Home » IMF තෙවැනි වාරිකය නිකුත් කිරීම ගැන දේශපාලන පක්ෂවල සහ විද්වතුන්ගේ අදහස්

IMF තෙවැනි වාරිකය නිකුත් කිරීම ගැන දේශපාලන පක්ෂවල සහ විද්වතුන්ගේ අදහස්

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. IMF විධායක මණ්ඩලය පසුගිය (12) රැස්වූ අතර, එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව අ‍ෙමරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් තුන්වැනි වාරිකය ලෙස මෙරටට නිකුත් කර ඇත. ශ්‍රී ලංකාව විසින් IMF ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගෙන ඇති බව IMF සඳහන් කර ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වි ඇති අතර, උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ආදායම් එකතු කිරීම වැඩි දියුණු වෙමින් පවතින බවත් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Kenji Okamura සඳහන් කර තිබේ.

කෙසේ වුවත් ණය තිරසරභාවය ඇති කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය පවතින්නේ අවදානම් කලාපයක බවද ඔහු පෙන්වා දී ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවද රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මූල්‍ය විනය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ, IMF තුන්වැනි වාරිකය නිකුත් කිරීම තුළින් ශ්‍රී ලංකාවට අත්වන ප්‍රගතිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් සහ විද්වතුන් පළ කළ අදහස්ය.

ආණ්ඩු මාරු වුණා කියලා කිසිදු රටක් IMF කොන්දේසි වෙනස් කරන්නේ නැහැ
– පො.ජ.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ

මේ තුන්වැනි වාරිකය නොලැබෙයි කියලා ඇතැමුන් සතුටක් භුක්ති වින්දා. පහුගිය දවස් ටිකේම ඇතැම් දේශපාලන පක්ෂ නොයෙක් දේවල් කිව්වා. අපි රට විකුණන්න හදනවා කිව්වා. මේ අය කොරහේ කිඹුල්ලු දකිමින් හිටියා. අපේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරමින් අපිට මේ තුන්වැනි වාරිකයත් ලැබීම ගැන සතුටු විය යුතුයි. මේ අපි කරන වැඩපිළිවෙළ විවේචනය කරනවා නම් සමගි ජන බලවේගයටත් ජාතික ජන බලවේගයටත් පැහැදිලිව ඉදිරියේදී රට ක්‍රියාත්මක කරවන්නට බලාපොරොත්තු වන ලියවිල්ල මොකක්ද කියලා පෙන්නන්න ඕන. ඒ අය මේ රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළට පරිබාහිරව මොකක්ද කරන්නේ කියලා දැනගන්න කැමැතියි. ඒ පක්ෂ බොරුව සමාජගත කරන්න උත්සාහ කරනවා මිස වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ ආවහම IMF එකේ කොන්දේසි වෙනස් කරගන්නවා කියලා කියනවා. අපි දැනගන්න කැමතියි IMF එක ආණ්ඩු මාරු වෙන මාරු වෙන පාරට ලෝකෙ කොහේ හරි ඉදිරිපත් කරපු කොන්දේසි වෙනස් කරපු රටවල් තියෙනවද කියලා.

2022 මැයි 9 වෙනිදයින් පස්සේ ලොකු අර්බුදයක් මේ රටේ උද්ගත වුණා. රටේ තිබුණු ප්‍රශ්න තමයි අර්බුදයත් එක්ක එළියට ආවේ. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ පැත්තට ඇවිල්ලා රට ගොඩනඟන්න උත්සාහ කරනවා. කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය ආවා. නමුත් ජනතාව විපක්ෂය ඉදිරිපත් කරන බොරු බේගල් අහන්නේ නැතුව රජය ගැන ලොකු විශ්වාසයකින් සහයෝගය ලබා දුන්නා. ජනතාව ලොකු කැපකිරීමක් කළා රට මේ තැනට ගේන්න. විශේෂයෙන් විදේශ රටවල රැකියා කරන පිරිස්, ව්‍යාපාරවල යෙදෙන පිරිස් කම්කරුවාගේ සිට විශාල වෘත්තීන් දක්වාවූ පිරිස් විශාල කැප කිරීම් කළා. රජය ඒ අයගේ මුදලට බදු අය කිරීමක් කළා. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානත් IMF ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර ආයතනත් අද ලොකු විශ්වාසයකින් ඉන්නවා අපේ රජය ගැන. එම ආයතනත් ඒ අයගෙන් ලබා දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙනවා. මේවා ගැන කුපිත වෙලා කුලප්පු වෙලා වැරදි මත ජනගත කරන්න උත්සාහ කරන පිරිසක් විපක්ෂයේ ඉන්නවා.

