Home » ඔවුන්ගෙ හිතේ තියෙන රූපෙට මං ගැළපෙන්න ඇති

ඔවුන්ගෙ හිතේ තියෙන රූපෙට මං ගැළපෙන්න ඇති

මිෂෙල් දිල්හාරා

by thanushika
June 15, 2024 12:30 am 0 comment
 නාමලී ගමගේ

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන වෙනස්ම තාලයේ ටෙලි සිත්තමකි. නමෙහි රිද්මයටම ගලා යන කතා අන්තර්ගතය ද නිර්මාණයට එක් කරන්නේ අමුතු ආලෝකයකි. එහි මිලා රාජරත්නම් නමැති ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ මිෂෙල් දිල්හාරාය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන පසිඳු නූපේආරච්චිගේ ‘ආයාචනා’හි එලීනා ද ඇයයි. පසුගියදා ඇය රංගනයෙන් දායක වන දමිළ සිනමාපටයේ මුහුරත් උලෙළට සහභාගි වූ මිෂෙල් ඒ තොරතුරු ද සමඟින් අප හා කතාබහට එක්වූවාය.

‘ලලයි ලිලයි ලයි’ කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍යවල ට්‍රෙන්ඩින් වෙන ටෙලි නිර්මාණයක්. කොමඩියක් වෙලත් මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න හේතුව?

‘ලලයි ලිලයි ලයි’ කියන නම හරි සැහැල්ලුයි, තේරුමක් නෑ කියල පෙනුණට ඒකෙ ගැඹුරු අර්ථයක් තියෙනවා. හරියට ඒක මේ සමාජයේ ප්‍රතිබිම්බයක් වගේ. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම පේන්නෙ අපිමනේ. අන්න ඒ වගේ. ඒක බ්ලැක් කොමඩි ගණයට අයත් එකක්. එක්කෙනෙකුට දුක හිතෙන තැන තව කෙනෙකුට හිනායන තැනක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අපට වැඩියෙන්ම මුණගැහෙන්නේ තේරුමක් නැති, රිද්මයක් ඇති මිනිස්සු. සුපුන් රත්නායක මේකට ඒ නම දාන්න හේතු වෙලා තියෙන්නෙත් අන්න ඒක. මිලා කියන්නෙ හරිම සැහැල්ලුවෙන් ජීවිතය දකින කෙනෙක්. ලොකු පවුලක වුණාට එයා සමාජය ගැන ලොකු අවධානයකින් ඉන්නෙ. ගමේදි හමුවෙන ධනුෂ්ක කියන චරිතය අනෙක් හැමෝම පාලනය කරද්දි මිලා දකින්නෙ වෙනස් විදිහකට. සමාජයේ ලෙවල් දෙකක දෙන්නෙක් හමු වුණහම කොහොමද හැසිරෙන්නෙ කියන එක හොඳින්ම පිළිබිඹු වන නිර්මාණයක්. මිලාට තමයි මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ.

ආයාචනාහි එලීනා කියන්නේ සමාජයේ වෙනත් පැතිකඩක් ?

‘ආයාචනා’ පසිඳු නූපේආරච්චිගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. මං ඔහුත් එක්ක මීට කලින් ටෙලි ෆිල්ම් එකක වගේම මියුසික් වීඩියෝ එකකත් වැඩ කරල තිබුණා. පසිඳු කියන්නෙ හොඳ ඇහැක් තියෙන විෂුවල් බියුටි එක ගැන ගොඩක් හිතන කෙනෙක්. ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි. හරි ලස්සනට සීන් එකෙන් සීන් එකට පැහැදිලි කරනවා. ඒ නිසා හරිම පහසු වුණා. මං නීතිඥවරියක් විදිහට පෙනී ඉන්න පළමු අවස්ථාව. ඒ නිසා මට ලොකු වගකීමක් තිබුණා. මොකද මං නියෝජනය කරන්නෙ රටේ වගකිවයුතු වෘත්තියක්. ඒ වෘත්තියට අගෞරවයක්, හානියක් නොවන විදිහට චරිතයට සාධාරණයක් කරනව කියන්නෙ ලොකු අභියෝගයක්. අදාළ පාර්ශ්වයන් මුණගැහිලා කොහොමද හැසිරෙන්නෙ, කතාබහ කරන්නෙ කියන අත්දැකීම කලින්ම අරගත්තා. මේ වෙද්දි එලීනාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ පාර උපන්දින සැමරුමත් විශේෂ වුණා නේද?

