොඩ්ඩාගේ නිවස වෙත යන්නට තීරණය කළහ. වයස අවුරුදු එකොළහක පොඩ්ඩාට විඳීමට සිදුවී ඇති දුක් ගැහැට හා අභියෝග සුළු පටු නොවේ. කතාව ඇරඹෙන්නේ එතැන් සිටය.

මේ අනුව පසුගියදාක අප රවිඳුගේ නිවසට ගියෙමු. රවිඳුගේ පියාවන හේවාගමගේ සුනිල් ශාන්ත (44) ඇඳක් මත වැතිරී සිටියේය. පුංචි රවිඳු තමාටත් පියාටත් රෝහලේ සිටින මවට රැගෙන යාමටත් පියාගේ උදව් සහිතව ආහාර පිළියෙල කරමින් සිටියේය. ඒ පුංචි පුතුගේ මුහුණේ දුකක සේයාවක් වත් නැත. දහසක් ප්‍රශ්න මැද්දේ වුවද පුංචි පුතා සිටින්නේ සිනහමුසු මුවිනි.

“මගෙ තාත්තා කාලෙකට කලින් ගහෙන් වැටිලා එක්තැන් වුණේ. අම්මත් මමත් තාත්තාව බලා ගත්තා. පස්සේ අම්මගේ කකුලේ තුවාලයක් ඇතිවුණා. ඒ නිසයි අම්මව රෝහලට ගෙනිච්චේ. දැන් අම්මාගේ කකුලේ කොටසක් කපලා අයින් කරලා තියෙන්නේ. මම තාත්තගෙත් උදව්වෙන් උයා පිහාගෙන කරාපිටිය රෝහලට අම්මා බලන්න යනවා. ගෙදර වැඩයි අම්මා බලන්න රෝහලට යන නිසයි සමහර දවස්වලට මට ඉස්කෝලේ යන්නත් මඟ හැරෙනවා.“

දඟකාරවියේ පසු වෙන කොලු පොඩ්ඩෙකුගේ කරමත තමන්ට දරා ගැනීමට අපහසු තරම් වූ වගකීම් සම්භාරයක බර වැටෙද්දී එය දරාගෙන අහිංසක ලෙසින් මෙසේ සිනාසෙන්නේ කෙසේදැයි කාටත් අරුමයකි. හුරුබුහුටි කොලු පැටියාගේ දිරිය පිළිබඳ එහි ගිය අපට ඇතිවූයේද කිව නොහැකි තරම් ආදරයකි ලෙන්ගතුකමකි. රවිඳුගේ නිවස පිහිටා ඇත්තේ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හටන්ගල ග්‍රාම නිලධාරී වසමේ විලේවත්ත ගම්මානයේය. ඔහුට පාසලට යන්නට කිලෝමීටර් තුනක පමණ දුර ගෙවන්නට සිදුවන්නේය. මෙම ගමන අපහසු කාර්යයකි.

තම නිවසට පැමිණි කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන් දෙදෙනාගෙන් රවිඳු ඉල්ලා සිටියේ තමන්ට පාසල් යන්නට පාපැදියක් ලබා දෙන ලෙසයි. වෛද්‍ය මාලනී ද සිල්වා එදිනම තම දියණියට ගෙනා අලුත්ම පාපැදිය රවිඳුට ලබාදුන්නේය.

පවුලේ තත්ත්වය සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ රවිඳුගේ පියා වන සුනිල් ශාන්ත හේවා ගමගේ කියන්නේ මෙවන් කතාවකි.. “අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඉන්න තැනක් නැති එක. අපේ ගේ හැම වර්ෂාවකටම ජලයෙන් යට වෙනවා. නොතෙමි ජීවත් වෙන්න පුළුවන් නිවසක් හදලා දෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම වැඳලා ඉල්ලනවා.“

එම ප්‍රෙද්ශයේ වාසය කරන ව්‍යාපාරිකයකු වන අනුර ගමගේ අප සමඟ පවසා සිටියේ මෙවැනි අදහසකි.

“මේ දරුවා හරිම පින්වන්ත දරුවෙක්. අපිත් පුළුවන් විදියට හැම වෙලාවෙම ඔහුට උදව් කළා. ගම්වාසී හැමෝමත් කළ හැකි මට්ටම්වලින් උදව් කළා. මේ දරුවාට ගෙයක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. අපිත් ඕනෑම වෙලාවක ඒ සම්බන්ධයෙන් උදව් කරන්න සූදානමින් ඉන්නවා.

ඒ වගේම මේ දරුවා අනාගතේ හොඳ පුරවැසියකු බවට පත් පත් කරන්න අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීම හරිම වැදගත්”

දැනටමත් පවුලට නිවස හැදීමේ කාර්යයට ඉමදුව ප්‍රාදේශීය ලේකම් ඒ. එච්. එම්. නස්ලින් ගේ උපදෙස් මත ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරී සුසන්ත සමරනායක යන අයගේ නායකත්වයෙන් රාජ්‍ය හා සිවිල් සංවිධාන රැසක සහයෝගයෙන් කටයුතු ආරම්භ වී ඇත. මේ වනවිට සුනිල් ශාන්තගේ නිවස සාදා දෙන්නට බැංකු ගිණුමක්ද ආරම්භ කර තිබේ.

දිරිය දරුවෙකුට උදව් උපකාර කර පුංචි රවිඳුලාගේ ජීවිතයට, ධෛර්යයට අනාගතයක් ගොඩනැඟීමට ඔබටත් එක්වන්නට හැකිනම් එය මහඟු කාර්යයක් වනු ඇත.

දුරකතන අංක – ආර්ථික සංවර්ධන නිලධාරි සුසන්ත 0774946019, පියා, සුනිල් ශාන්ත 0752887042 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට පුළුවන.

හිනිදුම රවීන්ද්‍ර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division