Home » අපේ ආණ්ඩුව IMF ගිවිසුමට සංශෝධන ගේනවා

අපේ ආණ්ඩුව IMF ගිවිසුමට සංශෝධන ගේනවා

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ පාර්ලි­මේ­න්තුවේ මුදල් කාරක සභාවේ සභා­පති ආචාර්ය හර්ෂ ද සිල්වා

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එම ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි නොයෙකුත් දේශපාලන පක්ෂවලට වෙන්වෙලා දේශපාලනය කළාට මෙය ජාතික ගැටලුවක්. රටත් ජනතාවත් මුහුණ දී තිබෙන මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එය අවශ්‍යයි. අපි මේ ගැන සතුටු වෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ආණ්ඩුව අත්සන් කරලා තියෙන ගිවිසුමේ සඳහන් වන සියලු දේට අපි එකඟ නැහැ.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ලෝකයේ අවසාන ණය දෙන්නා වූ IMF විසඳුම්වලින් තොර වෙනත් විසඳුමක් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට නොමැති බවයි?

පක්ෂයක් විදිහට අපිත් IMF එකට විරුද්ධව ඡන්දේ දුන්නෙ නැහැ. ඒ අවස්ථාවේ රට පත්වෙලා තිබුණු අසීරු තත්ත්වය තේරුම් අරගෙන අපි සද්භාවයෙන් ඊට විරුද්ධ නොවී හිටියා. නමුත් එදා IMF එකට විරුද්ධව ඡන්දෙ දුන්න සමහර පක්ෂ දැන් එයාලත් IMF එක්ක ඉස්සරහට යනවා, IMF එක්ක සාකච්ඡා කරනවා වගේ කතා කියලා ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. අපි සතුටු වෙනවා මේ ණය වාරිකය ලැබුණු එක ගැන. ඒත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ආණ්ඩුව එකඟ වුණු සියලු ඉලක්කම් නීතියක් හැටියට පාර්ලිමේන්තුවට ගෙනැල්ලා පනත් ඇතුළට දාන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

එහෙම විරුද්ධ වෙලා රටක් විදිහට අපිට ඉදිරියට යන්න පුළුවන් කියල හිතනවද?

ඔය දීලා තියෙන ගණන් සේරම වැරදියි. දැන දැනම වැරදි ඉලක්කම්, සංඛ්‍යාවලට අපිට එකඟ වෙන්න බැහැ. ඔය එකඟ වෙලා තියෙන ඉලක්කම් ටික නීතිගත කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා තව මාස 4කින් ආණ්ඩුවක් පිහිටුවන්න. එතකොට අපේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න. මේ තියෙන වැරදි ගණන් එක්ක අපිට ඒක කරන්න බැහැ.

අය වැය හිඟය පියවගන්න IMF උදව් කරනවා කියනවා. නමුත් ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පෙරළියක් වුණොත් ඒක මේ වැඩපිළිවෙළට බලපානවා නේද?

ජාත්‍යන්තර අරමුදල ලංකාවට එනවට අපි විරුද්ධ වුණේ නැහැ. අපි ඒකට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන්නෙ නැත්තෙ එහි තියෙන සියලු දේට එකඟ වෙන්න බැරි නිසා. අපි විපක්ෂව ඡන්දෙ දුන්නෙ නැත්තේ අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ නැති නිසා. ඒ නිසා තමයි අපි ඡන්දය දීමෙන් වැළකී හිටියෙ. නමුත් රටේ එදා තිබුණු තත්ත්වය අනුව ආණ්ඩුවට ඕන විදිහට මේක කරගෙන යන්න අපි ඉඩ දුන්නෙ අපි ආවම ඒක වෙනස් කරන ස්ථාවරයේ ඉඳගෙන. ඒක අපි IMF ප්‍රධානියාට කෙළින්ම කිව්වා. ඒ නිසා අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා IMF එක්ක අවශ්‍ය සංශෝධන කරලා මේක ඉස්සරහට ගෙනියන්න.

නමුත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ වත්මන් ආණ්ඩුව හා IMF අතර ඇතිවූ ගිවිසුමකට අනුවයි. ආණ්ඩුව මාරු වුණොත් ඒ ගිවිසුම අහෝසි වෙන්නේ නැද්ද?

අපේ වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළට වඩා යම් විදිහකට වෙනස්. මෙතැන තියෙන්නෙ නව ලිබරල්වාදී වැඩපිළිවෙළක්. ජවිපෙ තියෙන්නේ සමාජවාදී වැඩපිළිවෙළක්. අපිට තියෙන්නෙ සමාජ වෙළෙඳ පොළ ආර්ථික වැඩපිළිවෙළක්. ඒ නිසා ආණ්ඩුවක් විදිහට අපිට අයිතිය තියෙන්න ඕනෙ මේක වෙනස් කරගන්න. අනිත් කාරණාව අපි අද ඔය කියන ඉලක්කම්වලට එකඟ වුණා කියමු. අපිට අදාළ නැති ගැටලුවක් ආවොත් මොකක්ද වෙන්නෙ? උදාහරණයක් විදිහට අපි හිතමු. 2007-2008 කාලෙ වගේ මූල්‍ය අර්බුදයක් ආවා කියල. ඒක අපේ වැරැද්දක් නෙවේනෙ. එහෙම අර්බුදයක් ආවොත් ඒක කළමනාකරණය කරගන්න අපිට සමහර දේවල් වෙනස් කරගන්න වෙනවා. එතකොට අපිට ඔය ඉලක්කම්වලට වැඩ කරන්න බැරි වෙනවා. නමුත් ඒවා නීතියක් වෙලා තිබුණොත් අපි ඒ නීති කඩ කළා වෙනවා. ඒ නිසයි අපි විරුද්ධ වෙන්නේ.

