Home » කතුන් අන්දා ආභරණ අරන් පනින හිටපු සෙබළා කොටුකළ පොලිස් ‘ඇම්බුෂ්’ එක

කතුන් අන්දා ආභරණ අරන් පනින හිටපු සෙබළා කොටුකළ පොලිස් ‘ඇම්බුෂ්’ එක

by thanushika
June 22, 2024 12:30 am 0 comment

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස රට පුරා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදී සමහර අපරාධකරුවන් තම ක්‍රියාකාරකම් වෙනස් කරමින් අපරාධ සිදු කළද පොලිසිය සැලසුම්සහගත මෙහෙයුම්වලින් එම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නේ ඔවුන් සිදුකළ අපරාධවල තොරතුරු ද හෙළිදරව් කරමිනි.

ඊට කදිම නිදර්ශනයක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේදී පසුගියදා හෙළිදරව් විය. විවාහක කාන්තාවන් 200ක් රවටමින් මුදල් සහ රන් ආභරණ වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට පසුගියදා හැකි විය.

යුද හමුදාවේ මින්නේරිය පුහුණු පාසලේ පුහුණුව ලබා වසර දොළහක් පමණ යුද හමුදා විශේෂ බළකායේ සේවය කොට ඉන් ඉවත් වූ පුද්ගලයෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු මාතර ‘හාමුගෙ වත්තේ’ පදිංචි වයස අවුරුදු 40ක් වූ විවාහක දෙදරු පියෙකු විය.

මුදල් හදල් යහමින් ඇති අයකු සේ හැසිරෙමින් ‘රන් වර්ණ’ ගන්වන ලද ඉමිටේෂන් ආභරණ රැසක් අතේ කරේ පැලඳ වටිනා ඇඳුම් සේ පෙනෙන සුදු ඇඳුමෙන් සැරසී ඉතාලියේ රැකියාව කොට පැමිණි අයකු ලෙස ඔහු පෙනී සිටී. ඒ අතර ගමන්බිමන්වල යෙදෙමින් මෙම පුද්ගලයා අවුරුදු 35ත් 50ත් අතර වයස්වල පසුවන විවාහක කතුන් රවටා ඔවුන් සමඟ ආදර සබඳතා ඇතිකර ගනී. අනතුරුව එම කතුන් තැන තැන රැගෙන ගොස් ඔවුන් රවටා මුදල් මෙන්ම කනකර ආභරණ ලබා ගැනීමත්, පසුව ඔවුන් මඟහැර දුරකතන අංක පවා වෙනස් කර වෙනත් ප්‍රදේශවලට පලා යාමත් මොහුගේ සූක්ෂ්ම වැඩපිළිවෙළ විය.

කාන්තාවන්ගෙන් මුදල් සහ ආභරණ වංචා කර ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් තවත් දෙදෙනෙකුගේ සහාය ලබාගෙන තිබූ අතර, එලෙස යාළු කර ගන්නා කාන්තාවන් පාළු ස්ථානයන්ට රැගෙන ගොස් කතාබහේ යෙදී සිටින අතර, සහායට සිටින පුද්ගලයින් දෙදෙනා සැලසුම්ගත ලෙස පැමිණ අවි ආයුධ පෙන්නා දෙදෙනා බිය කර මුදල් ආභරණ පැහැර ගැනීමට තැත් කරද්දී පළමුව තමා සතු ඉමිටේෂන් ආභරණ සහ මුදල් පසුම්බිය ඔවුනට දීමට සැකකරු පෙලඹේ. පසුව අදාළ කාන්තාව ද තමන් සතු ආභරණ, මුදල්, ජංගම දුරකතනය ආදිය කඩිනමින් ඔවුනට ලබා දෙන්නේ බියට පත්වීම නිසාය.

පසුව මෙම පුද්ගලයා තමාගේ බැංකු කාඩ්පත් ද කොල්ලකරුවන් ගෙන ගිය බව පවසමින් එය නැවත සකස් කරගෙන කාන්තාවට කනකර ආභරණ අරන් දෙන බවට පොරොන්දු වී කාන්තාවගේ බැංකු ගිණුමෙන් ද මුදල් ඉල්ලා ගන්නේ ඉතා සූක්ෂ්ම ලෙසයි.

