ඇස්. කරුණාදාස හෙවත් කරුණාදාස දෙනිපිටිය යන මේ නම අද සමාජයට නුහුරු වුවත් ‘කරුණාදාසගේ හසරැල්ල‘කියූ සැණින් ඒ කවුදැයි ඔබට මතක් වනු ඇත. අද වන විට පුවත්පත් කාටුන් විවිධ අයුරින් වෙනස් වී අලුත් වී තිබුණ ද තවමත් ඒ අතීතයේ ඇඳි කාටුන්වලද ඉඩක් තිබේ. දිනමිණ පුවත්පතින් කාටුනයෙන් එකල බොහෝ දෙනා ඔහු දැන හඳුනා ගත්තේය. එදිනෙදා සමාජ සිද්ධින් ඇසුරෙන් මුවට සිනහවක් නංවමින් ජීවිතයට පාඩමක් ගෙන එන්නට සමත් කරුණාදාසගේ එකල දිනමිණ පුවත්පතේ දිනපතා පළ වූවකි.
ඔහුගේ කාටුන් නිර්මාණ හරි අපූරුය. ඒවා අදටත් ගැළපේ යැයි අපට සිතෙන්නේ එම නිර්මාණ කිසිදිනෙක පරණ නොවන බැවිනි. ඔහු ලියන්නේ එදිනෙදා සමාජය ගැන, සමාජ සිද්ධින් ගැනය. මේ දශක කිහිපයකට පෙර ඔහු විසින් අඳින ලද පොකට් කාටුනයකි.
මඟීන් දෙදෙනකු බස් නැවතුමක සිටී. ඒ බසයක් එනතුරුය. එක් මඟියකු අනෙක් මඟියාට මෙසේ කියයි.
“ප්‍රයිවෙට් බස් කොන්දොස්තරවරුන්ට නම් ලේසියෙන් රස්සාවල් ලබා ගන්න පුළුවන් වේවි පුත්තලමේ සාඩින් කම්හල දැම්මට පස්සේ.“
වසර කිහිපයකට පෙර ඔහු එසේ සිතුවම් කර ලියා දැක් වුව ද අද ද එය මේ සමාජයට වලංගු බව අපට හැඟෙන්නේ මඟීන් පිරුණ ප්‍රයිවෙට් බස් දකින විටය.
වෘත්තියෙන් ගුරුවරයකු වූ කරුණාදාසයන් උපත ලබන්නේ 1927 අප්‍රේල් මස 19 දාය.
ඔහුගේ උපන් ගම වන්නේ රේරුකානේ විදීයගොඩ ය. කැස්බෑව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබන්නේය.
උපාධිධාරි පුහුණු ගුරුවරයකු වූ ඔහු පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ද ගුරු පුහුණූව ලැබූ ඔහු පළමු පත්වීම ලබා පැමිණෙන්නේ තමන් අධ්‍යාපනය ලැබු බුද්ධඝෝෂ විද්‍යාලයටමය. ගුරු සේවයේ තිස්පස් වසරක් බොහෝ කැපවීමෙන් කටයුතු කළේය.
“අපේ පවුලේ අයියයි මමයි තමයි ඉන්නේ. අපේ අම්මා කේ. ලිලියන් පෙරේරා. අපේ අම්මයි තාත්තයි බොහෝම හොඳ අය. තාත්තා කවදාවත් කාගෙවත් වැරදි ගැන හොයපු කෙනෙක් නොවෙයි. ඔහු බොහෝම සුන්දර කෙනෙක්. අම්මා එක්ක වගේම අපි එක්කත් හැම තිස්සෙම හිනාවෙලා විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කළ කෙනෙක්. මට මතකයි තාත්තා ඒ කාලේ දිනමිණටත් සිළුමිණටත් කාටුන් චිත්‍ර අදිනවා.
සමහර දවස්වලට තාත්තා මහ රෑට නැඟිලට ලියනවා. අඳිනවා. අයියට චිත්‍ර අඳින්න බැහැ. නමුත් ඔහුට ලියන්න පුළුළුන්. අපි හැමදාමත් තාත්තාගේ නිර්මාණ දිහා බලලා සතුටක් වින්දා.