විශේෂයෙන්ම මේක කියන්නම ඕන. මගේ උපන්දිනේ යෙදුණු පළමුවැනිදා අපි හිටියේ ආයාචනා සෙට් එකේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම අනෙක් ඔක්කොම එදා හිටියා. මං කොහොමත් හිතාගෙන හිටියේ හවසට කේක් එකක් ගෙනැල්ල කපනවා කියලා. කොහොමහරි හවස මාව මේක්අප් ටච් කරන්න කියල උඩට යවලා පූජනීයි පසිඳුයි මූලික වෙලා කේක් එකක් ගෙනැල්ලා පොඩි පාටියක් ඇරෙන්ජ් කරලා මාව සප්‍රයිස් කළා. ඒක මට විශේෂ උපන්දිනයක් වුණා. ගොඩක් ස්තුතියි පූජනී, පසිඳු ඇතුළු කණ්ඩායමට.

ඔබ දමිළ චිත්‍රපටයක මුහුරත් උලෙළට සහභාගි වෙන්න හේතුව මොකක්ද?

මං රංගනයෙන් දායක වන දමිළ චිත්‍රපටයේ මුහුරත් උලෙළ තමයි පහුගියදා පැවැත්වුණේ. ඒකෙ නම ‘අදිරන්‘. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටවල මුහුරත් උලෙළ කියල තිබුණට දමිළ චිත්‍රපටවල තියෙන්නෙ පූජාවක්. පූජාව කෝවිලේ තිබුණේ. අදිරන් දමිළ සිනමාපටය තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක්. ඒඩ්‍රියන් ප්‍රඩක්ෂන් එකක්. ඉන්දියාවේ ප්‍රඩක්ෂන් කළාට තිනේෂ් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්. අදිරන් සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ. ප්‍රධාන පිරිමි චරිතය සඳහා සුදර්ශන් රවීන්ද්‍රන් සම්බන්ධ වෙද්දි ප්‍රධාන කාන්තා චරිතයට මට ආරාධනා ලැබුණා. මේ මං දමිළ චිත්‍රපටයකට සම්බන්ධ වෙන පළමු අවස්ථාව. හරිම සතුටින් භාර ගත්තා. මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ චෙන්නායිවල. ලංකාවෙත් ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

දමිළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් දායක වෙද්දි භාෂාව අභියෝගයක් වුණේ නැද්ද?

ඒක තමයි ලොකුම අභියෝගය වුණේ. මේ චරිතයට ගොඩක් අය බලලා තිබුණා. ඔවුන්ගේ හිතේ තියෙන රූපෙත් එක්ක මගේ රූපෙ ගැළපෙන්න ඇති. මුළු ස්ක්‍රිප්ට් එකම දමිළ භාෂාවෙන් තියෙන්නේ. එතැනදි එයාලගෙන් ලොකු සහායක් ලැබුණා. ස්ක්‍රිප්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා උච්චාරණය කරන විදිහ මට ලියල දුන්නා. මට දමිළ භාෂාව ඉගෙන ගන්නත් වුණා. සාමාන්‍ය සිංහල ගෑනු ළමයෙක් කතාබහ කරන විදිහ හැසිරෙන විදිහ නෙවෙයි. හැඟීම් දෙන විදිහ පවා ගොඩක් වෙනස්. පටන් ගන්න කලින්ම හැඟීම් දෙන විදිහ මයික්‍රො ලෙවල් එකෙන් මට ඉගෙන ගන්න වෙනවා. මේක මට ලොකු අවස්ථාවක්. වෙනස්ම අත්දැකීමක් වේවි කියල හිතනවා. ඒ ලැබුණු අවස්ථාව ගැන හරිම සතුටුයි. තව දින කිහිපයකින් රූගත කිරීම් ආරම්භ කරනවා.

ඔබ කලාවේ නියැළුණාට උපාධිය සඳහා තෝරගන්නේ මනෝවිද්‍යාව. කලාවයි මනෝවිද්‍යාවයි කියන්නෙ පථ දෙකක්?

ඔව්. මං උපාධිය සඳහා තෝරගත්තේ මනෝ විද්‍යාව. ඒ යටතේ ප්‍රධාන වශයෙන් ෆෝකස් කළේ පාරිසරික මනෝවිද්‍යාව කොටස. ඉගෙනීම මං රංගනයට බාධාවක් කරගන්නේ නෑ. කාලය කළමනාකරණය කරගෙන දෙකම සමබරව කරගත්තා. ඊට අමතරව පොතක් රචනා කළා. මේ දවස්වල මගේ දෙවැනි පොත ලියන්න රිසර්ච් කරමින් ඉන්නෙ. මනෝවිද්‍යාව සම්බන්ධයෙන් දේශන සඳහා මට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම පහුගිය දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා පාඨමාලාවේ සමාරම්භක උත්සවයට මට ආරාධනා ලැබුණේ පාරිසරික මනෝවිද්‍යාව ගැන දේශනයක් පවත්වන්න. රංගන ශිල්පිනියක් කියන තැනට එහා ගිහින් ඒ සඳහා මට ආරාධනා කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාටත් අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ශාන්ත මහතා සහ පාඨමාලා සමායෝජක ආචාර්ය නෙල්ලිගල මෙත්තානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට ස්තුති කරන්නත් මං මේක අවස්ථාවක් කර ගන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division