IMF සමඟ සාකච්ඡා කිරීම දූෂණ වංචා අවම කරන්න හොඳම මාර්ගයක්
– එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ආචාර්ය ලසන්ත ගුණවර්ධන

රටේ ආර්ථික කළමනාකරණය නිසි පරිදි සිදු වෙනවාද කියලා නිරීක්ෂණය කිරීමෙන් පසුවයි IMF මේ වාරික ලබා දීම සිදු වන්නේ. රට ගොඩනැඟීමට IMF යම් යම් ක්‍රමෝපායන් අපිට කියලා දෙනවා. එසේම මේ ආර්ථීකය නිසි මඟට ගෙන ඒම සඳහා ආර්ථීකය යථාවත් කර ගැනීමට නම් අපි සියලු දෙනා යම් යම් කැපකිරීම් කළ යුතුයි.

පසුගිය කාලයේදී රජය යම් ආනයන බදු අය කර ගැනීම යම් ප්‍රමාණයකට සීමා කිරීම තුළ සිදු වූ දේ අපි දැක්කා. අපනයන ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට අපි කටයුතු කළා මදි. යම් දේශපාලන පක්ෂයක් තමන්ගේ දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් එවන්න එපා කියලා කිව්වා. ඒ නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ ඇතැම් පිරිස් යම් යම් විකල්ප ක්‍රමවේදයන් මත මුදල් එවන්න කටයුතු කළා. මේ සියලු දේ වෙනස් කරලා රටේ ආර්ථිකය වෙනස් කරලා අපනයන ආර්ථීකයක් වෙනස් කරන්න දූෂණ වංචා අවම කරන්න හොඳම මාර්ගයක් තමයි IMF සමඟ සාකච්ඡා කිරීම. මේ වැඩපිළිවෙළයි රජය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන්නේ. බොහෝ අණපනත්වලින් සිදු වන්නේ රටේ ආර්ථීක ස්ථාවරයක් ඇති කිරීමයි. වත්කම් පිළිබඳ පනත, දූෂණ විරෝධී පනත, ආර්ථීක පරිවර්තන පනත වැනි පනත් තුළින් මේ රටේ ආර්ථීකය නැවත ස්ථාවර කිරීමට හැකියාව ලැබෙනවා. විශේෂඥයන්ගේ උපදෙස් අනුවයි මේ දේ කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවට පීඩාවක් ඇති වෙතැයි සිතන සියලුම දේවල්වලට කැමැති වෙන්නෙ නැහැ. එතුමා නිතර කටයුතු කරන්නේ ගන්න පුළුවන් හොඳ දේවල් අරගෙන රටේ ස්ථාවරත්වය ඇති කිරීමටයි.

මේ හැම එකටම තෛලය IMF කියලා හිතන් ඉඳලා වැඩක් නැහැ
– ජා.ජ.බ. විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඇත්ත වශයෙන්ම IMF සමඟ ආණ්ඩුව කෙරෙන ගනුදෙනුව සම්බන්ධයෙන් ජාජබය මුල ඉඳලම එක ස්ථාවරයක හිටියා. මේ වන විට IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නොසලකා හැරිය නොහැකි තැනක තමයි තියෙන්නේ. මේ අර්බුද කළමනාකරණයේදී IMF එකට යම් භූමිකාවක් තියෙනවා. නමුත් මේ අයගේ ණය වාරිකවලට පමණක් ගොඩගන්න බැහැ. එය අපි පක්ෂයක් ලෙස කියනවාට වඩා IMF පවා කියන තත්ත්වයක් තියනවා. මේ හැම එකටම තෛලය IMF කියලා හිතන් ඉඳලා වැඩක් නැහැ.

