Home » ඉන්දියාවෙන්: මහ රෑ මුහුදෙන්: කල්පිටිය වෙරළේ අමු ඉඟුරු බිස්නස් එක

ඉන්දියාවෙන්: මහ රෑ මුහුදෙන්: කල්පිටිය වෙරළේ අමු ඉඟුරු බිස්නස් එක

by thanushika
June 22, 2024 12:30 am 0 comment

කල්පිටිය කියූ සැණින් කාගෙත් මතකයට එන්නේ අති රමණීය සංචාරක තෝතැන්නකි. සොබාදහම හා බැඳූණු සුන්දර පාරාදීසයක් වූ කල්පිටිය සයුරේ මනදොළ පිනවන සොඳුරු දසුන් මෙරට පමණක් නොව විදෙස් රටවල ද කතාබහට ලක් වේ.

මෙලෙස විදෙස් රටවල ආකර්ෂණයට බඳුන් වූ කල්පිටිය වෙරළ තීරයේ ඇති සුන්දරත්වයට අසුන්දරත්වය රැගෙන එන්නේ විවිධ ජාවාරම්කරුවන්ය. ඒ අද ඊයෙක නොවේ. දශක කිහිපයකට පෙර සිටය. එදා රෙදි, පසුව බීඩි කොළ, පසු කාලයක හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය, මෑතකදී කහ ඉන්දියාවේ සිට නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කළ ජාවාරම්කරුවන්ගේ නවතම සොයා ගැනීම ඉඟුරුය. ඒ මෙරට තුළ අහස උසට ඉඟුරු මිල නැඟ තිබෙන පසුබිමකය. මෙලෙස අමු ඉඟුරු නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව අනාවරණය වූයේ ඉකුත් පස්වැනි දිනය. එය ප්‍රථම වතාවට විය හැකි බවද කියැවේ.

මේ සියලු ජාවාරම් සිදු කරන්නේ ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවරයන් බවට හඳුන්වා ගන්නා සංවිධානාත්මක පිරිසකි. ඉන්දියන් ජාවාරම්කරුවන් හා මෙරට ජාවාරම්කරුවන් අතර ඇති මෙම ගනුදෙනුව සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙසය. බොහෝ විට ඉන්දියානුවෝ මෙරට මුහුදු සීමාව ආසන්නයට නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙන එන්නේ මුහුදු ජලය මිශ්‍ර නොවන ලෙස ආරක්ෂිත දවටනවලින් ආවරණය කරගෙනය. බෝට්ටු මඟින් ඇදගෙන මුහුදේ ගිල්වාගෙනය. මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමෙන් පසු මෙරට ජාවාරම්කරුවන් ද ඒවා ගොඩබිමට රැගෙන එන්නේ මෙලෙසමය. ආරක්ෂක අංශ නොමඟ යැවීමට බෝට්ටුවේ දැල් ආම්පන්න සහ මාළු දමාගෙන ඒමද ජාවාරම්කරුවන්ගේ එක් උපාය මාර්ගයකි.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ මෙම ජාවාරම්කරුවන් හසුකර ගැනීමට විවිධ ක්‍රමෝපායන් භාවිත කරමින් දිවා රාත්‍රී මුහුදේ මෙන්ම ගොඩබිමේ වෙරළ තීරයේ සංචාරයේ නිරත වෙති.

මෙසේ ඉඟුරු මිල අහස උසට ඉහළ යමින් තිබෙන මොහොතක ආරක්ෂක අංශවලට බුද්ධි තොරතුරක් ලැබෙන්නේ නීති විරෝධී ලෙස අමු ඉඟුරු මෙරටට මුහුදු මඟින් රැගෙන ඒමට සැලසුමක් ඇති බවටය. මේ නිසා බුද්ධි අංශ මෙන්ම පොලිසියට තොරතුරු ලබා දෙන ඔත්තුකරුවන්ද සීරුවෙන් තැබීමට පොලිස් නිලධාරින් කටයුතු යොදා තිබිණි.

නොරොච්චෝලේ පොලිසියේ ස්ථානාධිපති බී. ධර්මකුමාර්ට බෝට්ටු මඟින් ඉන්දියාවේ සිට රැගෙන එන ඉඟුරු තොගයක් ගැන තොරතුරක් ලැබෙන්නේ එවන් පසුබිමකය.

ධීවර බෝට්ටු තුනක ඉඟුරු තොගයක් කල්පිටිය, ඉලන්තඩිය වෙරළ තීරයට රැගෙන එන බවට එම තොරතුරේ සඳහන් විය. ඒ අනුව ස්ථානාධිපතිවරයා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ කල්පිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුජීත් සොයිසා යන නිලධාරින් දැනුම්වත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව ඉකුත් පස්වැනිදා අලුයම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරිණි. තොරතුරට අනුව කල්පිටිය, ඉලන්තඩිය වෙරළ තීරයට එම ධීවර යාත්‍රා පැමිණෙන්නේ අලුයම දෙකට පමණ බව එම තොරතුරේ සඳහන් විය. එදින මධ්‍යම රාත්‍රී 12.30ට පමණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම සූක්ෂම ලෙස එම ස්ථානයට ළඟාවීමට කටයුතු කරන ලදි. වෙරළ තීරයේ පැති දෙකකින් පොලිස් කණ්ඩායම් දෙකක් වෙරළ තීරය පරීක්ෂා කරමින් ඉදිරියට යද්දී වෙරළේ සැක සහිතව නවතා තිබූ යාත්‍රා දෙකක් කෙරෙහි පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු විය. එසේ නවතා තිබූ යාත්‍රා වෙනත් යාත්‍රා මෙන් නොව ඒවා ඉතා කලබලයෙන් මෙන් ගාල්කර ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. එම යාත්‍රා දෙස බැලූ බැල්මට බාහිරින් සැක සහිත කිසිත් නොතිබූ අතර පසුව යාත්‍රාව ඇතුළත ඇති ධීවර දැල් ආම්පන්න පරීක්ෂා කර බැලීමේදී ඒවාට යටකර තිබූ අමු ඉඟුරු සහිත උර කීපයක් හමුවිය. පසුව මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සහ තවත් ඉඟුරු තොගයක් රැගෙන ආ ධීවර යාත්‍රා ඇති බවට සැක පහළ කළ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඊට නුදුරින් පිහිටි මාම්පුරිය වෙරළට පැමිණ වෙරළේ තිබු ධීවර යාත්‍රා පරීක්ෂා කිරීමේදී තවත් ඉඟුරු තොගයක් සහිත එක් යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් භාරයට ගැනීමට හැකි විය. මේ අනුව රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් අමු ඉඟුරු කිලෝ 1400ක තොගයක් කල්පිටිය, ඉලන්තඩිය සහ මාම්පුරිය වෙරළ තීරයෙන් සොයා ගැනීමට නොරොච්චෝලෙ පොලිසියේ නිලධාරින්ට හැකි විය.

පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත කල්පිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුජීත් සොයිසාගේ අධීක්ෂණයෙන් නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපති බී. ධර්මකුමාර්, සැරයන් 68405 ක්‍රිශාන්ත, 68261 සංජීව බංඩාර, කොස්තාපල් 78879 සංජීව, කොස්තාපල් රියැදුරු 93288 රශ්මික ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

මිහිර විජේසේකර - පුත්තලම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division