අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රීති සම්පාදනය කිරීමට යයි. ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසයි.
තෙත්බිම් සංරක්ෂණය, තෙත්බිම් ආරක්ෂා කිරීම, ඒ හා බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුළින් පරිසරයේ සමතුලිතබව ඇති කිරීම, පරිසරයට එල්ල වී තිබෙන ගෝලීය අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් ලෙස මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම මේ හරහා බලාපොරොත්තු වෙයි.
අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජූනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති.
ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය මෙම සමුළුවට සම්බන්ධ වන රටවල් 15 වේ. “පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන” යන්න මෙවර සමුළුවේ තේමාවයි. තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.