Home » පුරවැසි වගකීම

පුරවැසි වගකීම

by Mahesh Lakehouse
June 15, 2024 12:29 am 0 comment

කැලණි වැලි මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ මගීන් සහිත බස් රියක් ධාවනය වන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයන්හි සංසරණය විය. එම බස් රිය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර ඇත. එහෙත් එය හුදු රියැදුරෙක් මාර්ග නීති උල්ලංඝනය කිරීමක් හෝ දුම්රිය ආඥා පනත උල්ලංඝනය කිරීමක් ලෙස ලඝු කොට සැලකිය යුතු නොවේ.

ඊට සමාන නොවෙතත් තවත් අනතුරුදායක පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ඒ පැවති ගංවතුරට හසුවී මියගිය කුකුළන්ගේ මස් වෙළෙඳ සල්වල අලෙවි කරනා බවය. පාරිභෝගික අධිකාරියේ වෘත්තීය සමිතියක් මඟින් ඊට අදාල අනතුරු හැඟවීමේ නිවේදනය නිකුත් කර තිබුණි. එම සිදුවීමද පාරිභෝගික අයිතියක් උල්ලංඝනය කිරීමකට ලඝු කර නිහඬ විය හැක්කක් නොවේ. සැබැවින්ම මෙම සිදුවීම් දෙකම වගකීම් විරහිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් හමුවේ සමස්ත සමාජයම පත්වන අවදානම්සහගත බව පෙන්වන උදාහරණයන් ය.

නොඉවසිලිමත් බව සහ මිනිස් ජීවිත තුට්ටුවට නොතැකීම මේ සිදුවීම් දෙකටම පොදු අංගයන් ය. රටක් ඉදිරියට ගෙනයාමේ වගකීමට දේශපාලනඥයන් සහ නිලධාරීන් සමඟ සම සමව කරගැසිය යුතු පුරවැසියා හුදු ආත්මාර්ථය මුල්කරගෙන සිදුකරනා මෙවැනි වගකීම් විරහිත ක්‍රියා නිසා සමස්ත රටක ඉදිරි ගමන සැලකිය යුතු ලෙස අඩාළ වන බව තවමත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැත. එහෙත් සැබෑ තත්ත්වය එයයි.

ඉකුත් 2022 වසර වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වූ අතර රට එතනට වැටීමේ පූර්ණ වගකීම දේශපාලනඥයන් පිට පටවා සෙසු සියලු පාර්ශ්ව දෑත් පිසදා ගැනීම පසුගිය කාලයේ දැක ගත හැකි විය. තත්ත්වය කෙතරම් දරුණු වූයේද යත් එක් ජනතා නියෝජිතයෙක් පහර දී මරා දමනා තැනට සමාජය තල්ලු විය. සෑම පාර්ශ්වයක්ම උත්කර්ෂවයට නැගූ සටන් පාඨය වූයේ සියලු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවෙන් පලවා හළ යුතු බවය. එහෙත් එසේ කළ පසු රට බාර ගන්නේ කවුරුන්දැයි කිසිවෙක් ප්‍රශ්න කළේ නැත. දේශපාලනයේ නියුතු වූවන් පලවා හැර කේතුමතිය බිහි කිරීමට සිහින දුටු සහෘදයෝ රට වැටීමේ කථාවේ සමාජ වගකීම නම් පරිච්ඡේදය හිතාමතා අමතක කළහ. ඒ පරිච්ඡේදය නිසි ලෙස කියවා නොගන්නා කිසිදු දේශපාලන පක්ෂයකට මතු දිනයකදී පවා මේ රට ගොඩගත හැකි වෙතැයි සිතීම පවා විහිළුවකි. දේශපාලන නායකත්වයට පමණක් රටවල් දියුණු කළ නොහැක. එය ඉතිහාසය විසින් අවස්ථා ගණනකදී තහවුරු කර ඇත. මේ වන විට ලෝකයේ දියුණුවේ හිණි පෙත්තට නැඟ ඇති සෑම රටකම පසුබිම් කථාව විමසා බැලීමේදී දේශපාලන නායකත්වය සමඟ හරි හරියට වැඩ කළ නිලධාරීන් සහ පුරවැසියන් සමූහයක් දැක ගත හැක. රටකට නායකත්වය දෙන දේශපාලන නායකත්වය ප්‍රජාතාන්ත්‍රවාදී ආකෘතිය තුළ තෝරා ගන්නේ පුරවැසියන්ය . එබැවින් පුරවැසි වගකීම යනු සුළුකොට තැකිය හැකි නොවේ. සැකෙවින් පවසන්නේ නම් දියුණු රටක් යනු දේශපාලනඥයන්, නිලධාරීන් සහ පුරවැසියන් යන ත්‍රිපාදය මත රැඳවූ විසිතුරු භාණ්ඩයකි . ත්‍රිපාදයේ එක් පාදයක් හෝ වෙනස් වූ කල ඒ මත ඇති ඕනෑම යමක් බිම ඇද වැටීම සාමාන්‍ය තත්ත්වයක්ය.

සංවර්ධනයට අපි නිතර ගන්නා උදාහරණයන් වන්නේ සිංගප්පූරුව සහ මැලේසියාවය. මේ රටවල් දෙක දියුණු කළ නායකයන් වශයෙන් ලී ක්වන් යූ සහ මහතීර් මොහොමඩ් දැක්විය හැක්කේය.

ලී ක්වාන් යූ බාර ගත්තේ පාතාල මැරකම්, කඩාකප්පල්කාරී වර්ජන ඉහවහා ගිය රාජ්‍යයකි. එකී රාජ්‍යයට තවදුරටත් ගමන් කිරීමට දීම වෙනුවට ලී ක්වාන් යූ තෝරා ගත්තේ වර්ජන නැති, තර්ජන නැති රටක් ගොඩනැගීමය. ඒ සඳහා ඔහු දැඩි මැදිහත්වීමක් කරන බව ප්‍රකටය. ශ්‍රී ලංකාව නම් රන් දොරටුව වාමාංශික දේශපාලනය විසින් දේශපාලන වංකගිරියක අතරමං කරනා බව දුටු සිංගප්පූරු නායකයා වහා තම රට ගොඩනැඟීම ආරම්භ කළේය. ඉන්දීය, මැලේ, චීන ජනවර්ග සිය වා‍ර්ගිකත්වයන් අතහැර සිංගප්පූරුව වෙනුවෙන් සිට ගැනීම නිසා එරට ගොඩ ආවේය. වසරේ දින 365ම වර්ජන නැති සිංගප්පූරු වරාය කේන්ද්‍ර කර එරට කර්මාන්ත සමූහය ගොඩනැගුනු අතර, අදටත් ඉතා ලිහිල් ප්‍රතිපත්ති මත ආයෝජන දිරිමත් කිරීම එරට ප්‍රතිපත්තිය වෙයි. සිංගප්පූරුව පාරදීසයක් වීමේ හේතුව අනෙකක් නොව වගකීම් තේරුම්ගත් සිංගප්පූරු පුරවැසියෝ සහ නිලධාරීහු ආණ්ඩුව සමඟ එකට සිටගැනීමය.

මැලේසියාවේද තත්ත්වය මෙයය. එරට මහා පරිමාන ආයෝජන සියල්ල සතුටින් පිළිගත් අතර, අධ්‍යාපනය ඒ අතර මුල් තැනක සිටියි. වගකීම් විරහිත ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොවේ යන ව්‍යාජ සටන් පාඨය පෙරට දමා ගෙන ආ විරෝධතා නිසා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් වැනි කීර්තිමත් විශ්වවිද්‍යාල නතර වූයේ මැලේසියාවේය.

අද එරට ජනයා ලෝකයේ ඉහළ වරප්‍රසාද භුක්ති විඳිනා ජන කොටසක් බවට පත්ව සිටිනුයේ සිංගප්පූරුවේ මෙන් දේශපාලන නායකත්වයට සාපේක්ෂව පුරවැසියන් සහ නිලධාරින් රජය සමඟ එක පෙරමුණකට එක් වීම නිසාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division