ජාත්‍යන්තර බැඳුම්කරවලට සහ ද්ව් පාක්ෂික ණයවලට සහනයක් ලබා ගැනීමට IMF මඟින් සහනයක් ලබා ගන්න අතරම අපේම ආර්ථික වැඩපිළිවෙළක් තියෙන්නට අවශ්‍යයි. නමුත් මේ වාරිකය අරගත්තම එය ප්‍රචාරය කරන්න ආණ්ඩුව උනන්දු වන තරමටම රටේ නිෂ්පාදනය වැඩි කරන්න ආණ්ඩුව උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේම අපේම සැලසුමකුත් නැහැ IMF අපි 17වතාවක් ගිහින් කරගන්න බැරිවුණ ආර්ථීක ස්ථාවරත්වය මේ වාරිකය ගත්තා කියලා සාර්ථක වෙයිද කියලා ගැටලුවක් තියෙනවා.

එසේ නම් මේ ආර්ථීක වැඩපිළිවෙළත් සමඟ එකට ගැටගැසුණ නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙළකට යන්න අවශ්‍යයි. මේ ක්‍රියාවලිය අසාර්ථක වෙලා නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සිදු වුවහොත් එහි සමස්ත බර පැටවෙන්නේ ජනතාව මතයි. දැනුත් බරක් පැටවිලා ති‍ෙයනවා. මේ ක්‍රියාවලිය අසාර්ථක වුණොත් විදෙස් ණය හිමියන් ණය ප්‍රමාණයක් දෙන්නෙ නැහැ කියලා අපි දන්නවා.

විශේෂයෙන් වෘත්තිකයන් පිට බදු බර පැටවිලා තියෙන්නේ. රැකියා අහිමිවීම් තියෙනවා. සියල්ල බැලුවම රටේ ජනතාව විශාල බරක් දරාගෙන මේ වෙලාවේ ඉන්නේ කවදද මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නේ කියලා. තාවකාලිකව ඩොලර් මිල අඩුවෙලා තියෙනවා. සහනය තාවකාලිකයි. තිරසර ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුයි. වාරිකය නොවෙයි වැදගත් වන්නේ, IMF සමඟ ගෙනයන ණය ප්‍රතිව්‍යුහගතකරණයයි වඩා වැදගත් වෙන්නේ.

IMF ගිවිසුම නිසා ජනතාවට බදු බර වැඩිවෙලා
– ස.ජ.බ. මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

මේ රටේ දූෂණය වංචාව තවමත් අඩුවෙලා නැහැ කියලා IMF එකත් ලෝක බැංකුවත් පිළිඅරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ මේ ලැබෙන මුදල් කොයි විදිහට ආයෝජනයක් වෙයිද කියලා. අපි කියන්නේ විනිවිදභාවයක් තියෙන්න අවශ්‍යයි. රටේ මෙච්චර අර්බුදයක් තියෙද්දිත් විශාල වංචාවන් රජය කරන්න ගියා. මම හිතන්නේ එවැනි වංචාවල් කරලා මේ IMF ගිහින් ගන්න වාරිකවලිනුත් වැඩක් නැහැ. අපි කියන්නේ වංචා දූෂණ වළක්වලා රටට හිතකර විදිහට ආයෝජන කරන්න කියලා.

මේ හම්බ වෙන ණය නැවත අපි ගෙවන්න අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියත් කඩිනම් කරන්න අවශ්‍යයි. රජය හිතනවා නම් ඡන්ද ව්‍යාපාරවලට සහ ඒ අයට ඡන්ද ගන්න බඩු බෙදන්න රටට වන සුගතියක් නැහැ. ඒ නිසා ජනතාව ඉන්නේ හුඟක් දුෂ්කරතා මැද, ජීවත් වෙන්න, දරුවන්ට පොත් පත් ටික ගන්න, බෙහෙත් ටික ගන්න බැරිව ඉන්නේ. ඒ නිසා ජනතාවට යම් සහනයක් අවශ්‍ය මොහොතක් මේක. කරුණාකරලා මේ මුදල් හරියට ආයෝජනය කරන්න කියලා අපි රජයට කියනවා. රටට අහිතකර කොන්දේසි තියනවා නම් අපි බලයට පත් වුණාම ඒ කොන්දේසි ලිහිල් කර ගන්න උත්සාහ කරනවා.

