කුමක් හෝ යටිකූට්ටු වැඩක් සිදුකර අහිංසක මිනිසුන් රවටා ඔවුන් සතු මිල මුදල්, ඉඩකඩම්, දේපළ, යානවාහන තමන්ගේ නමට හොරට ලියාගෙන එම දේපළ තමන්ටම අයත් ඒවා ලෙස පෙන්වා තවත් පුද්ගලයන් ද රවටා ඔවුනට අලෙවි කර වංචනිකව මුදල් හරිහම්බකර ගන්නා පල් හොරුන්ට සමාන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් මෙරට බොහෝ තැන්වල තවමත් නිරුපද්‍රිතව සිටිති.
විශේෂයෙන් මෙවැනි සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් අහිංසක මිනිසුන් රවටා ඔවුන් ඉතා මහන්සියෙන් හරිහම්බකර ගත් මුදල්වලින් මිලදීගත් යානවාහන පවා වංචනිකව ලබාගෙන ඒවා වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි සකස්කර විවිධ පුද්ගලන්ට අඩු මුදලට විකිණීමේ ජාවාරම් සිදුකරගෙන යන අයුරු දක්නට ඇත. මේ වංචනිකයන්ගේ ගැටවලට හසුවන ඇතැම් පුද්ගලයන්ට බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ තමන් දාඩිය මහන්සියෙන් හරිහම්බකර ගත් මුදල්වලින් මිලදී ගත් යානවාහන මෙවැනි කපටියන්ට පූජා කර අත පිසදා ගැනීමටය.
මීට හොඳම උදාහරණයක් පසුගියදා වාර්තා වූයේ යක්කල පොලිස් ස්ථානයෙනි. වාහන තිස් අටක් පමණ විවිධ පුද්ගලයන්ගෙන් වංචනිකව ලබාගත් මේ පුද්ගලයා ඒවා සඳහා ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අඩුමිලට විකුණා තිබිණි. වාහන මිලදී ගන්නා මුවාවෙන් සිය වාහනය අලෙවි කරන පුද්ගලයන් රැසක් හමුවට ගොස් ඇති මේ පුද්ගලයා එම වාහන පරික්ෂාවට ධාවනය කරන මුවාවෙන් ඒවා පැහැරගෙන ගොස් හොර ලියකියැවිලි සාදා අලෙවිකර තිබුණි. ඔහු මෙවැනිම වංචාවක් සිදුකිරීමට ගොස් පොලිසියට කොටුවන්නේ පසුගියදාය.
වාහන කුලියට ගන්නා ඇතැම් පුද්ගලයන් ද එම වාහනවලට හොර ලිපි ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරම් ගැන ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි.
එවැනිම සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ කුරුණෑගල දිසාවට අයත් නාගොල්ලාගම පොලිස් ස්ථානයෙනි.
මේ කතාව පියවරෙන් පියවර පෙළගැසෙන්නේ මෙසේය.
නාගොල්ලාගම පොලිස් වසමට අයත් තල්කොටේවත්ත, අඹගහවත්ත ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක් අසලට මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයෙක් බොහෝ වේලාවක සිට සැක කටයුතු ලෙස රැඳී සිටින බවට නාගොල්ලාගම පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයමහට තොරතුරක් ලැබෙන්නේ සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙනි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාගොල්ලාගම පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් කණ්ඩායමක් සමඟ අදාළ ස්ථානයට ක්ෂණිකව ළඟා වෙද්දී සැක කටයුතු පුද්ගලයා ඔහු පැමිණි මෝටර් බයිසිකලය ද අතහැර දමා පලා යන්නේ පොලිස් නිලධාරීන් ද විමතියට පත්කරමිනි.
පොලිස් කණ්ඩායම මේ පුද්ගලයා පසුපස හඹා යද්දී ඔහු ඒ ප්‍රදේශයේම පිහිටි තවත් කැලෑබද ස්ථානයකට පැන සැඟවී ඇත්තේ පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහාය.
එහෙත් පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව නිසාම සැකකරුට වැඩි වේලාවක් එම කැලෑබද ප්‍රදේශයේ සැඟවී සිටිමට නොහැකි විය. ඔහු තවත් සුළු මොහොතකින් පොලිස් අත්අඩංගුවට ගැනුණි.
සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහු දමා ගිය මෝටර් බයිසිකිලය අසලට ඔහු රැගෙන ගොස් ප්‍රශ්න කරන්නේ පොලිස් නිලධාරීන් දැක පලා යාමට හේතුව විමසීම සඳහාය. ඒ අතර පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු පැමිණි මෝටර් බයිසිකලය ඉතා සියුම්ව පරික්ෂා කරද්දී එහි ඉදිරිපස කොටෙස් ඉතා සූක්ෂ්මව සඟවා තිබුණු ආදායම් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍රයක් සහ රක්ෂණ සහතිකයක් සොයාගන්නා ලදි.
එම ලේඛනවලට අනුව මෝටර් බයිසිකලය තමාගේ මස්සිනාගේ බවට පොලිසියට ඒත්තු ගැන්වීමට සැකකරු නොගත් උත්සාහයක් නැතත් පොලිස් නිලධාරීන්ට සැකකරු සම්බන්ධව ඒ වනවිටත් ඇතිකර ගෙන තිබුණු සැකය පහව ගොස් තිබුණේ නැත. මෝටර් බයිසිකලයේ තිබියදී සොයා ගන්නා ලද රියැදුරු බලපත්‍රය පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ අයකුට අයත් එකක් බව පොලිස් නිලධාරීන් හෙළිකර ගන්නේ ඉන් අනතුරුවය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා අපරාධ සහ වංචනික ක්‍රියා සඳහා චෝදනා ලද එසේම විමර්ශන සඳහා වෙනත් පොලිස් ස්ථානවලට අවශ්‍ය පුද්ගලයෙකු ද යන්න සෙවීම සඳහා නාගොල්ලාගම පොලිසියේ නිලධාරීන් ඔහු පිළිබඳ තොරතුරු රටේ සියලු පොලිස් ස්ථානවලට ලබාදී තිබුණ අතර ඒ අනුව පොලිස් ස්ථාන ගණනාවකින් නාගොල්ලාගම පොලිසියට තොරතුරු ලැබෙන්නේ එම පුද්ගලයා වාහන ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකින්ම අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අයකු බවය.
නිකවැරටිය, හොරණ, ගිරිබාව, කළුතර, කුරුණෑගල, මාතර ඇතුළු පොලිස් ස්ථාන රැසකටම සැකකරු අවශ්‍ය කර තිබුණේ වාහන ජාවාරම් සම්බන්ධව අත්අඩංගුවට ගැනීම සඳහාය.
කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන මඟින් මේ සැකකරු විසින් ලබාගත් සැප කාර් හතරක්, වෑන් දෙකක් ඒවායේ හිමිකරුවන්ට නැවත ලබා නොදීම සහ අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධයෙන් ද පොලිස් ස්ථාන කිහිපයකට මේ සැකකරු සම්බන්ධ පැමිණිලි ලැබී තිබිණි.
සැකකරු විසින් කුලී පදනම මත ලබාගන්නා ලද වාහනවල බලපත්‍රය, පොත සහ රක්ෂණ සහතික ව්‍යාජ ලෙස වෙනස් කර එම වාහන නැවත අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවිය.
එම ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යවා පරික්ෂා කළ අවස්ථාවලදී එම ව්‍යාජ ලේඛන අදාළ වාහනවල නියම ලේඛන ලෙසට කිසිවකුට සොයාගත නොහැකි පරිදි සකස් කර ඇති බව හෙළිවී ඇත.
සැකකරු මෙලෙස කාලයක් තිස්සේ සිදුකරන ලද වාහන ජාවාරම්වලින් උපයාගෙන ඇති බවට සැක කරන මුදල රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ තිස්හය දහසකි. මෙලෙස අල්ලා ගැනුණු සැකකරුගේ වයස අවුරුදු 34කි. අලුත්ගම දර්ගා නගරයේ මුල් පදිංචිකරුවකු වන ඔහු නාගොල්ලාගම තල්කොටේවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරු විවාහකයෙකි.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර, මහව සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත නාගොල්ලාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයමහ, සැරයන්වරුන් වන (35389) දිසානායක, (33547) රණසිංහ, (34124) දිසානායක, (57629) රත්නායක, කොස්තාපල්වරුන් වන (72546) රණතුංග, (34536) ලක්මාල් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
ඡායාරූප – කුරුණෑගල
සුනිල් එස්. පැල්ලන්දෙණිය
දීපාල් සමරසේකර