සමහර වෙලාවට අපි කියන දේවලුත් තාත්තා ඔහුගේ නිර්මාණ සඳහා යොදා ගත්තා. තාත්තා නැති වෙලා මේ වෙනකොට අවුරුදු විසිපහක්. අපේ ජීවිත හැඩගැහුණේ අපේ තාත්තා නිසයි. ඔහු කිසිම දවසක ආවාට ගියාට මිනිස්සු හිනා ගස්සන දේවල් ලිව්වේ නැහැ. ඉතාම පුංචි නිර්මාණයක වුණත් හැම විටම ගත යුත්තක් තිබුණා.
තාත්තා ලේක්හවුස් ආයතනය සමඟ වැඩ කරන්න එක් වුණේ 1980 අවුරුද්දෙ. දිනමිණ මුල්පිටුවේ ‘සිනාරැල්ල‘ කාටුන් එකත් සිළුමිණ පත්තරේට කරුණාදාසගේ හසරැල්ල කාටූනයත් නිර්මාණය කළා. තාත්තා ගුරුවෘත්තියෙත් යෙදෙන ගමන් තමයි මේ සිතුවම් නිර්මාණය කළේ.
තාත්තා එකවර නිර්මාණ කිහිපයක් පත්තරේට ගිහින් දෙනවා. නයනාගේ මනාලිය, ඩෝරාගේ බෝනික්කා, ලකී විකි, මසුරු සිටානෝ චිත්‍ර කතා දිනමිණ පත්තරයට ඇන්දා. ඒ වගේම බහුරු කෝලම්, පැංචාගේ රචනා පිංචත් නිර්මාණය කළා.
ඊට අමතරව මධුර පත්තරයට මිස්ට කාලගෝල, පංච තන්ත්‍රය, කරුණාදාසගේ සිනා, හා තරුණි පත්තරයට සිනාමලී හා සුන්දරී යන නිර්මාණ කෙරුවා. කවුරුත් දන්නේ අපේ තාත්තා කාටුන් ශිල්පියෙක් ලෙස. ඒ වුණත් තාත්තා ගීතත් ගායනා කරලා තියෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත ‘අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි’ ගීතය කමලානි පෙරේරා ගායිකාව සමඟ මගේ තාත්තා තමයි ගැයුවේ.
ඊට අමතරව බදුලු කෝච්චිය චිත්‍රපටයෙත් ඔහු විජය කුමාරතුංග සමඟ රඟපා තියෙනවා. “සිය පියා පිළිබඳ එසේ පැවැසුවේ සමදරා දෙනිපිටියයි.
මීට අමතරව කරුණාදාස විසින් නවයුගය පුවත්පතට ‘ශතවර්ෂයකට පස්සේ,‘ සරසවිය පුවත්පතට ‘පික්චර් කෑලි‘ ආදිය ද නිර්මාණය කළේය.1990, 1993, 1994 වර්ෂයන්වලදි විශිෂ්ටතම තනි තිරුවේ කාටුන් නිර්මාණය සඳහා අර්ථසාද් සන්නිවේදන කේන්ද්‍රය මඟින් පිරිනමන සම්මානයෙන් කරුණාදාස පිදුම් ලැබීය.
2002 වසරේදී කරුණාදාසයන්ගේ නිර්මාණ ඇතුළත් “කරුණාදාසගේ සිනාරැල්ල“ නමින් කෘතියක් ද නිකුත් විය.
1999 ජුනි 07 වැනිදා දිවිසැරියෙන් සමුගන්නා විට මේ අපූරු කලාකරුවා 72 හැවිරිදි වියේ පසු විය.
ඉතාම කෙටි වචන කිහිපයකින්, චරිත දෙකකින් සරලව එහෙත් ලොකු කතාවක් කියන්නට හුරුව සිටි ඔහු කරුණාදාසගේ හසරැල්ලෙන් පාඨකයා වෙනස්ම ලොවකට ගෙන යන්නට සමත් වූ අපුරු නිර්මාණකරුවෙකි.
ඉනෝකා සමරවික්‍රම