ඒ වගේම IMF ගිවිසුම නිසා ජනතාවට බදු බර වැඩිවෙලා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න තත්ත්වයෙන් ගොඩ ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අද මේ මුදල් ලබා ගන්නේ හොරුන්ගෙන් නොවෙයි. සාමාන්‍ය ජනතාවට බදු බර පටවලා තමයි මේ මුදල් ලබා ගන්නේ. රජය රට යථා තත්ත්වයට ඇවිත් කිව්වාට ජනතාව ඒ හරහා ලොකු පීඩාවකට පත්වෙනවා. ජනතාවට පීඩනයක් නොවන අන්දමට අපි සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා.

ශ්‍රී ලංකාව බොහෝ ඉලක්ක සපුරා ගැනීම මේ වාරිකය හිමි වීමට හේතුවී තියෙනවා
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහචාර්ය ප්‍රියංග දුණුසිංහ

මෙවර IMF දෙවැනි සමාලෝචනය අවසන් වී IMF නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමඟම ලංකාව 2023 දෙසැම්බර් හා 2024 අප්‍රේල් මාසය වන විට ළඟා කර ගත යුතු ඉලක්ක බොහොමයක් ළඟා කරගෙන ඇති බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම සමාජීය වියදම් අංශයට අදාළ ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක බොහොමයක් 2023 දෙසැම්බර් මාසය වන විටත් අනෙකුත් ඉලක්ක 2024 අප්‍රේල් මාසය වන විට හෝ ඉන් පසුව අත් කර ගැනීමට සමත් වී ඇතැයි යන කාරණාව වැදගත් වෙනවා.

එසේම ලංකාව IMF සෑහීමකට පත්වෙන ආකාරයට එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනයමින් තියෙනවා. එහෙත් විශේෂයෙන් තවමත් අපි ණය තිරසරභාවය ඇති කර ගැනීමට අදාළව ණය ප්‍රතිවූහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට අපොහොසත් වීම යන කාරණාව මෙහිදී මතුවෙනවා. ඒ තුළ ආර්ථිකය තවදුරටත් යම් අවදානම්කාරී තත්ත්වයක පසු වෙනවා යයි කියන කාරණාව මතු කර තියෙනවා. මේ ආර්ථිකයන් මුහුණ දෙන විවිධ ගෝලීය තත්ත්වයන් තියෙනවා.

එය ගෝලීය ආර්ථිකයේ ඇතිවෙන කම්පනයන් වෙන්න පුළුවන්, පාරිසරිකමය වශයෙන්, දේශගුණිකමය වශයෙන් ඇතිවන කම්පන වෙන්න පුළුවන්.

එවැනි කම්පනයක්‌ යම් විදිහකින් සිදු වුවහොත් නැවත වරක් රට ආර්ථිකමය වශයෙන් අර්බුදයකට යෑමට වැඩි ඉඩකඩක් පවතිනවා. අපි තවමත් ණය තිරසරභාවය ඇති කිරීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කිරීමට අසමත් වී තියෙනවා. තවම අපිට හැකියාවක් නැහැ විදේශීය ණය මූලාශ්‍රවලට ළඟා වෙන්න. අපිට තවමත් බහුපාර්ශ්වීය හෝ ද්වීපාර්ශ්වීය මූලාශ්‍ර හෝ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් හෝ අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව නැහැ.

අපි තවම ඉන්නේ බංකොලොත්භාවය කියන තත්ත්වය මතයි. එවැනි තත්ත්වයක් තුළ යම් බාහිර කම්පනයක් ඇති වුවහොත් ඒ තුළ නැවත වරක් ආර්ථිකය අවදානමකට යෑමට තියෙන ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසා IMF මූලික වශයෙන්ම කියන්න උත්සාහ කරන්නේ තවමත් ආර්ථිකය අවදානමක පසු වෙනවා කියන කරුණයි.

ආර්ථික අර්බුදයෙන් පස්සේ ඇත්තටම විවිධ කම්පනයන් කිහිපයකට මුහුණ දෙන්න සිදුවෙනවා. යම් මට්ටමක අපේ සංචිත ගොඩනඟාගෙන තිබුණත් ණය තිරසරභාවය ඇති කර ගැනීමට නම් අපි ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කළ යුතුව තිබෙනවා. ඒ අනුව ඒ තත්ත්වයක් තුළදී තියෙන අවදානම්කාරී තත්ත්වය අඩු කිරීමේ හැකියාව තියෙනවා.

IMF පරීක්ෂණය සමත් වීම සඳහා ගත් පියවර කීපයක් තියෙනවා. මෙහි ඇති අවදානම තමයි IMF ඔවුන්ගේ පරීක්ෂණය සමත් වුණාට මැදිකාලීන හා දිගුකාලීනව අපි අසමත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි හුදෙක් කෙටිකාලීනව IMF පරීක්ෂණය සමත් වීමේ අරමුණින් ගැසට් නිකුත් කළා නම්, නීති සම්පාදනය කළා නම්, පාර්ලිමේන්තුවට පනත් සම්මත කර තියෙනවා නම් එය සාර්ථක ක්‍රියාමාර්ගයක් වෙන්නෙ නැහැ.

දූෂණ විරෝධී පනත ඉදිරිපත් කළා. හැබැයි අද වනතුරුත් ඒකට අදාළ ආයතනයක් නෑ. අපි මේ IMF කොන්දේසිවලට අදාළ අණ පනත් හඳුන්වා දීම, ඒ කියන ප්‍රතිසංස්කරණ සිද්ධ කිරීම ආදිය කළාට ඇත්තටම ඒවා ක්‍රියාත්මක තලයට ගෙන එන වැඩපිළිවෙළක නෙවෙයි අපි ඉන්නේ. මෙය ප්‍රතිපත්ති සම්පාදකයන් වඩා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මක්නිසාද යත් මෙහි අයහපත් ප්‍රතිඵල එන්නේ යම්කිසි කාල පමාවකින් අනතුරුව වන නිසා.

රජය ගත් තීරණ සම්බන්ධයෙන් IMF සතුටට පත්වෙලා තියෙනවා
– කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා

රජය IMF කිව්වා වගේ ආදායම වැඩි කරගෙන තියෙනවා. IMF කියන කොන්දේසි ඒ අනුවම ක්‍රියාත්මක කරපු නිසා තෙවැනි වාරිකය ලැබී තියෙනවා. ඒත් රටේ ජනතාව ඇතැම් කොන්දේසි නිසා අසීරුතාවට පත්වෙලා තියෙනවා. ඒ ගැනත් රජය අවධානය යොමු කළ යුතුයි. මේ වන විට සංචිත වැඩි වෙලා තියෙනවා. රජයේ ආදායම වැඩි කර ගෙන තියෙනවා. බදු ආදායම වැඩි වෙලා තියෙනවා. රජය ගත් තීරණය සම්බන්ධයෙන් IMF සතුටට පත්වෙලා තියෙනවා. ඇතැම් පියවර සම්බන්ධයෙන් මහජනතාව සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් සතුටට පත් වෙලා නැහැ.

තුන්වැනි වාරිකය ලැබෙන එක හොඳයි. මුදල් අරගෙන කුමන දෙයක් සඳහා වැය කරනවාද යන්න පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි. බොහෝ විට රජය කරන්නේ ණය ගෙවීමක් තමයි. නමුත් රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කරලා යම් ප්‍රතිඵලයක් ලබාගන්න හැකි නම් ඒ පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. නැතිනම් එහි ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකියි.

දිගින් දිගටම බදු වැඩි කිරීම බඩු මිල වැඩි කිරීම ජනතාව අසීරුවට පත් කිරීමක්. ජනතාවට දැනෙන සහනයක් තවම ලැබී නැහැ. ලැබෙන මුදලින් නැවත බදු ලෙස අය වෙද්දි ඒ වියදම් දරාගන්න ජනතාවට බැරිවෙලා තියෙනවා.

IMF සමඟ රටක් ලෙස වූ එකඟතාවන් මත හිඳගෙන වැඩ කිරීම පිළිබඳව සෑහීමකට පත්වෙලා
– ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහ­ාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

ශ්‍රී ලංකාවේ IMF තුන්වැනි වාරිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනය නිකුත් වීම පිළිබඳ රටක් ලෙස අපි සතුටු විය යුතුයි. මේ වාරිකය හිමිවීම හරහා සිදු වන්නේ හුදෙක් මුදලක් ලැබීම පමණක් නොවෙයි. අපි IMF සමඟ රටක් ලෙස වූ එකඟතාවන් මත හිඳගෙන වැඩ කිරීම පිළිබඳව සෑහීමකට පත්වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා දෙවැනි වාරිකය වෙලාවෙදිත් ඊට පසුවත් වෙනත් කරුණු ගණනාවක් තහවුරු කිරීම සඳහා ඉඩ තියලා මාස කිහිපකට පසුවයි මේ නිවේදනය නිකුත් කළේ.

