වයස අවුරුදු 16ට අඩු ළමයින් අපරාධවලට පෙලඹීමේ ප්‍රවණතාව ජනමාධ්‍ය මඟින් පසුගිය දිනවල හෙළිකරන ලද පුවත්වලින් බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස ළාබාල වයසින් අපරාධවලට පෙලඹෙන ළමයින් සිය ගෘහස්ථ ජීවිතයේදී අනේක දුක් පීඩා කරදර වධහිංසාවලට ලක්වන බවයි.
මේ තත්ත්වයට උදාහරණයක් ලෙස ආසන්නතම කතාව පසුගියදා වාර්තා වූයේ මහනුවර දිසාවේ ගලහ පොලිස් ස්ථානයෙනි. ගලහ පොලිස් වසමේදී සොරකම් රැසක් සිදුකරන ලද වයස අවුරුදු 15ක පමණ ළමයකු ගලහ පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ එම ළමයාගේ මව විදේශගතව සිටින අතර මවගේ දෙවැනි විවාහයේ සැමියා මේ ළමයාට නොසලකන බවය. එම 15 හැවිරිදි සිසුවා ගලහ ප්‍රදේශයේ නිවාස වෙළෙඳසල් කීපයක් බිඳ මුදල්, රන් ආභරණ සහ පාපැදියක් සොරකම් කර තිබූ අතර ඔහුගෙන් කාරුණිකව ප්‍රශ්න කළ ගලහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා හෙළිකර ගන්නේ මේ ළමයා තමන්ට අවශ්‍ය ආහාරපාන සහ පාසල් උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මේ සොරකම් සිදුකර ඇති බවය.
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ සොරකම් රැසක් සිදුකළ වයස අවුරුදු 15ක පමණ ළමයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට එගොඩඋයන පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට හැකිවූයේ ද පසුගියදාය.
මේ ළමයා සොරකම්වලට යෙදවූ බව කියන පුද්ගලයකු මේ ළමයා සමඟ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී පොලිසිය දැක පලා ගොස් තිබිණි. වයස අවුරුදු 15ක ළමයකු ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකට වයස අවුරුදු 08ක ළමයකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් ගැනද පසුගියදා වාර්තා වූයේ දකුණු පළාතෙනි.
මේ ආකාරයට සොරකම් කොල්ලකෑම් ඇතුළු අපරාධවලට යොමුවන ළමයින්ගේ ගෘහස්ථ ජීවිත ගැන විමර්ශනය කරද්දී හෙළිවන ප්‍රධාන කාරණාව නම් එම දරුවන්ට ළමාවිය ඉතා අප්‍රියජනකව අප්‍රසන්නව සහ තාඩනපීඩන වධහිංසා දුක් කරදර කම්කටොලු රැසක් මැද ගත කිරීමට සිදුවූ අය වීමයි. ළමාවිය එලෙස ඉතා දුක්ගැහැට මධ්‍යයේ ගෙවන ඇතැම් ළමයින් පසු කලෙක ප්රචණ්ඩකාරීවී අපරාධවලට යොමුවන බව අරුමයක් නම් නොවේ.
එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ හැටන් පොලිස් කොට්ඨාසයට අයත් වටවල පොලිස් ස්ථානයෙනි.
හැටන් පොලිස් කොට්ඨාසයට අයත් වටවල පොලිස් වසමේ හයිඩ්‍රි වතුයායේ පිහිටි නිවෙසක දොරගුළු කඩා ඊට ඇතුළුවූ කිසිවකු එහි තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදල් පසුගිය දිනෙක සොරකම් කර තිබුණු අතර නිවැසියන් ඒ පිළිබඳව වටවල පොලිසියට පැමිණිලි කර තිබුණි.
හැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලින් දෛනිකව වාර්තා වන අපරාධ සම්බන්ධයෙන් දෛනිකව විශ්ලේෂණය කරන හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මේ මුදල් සොරකම පිළිබඳව විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දෙන්නේ වටවල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකටය. හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කාලයක් සේවය කර ලැබූ අත්දැකීම් සහිතව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරන වටවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුෂංක රුපියල් දෙලක්ෂයක මුදල් සොරකම සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කිරීම සඳහාය. මේ සිසුන් දෙදෙනා වටවල පොලිස් වසමේ හා හයිඩ්‍රි වතුයායේ පිහිටි පාසල් දෙකක ඉගෙනුම ලබන සිසුන් වන අතර ඔවුන් දෙදෙනා මිතුරන්ය.
වටවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක මේ සිසුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ අදාළ නිවෙසේ දොරගුළු කඩා ඊට ඇතුළු වී එහි තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදල් සොරකමට මේ සිසුන් සම්බන්ධදැයි සොයා ගැනීම සඳහාය.
පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකගේ ප්‍රශ්න කිරීම් හමුවේ සිසුන් දෙදෙනාට තමන් සිදුකළ සොරකම සම්බන්ධව තොරතුරු සඟවා සිටින්නට බැරි විය. කතාව හෙළිවන්නේ එතැන් සිටය.
මේ සිසුන් දෙදෙනා අදාළ නිවෙසට ඇතුළු වී ඇත්තේ එහි දොරගුළු කඩා දැමීමෙන් අනතුරුවය. ඉන් අනතුරුව නිවසට ඇතුළුවූ සිසුන් දෙදෙනා නිවසේ තිබුණ රුපියල් ලක්ෂ දෙකක මුදල් රැගෙන නිවසින් පිටවී ඇත.
මේ සිසුන් දෙදෙනා එලෙස සොරකම් කරන ලද මුදල් වියදම් කර ජංගම දුරකතනයක්, පරෙවියන් අටදෙනෙක් සහ විසිතුරු මසුන් ඇතිකරන තැනකින් වීදුරු ටැංකි දෙකක් ක්‍රිකට් පිත්තක් මිලදී ගෙන ඇති බව අනාවරණය විය. සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් දොළොස්දහසක මුදල් ළමයින් දෙදෙනා සතුව තිබියදි සොයා ගැනිණි. මේ ළමයින් දෙදෙනා වටවල හයිඩ්‍රි වතුයායේ පාසල් දෙකක 7 වසරේ ඉගෙනුම ලබන සිසුන් බව විමර්ශනවලදී හෙළිවිය.
මේ ළමයින් දෙදෙනා සොරකම් කරන ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ජංගම දුරකතනය පිළිබඳව විමර්ශනය කළ වටවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක හෙළිකර ගන්නේ මේ සිසුන් දෙදෙනා එම ජංගම දුරකතනය හැටන් නගරයේ ජංගම දුරකතන අලෙවිහලකින් මිලදීගෙන ඇති බවයි. මේ අවස්ථාවේදි එහි අයිතිකරු සිසුන් දෙදෙනා රවටා රුපියල් විසිදහසක් පමණ වටිනා මෙම ජංගම දුරකතනයට රුපියල් අසූදහසක් ලබාගෙන ඇති බව හෙළිකර ගැනීමට වටවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකට හැකි විය.
මේ ළමයින් දෙදෙනාට ඒ සා විශාල මුදලක් ලැබුණේ කොහෙන්දැයි නොවිමසා එම ළමයින්ට රුපියල් විසිදහසක් වටිනා ජංගම දුරකතනය රුපියල් අසූදහසකට අලෙවි කරන ලද ජංගම දුරකතන හල් හිමියාට එරෙහිව ද මේ වනවිට විමර්ශන සිදු කැරේ.
සැකකාර සිසුන් විසින් සොරකම් කරන ලද මුදල්වලින් මිලදී ගත් භාණ්ඩ සහ ඔවුන් සන්තකයේ තිබුණ මුදල් වටවල පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇත. සැකකාර ළමුන් දෙදෙනා හැටන් දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණි. එසේ ඉදිරිපත් කරන ලද ළමයින් දෙදෙනා ඔවුන්ගේ මවුපියන් ගෙන්වා භාර කෙරුණු අතර නඩු විභාගය ඉදිරියට කැඳවීමට නියමිතව තිබිණි.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් මත වටවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර