ගීතය ගයමින් සිය මංගල දිනයේ හරි අපූරු රංගනයක යෙදුණ මනාල යුවල කාටත් මතක ඇති. කවුරුත් කතා බහ කළේ දැනට විදදෙස් ගතව ඉන්න ඒ මනාල යුවළ ගැනයි. කොයි කවුරු කොහොම කතා කළත් ඒ ගීතයේ හිමිකාරිනිය ඇයයි. ඇය රෙයාෂිනි ශාක්‍යා මුණසිංහ. වෘත්තියෙන් ටෙලිකොම් ආයතනයේ සිවිල් ඉංජිනේරුවරියක වන ඇය මේ ගීතය ලියන්නේ 1991 වසරේදී. ඒ ඇය උසස් පෙළ විභාගය ලියා අවසන් වූ කාලයේ. 1991 වසරේදී රෙයාෂිනි විසින් ලියන ලද “ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි“ යන පද පෙළ ගීතයක් ලෙස බිහි වන්නනේ 2006 වසරේදී . ඒ මතකය අවදි කරමින් අප හා කතා කළ රෙයාෂිනි.
“මගේ ගම මාතර. නමුත් මම ඉස්කෝලේ පහහේ පන්තිය දක්වා ඉගෙන ගත්තේ යාපනයේ. ඒ යුද්ධයට කලින්. මගේ තාත්තාගේ රැකියාව නිසයි ඒ දවස්වල අපි යාපනයේ හිටියේ. මට නංගි කෙනෙක් ඉන්නවා. මම ශිෂ්‍යත්වය සමත් වෙලා අනුරාධපුර කොන්වන්ට් එකේ ඉගෙන ගත්තේ. නමුත් යුද්දේ පටන් ගන්නවත් එක්කම අපි ආයෙමත් මාතරට ආවා. මට තවමත් දෙමළ කතා කරන්නත් ලියන්නත් හොඳින් පුළුවන්. හතේ පන්තියේ ඉදලා මම මාතර ශාන්ත තෝමසුන්ගේ බාලිකා විදුහලේ ඉගෙන ගත්තේ. ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වෙලා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබුවේ. ඉන් පස්සේ තමයි ටෙලිකොම් ආයතනයේ සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවයට බැඳුණේ. මම පාසල් යන කාලේ ඉඳලම ලියන්න ගයන්න විශේෂ හැකියාවක් තිබුණ කෙනෙක්. පුංචි කාලේ ඉඳලම මිහිර විජය පත්තර වලට මම කවි ලිව්වා.
“ඇස යොමන තැනක ගීතය මම ලිව්වේ 1991 වසරේ. පාසැල් යන කාලේ ඉඳලම ලියපු ගීත ගොන්නක් අදටත් මාළඟ තියෙනවා. මම ඒ ලියපු ගීත වලින් කිහිපයක් ගායන ශිල්පී අජිත් මුතුකුමාරණට යොමු කළා. ඔහු එහිදී ගීත හයක් තෝරා ගත්තා. ඒ අතරින් එක ගීතයක් තමයි ඇස යොමන තැනක කියන ගීතය. ඔහු මේ ගීතය ගායනා කළේ 2006 අවුරුද්දේ. අනෙක් ගීතත් ඔහු ගායනා කළා. ඒ කාලේ ඔහුගේ ගීත වඩාත් ජනප්‍රිය වුණේ බස් රථවල. මේ ගීතය ඇහෙද්දි එදත් අදත් මට හරි සතුටක් දැනෙනවා. “ රෙයාෂිනි විසින් ලියන ලද ගීතය 2006 වසරේදී අජිත් ගයන්නේය. එදත් අදත් ජනප්‍රිය මේ ගීතය වඩාත් ජනප්‍රිය වූයේ අවන්ත යුවල සිය මංගල අවස්ථාවේදී මේ ගැයුමට ඉදිරිපත් කළ නැටුමත් සමඟය.
“මේ නව යුවළ ගීතය ගයනවා දැක්කාම මට හරි සතුටක් දැනුණා. මේ ගීතය අජිත් මුතුකුමාරණ ඔහුගේ “ගිලිහෙන්න කඳුළක්“ කැසට්පටය සඳහා ගැයුවේ. ඒ කැසට් පටයේ තියෙන එකොළොස්ව ගීතය තමයි මේක. ගීතය ගයලා හරියටම අවුරුදු දහඅටකට පස්සේ ආයෙමත් ගීතය ජනතාව අතරට ගියා වගෙයි මට දැනුණේ. බොහෝ අය මට කතා කළා. ගීතය ගැන ඔවුන් මට සුබ පැතුවා. ඒක මට ලොකු සතුටක්. “
කාර්යබහුල සිය වෘත්තිය එක්ක ගත කරන අතරේම ඇය හැකි අයුරින් තම නිර්මාණ කටයුතුවල නියැළෙන්නීය. මේ වන විට ඇය විසින් ලියූ ගීත විස්සක් පමණ විවිධ ගායක ගායිකාවෝ විසින් ගයා ඇත.
“පාන් බට්ටා, ඉතිං ඊට පස්සේ, යශෝධරා ආදි ටෙලි නාට්‍යවලත් මම රඟපාලා තියෙනවා. මම පාසල් කාලේ ඉඳලම සංගීතය විෂයක් විදිහට හදාරාලා තියෙනවා. මට සිංදු කියන්න පුළුවන් වගේම තබ්ලාව, වයිලීනය ආදී සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්. මගේ ගීතය පළමු ගායකයා ගයලා අවුරුදු දහ අටකට පසුව තමයි වඩාත් ජනප්‍රිය වුණේ. මේ වන විට මිලියන ගණනක් අය ඒ විඩියෝව නරඹලා තියෙනවා. විවිධ හැඩයෙන් යූටියුබ් එකේ ගීතය ෂෙයාර් වෙනවා. මට හරිම සතුටුයි ඒවා දකින විට. නමුත් කිසිම තැනක පද රචකයා ගැන සඳහන් වෙන්නේ නැහැ. හැමදාමත් ගීතයක් ජනප්‍රිය වෙන්නේ ඒක ගයන ගායිකාව හෝ ගායකයාගේ නමින් පමණයි. සංගීත ශිල්පියාගේ හෝ පද රචකයාගේ නම කිසි තැනක සදහන් වෙන්නේ නෑ. මේක මට විතරතක් වුණ දෙයක් නෙමෙයි. අන්න ඒක නිවැරදි වෙනවා නම් අපේ කලා ලෝකය සැබෑ ලෙසම සුන්දරයි.“