නමුත් අපි බලාපොරොත්තු වූ කාලයේදී මෙවර එම ණය වාරිකය නිකුත් වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සහ අනෙකුත් කණ්ඩායම් මේ කටයුත්ත ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කර තියෙනවා. හුදෙක්ම ජාත්‍යන්තර විවිධ සංවිධාන සමුළු එම කටයුත්ත ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කර තියෙනවා. විශේෂයෙන් පැරිස් සමාජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟත් සහයෝගයෙන් කටයුතු කිරීමට මේ මඟින් අවකාශ ලැබෙනවා.

ඒ නිසා රටේ ජනතාව එනම්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ඒ වගේම මහජනතාව බදු බර සහ වෙනත් ජීවන වියදම් ප්‍රශ්න සියල්ලම දරාගෙන මේ දේවල් කළේ. මේ නිසා මේ ජයග්‍රහණය ජනතාවගේ ඉවසීමේ ප්‍රතිඵලයක්. එසේම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහ ප්‍රජාවගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකි වුණා. ඒ විශ්වාසය හරහා ඉදිරි පියවර ගැනීමට එනම් මූල්‍ය විනය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා විවිධ විධිවිධාන රෙගුලාසි පනවමින් අපහසුතා මැද වුවත් රටක් ලෙස ඉදිරියට යාමට හැකිවුණා. මේ වාරිකය අපහසුතාවකින් තොරව ලැබුණා. අපේ මූල්‍ය විනය පවත්වාගෙන යාම සාක්ෂි සහිතව ඔප්පු කරලා තිබුණා. එසේ නොමැතිව තීන්දු තීරණ සැහැල්ලුවට අරගෙන කටයුතු කළා නම් අපි ගැන විශ්වාසය බිඳවැටෙනවා. IMF තුන්වැනි වාරිකය මෙරටට හිමිවීම ජාත්‍යන්තර ප්‍රජාවටම ලැබුණ විශ්වසනීයත්වයේ පණිවුඩයක් ලෙසයි මම දකින්නේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විශ්වසනීයත්වය වැඩි වෙනවා
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න

තුන්වැනි ණය වාරිකය නිකුත් කිරීම කඩඉම් අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. පළමුවැනි වාරිකය අත්හදා බැලීමක් කිව්වොත් නිවැරදියි. මෙතෙක් ඉලක්ක සපුරා ගත්තාද යන්න පිළිබඳ සමාලෝචනයක් කිරීමෙන් පසුව මේ වාරිකය ලබාදීම සිදු කර තිබෙනවා. මේ වාරිකය ණය හිමියෝ IMF සමඟ සම්බන්ධ වුණාට පස්සේ ණය හිමියන්ට දෙන වගකීම් සහතිකයක් වගේ. ඉදිරි වසරවලදී නව වැඩපිළිවෙළක් සඳහා ණය හිමියෝ නැවත සමාලෝචනයක් සිදු කර මේ වාරිකය ලබා දීම සිදු කර තියෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වෙනුවෙන් මෙය යම් කිසි පිටුබලයක් ලෙස හැඳින්විය හැකියි. ඒ සමඟම අපේ රට බංකොලොත්භාවයක් ප්‍රකාශයට පත් කර තියෙනවා. එය අවසන් කිරීමට හැකි වෙන්නේ අලුත් එකඟතාවන් අනුවයි. අපි බංකොලොත් නොවන රටක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි. බංකොලොත් කියපු තැන සිටයි අපිට මේ අර්බුදය ඇති වුණේ. මේ බංකොලොත්භාවය ඉවත් නොකර මේ දේ කිරීමට නොහැකියි. අපේ බංකොලොත්භාවය නැති යථා පරිදි වැඩ කරන රටක් බවට පත්වීමට මෙය යම් පිටුබලයක් වෙනවා. අපි බංකොලොත්භාවයෙන් මිදුණ රටක් කියලා ප්‍රකාශයට පත් කරන්න අවස්ථාවක් මේ මඟින් උදාවෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විශ්වසනීයත්වය වැඩි වෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division