මෙලෙස මෙම සැකකරු විසින් රැවටීමට ලක්කර ලක්ෂ ගණන් වටිනා රන් ආභරණ මෙන්ම ලක්ෂ ගණනින් මුදල් ද වංචා කළ ද එලෙස වංචාවට හසුවන කාන්තාවන් බොහොමයක් තම පවුල් ජීවිතය රැක ගැනීමේ අරමුණින් එම සිදුවීම් හෙළිදරව් නොකිරීමත්, ආභරණ යතුරුපැදිකරුවකු කඩාගෙන ගිය බව පවසමින් නිවසේ අයට බොරු කීමත්, වංචා කළ ආභරණ සහ මුදල් ලබා ගැනීම වෙනුවෙන් පොලිසියට පැමිණිලි නොකිරීමත් නිසා සැකකරු නිදහසේ මෙම කූට ජාවාරමේ දිගින් දිගටම යෙදී සිටියේය. එහෙත් ඔහුට වැඩ වැරදුණේ හක්මණ ප්‍රදේශයේ විවාහක කාන්තාවක් එවැනිම ආකාරයෙන් රැවටීමට ලක්කර රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වංචා කිරීමත් සමඟය.

බොරු කියා අදාළ කාන්තාව රැවටීමට ලක්කර අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ හතරක් හා රුපියල් ලක්ෂ තුනහමාරක් වංචාකාරී ලෙස ලබාගෙන එම කාන්තාව මඟහරිමින් සිටීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

කාන්තාවගේ මෙම පැමිණිල්ල ලැබී තිබුණේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහටය. ඒ ඉකුත් අප්‍රේල් මස 27දාය. පැමිණිල්ල පිළිබඳ හොඳින් කරුණු විමසා බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පවරනු ලැබුවේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේටය. පැමිණිල්ල පිළිබඳ මූලික කටයුතු හොඳින් විමසා බැලූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ, උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග කැඳවා ඔහු හා එක්ව සැකකරු අත්අඩංගුවට ගැනීමේ සූක්ෂ්ම මෙහෙයුමක් සැලසුම් කළේ කාන්තාව ලබා දුන් තොරතුරුවලට අනුව සැකකරු නීතියේ රැහැනින් සූක්ෂ්ම ලෙස ගැලවී සිටින පුද්ගලයකු බව හඳුනා ගැනීමත් නිසාය.

තම ඒකකයේ ප්‍රධානියා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක මිහිරංග අදාළ කාන්තාවකගෙන් තවදුරටත් කරුණු විමසා දැනගෙන සැකකරුගේ හැසිරීම් රටා පිළිබඳව මූලික අවබෝධයක් ලබාගත්තේය. පසුව ‘පොලිස් උපක්‍රම’ පාවිච්චි කර සැකකරු පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කරගන්නා ලදි.

ඒ අනුව උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග සැකකරු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ කළද සැකකරු ඉන් පැන ගියේ ඔහුට පැන යාම ගැන මනා අවබෝධයක් අත්දැකීමෙන් ඔහු සතුව තිබූ නිසාය. එහෙත් උපපොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංගගේ ඊළඟ සූක්ෂ්ම උපායට ඔහු ගොදුරු විය.

සැලසුම්ගත ලෙස සැකකරු කොටුකර ගැනීමේ පොලිස් මෙහෙයුම දියත් කෙරිණි. ඒ උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග, කාන්තා උප පොලිස් පරීක්ෂක දීපා ප්‍රියංගනී, සැරයන් 15043 නෙවිල්, කොස්තාපල්වරුන් වන 72701 ධනුෂ්ක සහ 72992 ප්‍රසාද් යන නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම විසිනි.

සැකකරු හාමුගෙවත්තේ ඔහුගේ නිවසට එන වෙලාවක් සොයාගත් පොලිස් කණ්ඩායම සැකයක් නොසිතන අයුරින් රැකවල්ලා සිටි අතර, එදින සැකකරු පොලිස් දැලට කොටු වූවේ කිසිවක් කර කියාගත නොහැකි ලෙසය. අත්අඩංගුවට ගත් සැකකරු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට රැගෙනවිත් සිදු කළ විමර්ශනයේදී ඔහු විසින් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයක නඩු දහසයක් ක්‍රියාත්මක වන බවත් ගිනිඅවි පෙන්වා කොල්ලකෑම, අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු ක්‍රියාත්මක වන බවත් අනාවරණය විය. ඔහුට විරුද්ධව රටපුරා පොලිසි රැසක පැමිණිලි ක්‍රියාත්මක වන බව පොලිසිය විසින් අනාවරණය කරගන්නා ලදි. මෙම නඩු විමර්ශන සිදුවන අතර පැහැරගත් බඩු හා මුදල් නැවත දෙන බවට පොරොන්දු වී එම පොරොන්දු ද කඩකර සැඟව සිට ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය.

සියලු කරුණු අනාවරණය කරගත් පොලිස් කණ්ඩායම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, මේ වන විට අවස්ථා තුනකදී බන්ධනාගාරගත කිරීමේ කාලසීමාව දිගු කරමින් ඇත.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division