IMF තුන්වැනි ණය වාරිකය ලැබුණත් ජනතාව තුළ බයක් තියෙනවා නේද, ඔවුන් මත තවත් බදු බදු පැනවෙයි කියලා?

ආණ්ඩුව යම් තැනකට රට ඉලක්කම්වලින් ගෙනත් තියනෙවානේ. ඉලක්කම්වලින් කියනවා බදු ආදායම වැඩි වුණා කියලා. ඒකට හේතුව බදු ප්‍රතිශත වැඩි කිරීම. බදු ප්‍රතිශත වැඩි කළාම බදු ආදායම බොහෝ දුරට වැඩි වෙනවා. එහෙම කරලා ඉලක්කම් ටික ඉහළ ගියා කියන එක ලොකු ආශ්චර්යක් විදිහට මම දකින්නෙ නැහැ. බදු වැඩි කිරීම බලපාන්නෙත් සාමාන්‍ය ජනතාවට. ගෙවන්නෙ නැති පිරිස කොහොමත් ගෙවන්නෙ නැහැ. ඒ නිසා බදු ආදායම වැඩි වුණා කියලා අපිට සතුටු වෙන්න බැහැ.

ඔබ කියන්නේ රට තවම පෙර තිබුණු තත්ත්වයෙන් ගොඩ ඇවිත් නැහැ කියලද?

නැහැ, අපි පිළිගන්නවා යම් ස්ථාවර තත්ත්වයකට ඇවිත් කියලා. ඒක නෑ කියන්න තරම් අපිට කුහක වෙන්න බැහැ. නමුත් අපි දිගින් දිගටම කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය කළ යුත්තේ සාධාරණ විදිහට ආදායම වැඩි කරලයි. නමුත් මෙතැන යම් ප්‍රගතියක් ඇති වෙලා තියෙන්නේ බදු ක්‍රමය හරහා. අපේ පක්ෂයේ වැඩපිළිවෙළ මීට වඩා වෙනස්. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මැතිවරණයෙන් පස්සෙ රජයක් පිහිටුවන්න. ඒ පිහිටුවන ආණ්ඩුව යටතේ අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ ක්‍රමවේදය වෙනස් කරන ඔබේ පක්ෂයේ සැලසුම මොකක්ද?

එක එක රජයට එක එක සැලසුම් තියෙනවානේ. අපි සද්භාවයෙන් මේක කරන්නේ. තවම අපේ රට ආර්ථික අවදානම් කලාපයක ඉන්නෙ. අපි ඒ අවදානම් කලාපයෙන් එළියට එන්න ඕනේ. අපි බොරුවට කෑ ගහන්නේ නෑ, IMF එපා, අපිට වෙන විකල්පයක් තියෙනවා කියලා. ජනතාවට වග කියන ජනතාවාදී විපක්ෂයක් හැටියට අපි කියනවා, මේ තියෙන ප්‍රශ්න විසඳගෙන මේ වැඩපිළිවෙළ ඉස්සරහට යන්න ඕනෙ කියලා. ඒ නිසා මහපොළොවේ යථාර්ථය අනුව ඒක වෙනස් කරන්න අපිට වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා මේක නීතියක් හැටියට ගෙනාවොත්.

ඒ කියන්නෙ සජබ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපත්ති වෙනස් කරනවා?

ඔව්, අපි වෙනස් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ප්‍රමුඛ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ අපි ඒ බව ඔවුන්ට කිව්වා. අපි දිගින් දිගටම කියන්නේ අපි IMF එකට විරුද්ධව ඡන්දෙ දුන්නෙ නැහැ. රට ආගධයට වැටිලා තිබුණු අවස්ථාවේ මේ ආණ්ඩුව IMF එකෙන් උදව් ගන්න එකට පක්ෂයක් විදිහට අපි ඔවුන්ට වළ කැපුවේ නැති බව IMF එකත් හොඳටම දන්නවා. සමහර රටවල්වල මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඒ රටවල විපක්ෂය ඉඩ දුන්නෙම නෑ. කන්න නැතිව මිනිස්සු මැරෙන, මිනී මරණ තැනකට ඒ රටවල් පත්වුණා. නමුත් අපි එහෙම දෙයක් වෙන්න ඉඩ දුන්නෙ නැහැ. දේශපාලන වශයෙන් අවාසි වුණත් අපි ඒ වෙලාවේ හිතුවෙ රට ගැන. ඒ නිසා ඔවුන්ටත් ලොකු වගකීමක් තියෙනවා අපේ ආණ්ඩුවක් ආවම අපිට ඒක වෙනස් කරගන්න ඉඩ දෙන්න. මොකද මේක දේශපාලන පක්ෂයක ගැටලුවක් නෙවෙයි, ජාතික ගැටලුවක්.

සජබ ආණ්ඩුවක් ගැන ඔබ පුන පුනා කියනවා. කොහොමද පක්ෂයේ මැතිවරණ සූදානම?

මැතිවරණයට අපි සූදානම්, අනිවාර්යයෙන්ම අපි දිනනවා.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division