Home » තණමල්විල කැලේකින් මතු වූ මිනිස් ඝාතකයා

තණමල්විල කැලේකින් මතු වූ මිනිස් ඝාතකයා

by thanushika
June 15, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ මෙරට අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව නොරහසකි. ඒ නිසාම විවිධ අපරාධ සිදු කළ පුද්ගලයන් නීතියේ රැහැනින් බේරීම සඳහා විවිධ ප්‍රදේශවලට පලා ගොස් සැඟව සිටීම් වැඩි වශයෙන් වාර්තා වන්නට විය. මේ හේතුව නිසා විවිධ ප්‍රදේශවල සැඟව සිටින අපරාධකරුවන් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ පොලිස් ආඥා පනතේ 76 වගන්තියට අනුව රට වටා මෙහෙයුමක් දියත් කරමිනි.

පොලිස්පතිගේ නියෝග පරිදි තණමල්විල පොලිස් බලප්‍රදේශයට අයත් සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පසුගිය 11 හා 12 දෙදින ගම්බිම් පීරමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී තණමල්විල පොලිස් බලප්‍රදේශය තුළ තාවකාලික පදිංචියේ සිටින පුද්ගලයන් පිළිබඳ ලබාගත් තොරතුරුවලදී සැරයන් (40156) කුමාරරත්න තණමල්විල, නිකවැව, දෙමෝදර වැව් ඉස්මත්තේ පිහිටි වගා භූමියක වාඩියක් තුළ සිටි පුද්ගලයෙකු පිළිබඳ ලබාගත් තොරතුරු පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් වෙත ලබා දී සිදු කළ විමර්ශනයේදී එම පුද්ගලයා පුද්ගල ඝාතන දෙකක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවට පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් විසින් තහවුරු කරගෙන තිබිණි.

සැකකාර පුද්ගලයා 2022 වසරේ දෙසැම්බර් 14 දින තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ රත්නපුර නගරයේදී කුලී ගමන් රියැදුරෙකු වන අංක 293, ගල්ඔළුව, හරස් පාර, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි ලේකම්ලාගේගෙදර අශෝක බණ්ඩාර යන අයගේ අංක CAF 9158 දරන කාරයෙන් කුලී ගමනක් යන මුවාවෙන් රියැදුරු සමඟ එම කාරය කුලියට ගෙන ඉංගිරිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ. එහිදී රියැදුරුගේ කටට කඩදාසි ගුළියක් ඔබා ස්කුරුප්පු නියනකින් ඇන පහර දී අමානුෂික ලෙස ඝාතනය කර කාර් රථය මංකොල්ලකා පලා ගොස් සැඟව සිට ඇත. එමෙන්ම සැකකාර පුද්ගලයා 2020 වසරේ අප්‍රේල් 19දා ගංජා ළඟ තබා ගැනීමේ වරදට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2021 වසරේ සැප්තැම්බර් 20 වන දින රථවාහන වරදක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විසින්ද සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම 2021 වසරේ දෙසැම්බර් 01 වන දින ඇඹිලිපිටිය පොලිසිය මඟින්ද සැකකරු ගංජා ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබිණි. ඊට අමතරව සැකකරු විවිධ අපරාධ 12ක් සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ. එමෙන්ම සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකටද අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

ඒ අනුව සැකකාර පුද්ගලයා තණමල්විල පොලිසිය විසින් පසුගිය 30 වන දින අත්අඩංගුවට ගැනිණි. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ තණමල්විල නිකවැව, දෙමෝදර ප්‍රදේශයේ පිහිටි වගා භූමියක තාවකාලිකව සැඟවී සිටි උහපිටිගම, ලුණම, අම්බලන්තොට පදිංචි 30 හැවිරිදි බාලමානගේ චමිල මිහිරංග නමැති විවාහක පුද්ගලයෙකි.

තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමේදී සැරයන් (40156) කුමාරරත්න විසින් මෙම සැකකරුට අදාළ තොරතුරු ලේඛනගත කර තිබේ. ඒ අනුව එම පුද්ගලයාගේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට හා පොලිස් විශේෂ කාර්යාංශයට ලබා දී කරන ලද විමර්ශනයේදී සැකකරු පිළිබද සියලු තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිස් ස්ථානයට රැගෙනවිත් සිදු කළ මූලික ප්‍රශ්න කිරීමේදී සැකකරු සියලු අපරාධ පිළිබඳව හෙළි කර තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිසිය විසින් පසුගිය මැයි 31 වන දින පෙරවරුවේ ඉංගිරිය පොලිසියට භාර දී තිබේ.

සැකකරු සමඟ සැකකරුට නවාතැන් සපයමින් ඔහුට ආධාර අනුබල දීමේ චෝදනා මත නිකවැව ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි වී.එස්. අබේරත්න නමැත්තාද තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. එම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කෙරිණි.

ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මොනරාගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සී.ජේ. වීරසේකර, මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය, සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර, පොලිස් විශේෂ කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ගමගේ සහ සැරයන් (40156) කුමාරරත්න යන නිලධාරින් එක්ව වැටලිම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division