ඒයි කොටියෝ… බඩු තියෙනවා. මගේ බෝඩිමට ඇවිත් අරං පලයන්…” ප්‍රභාෂ් සංදීපට ඒ ඇමතුම ලැබුණේ ඔහුගේ හොඳම මිතුරාගෙනි. බජාර් එකේ කවුරුත් සංදීප ඇමතුවේ ‘කොටියා ‘ යන අන්වර්ථ නාමයෙනි. මිතුරා මෙන්ම ඔහුත් සිදු කෙරුවේ එකම රැකියාවය. ඒ ඉතා පහසුවෙනුත් ඉක්මනිනුත් විශාල මුදලක් එකවර ඉපයිය හැකි මත්ද්‍රව්‍ය ජාවාරමය. දෙදෙනාට දෙදෙනා විශ්වාසෙනුත් බැඳීමෙනුත් එකට සිටිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගියේ කාලයක සිටය. ජාවාරම මෙන්ම මත්ද්‍රව්‍ය පානයට ද දෙදෙනාම අතිදක්ෂය.
‘සංදීප’ පදිංචිව සිටියේ හෝකන්දර නැගෙනහිර, ලදුබිම, හොරහේන ප්‍රදේශයේය. මිතුරා පදිංචිව සිටියේ හොරහේන ප්‍රදේශයේ බෝධිය කිට්ටුවම ඇති බෝඩිං කාමරයකය. ඒ ඔහුගේ බිරිය සමඟය. විවාහකයෙකු වුවද ‘සංදීප’ ද මිතුරා මෙන්ම රැකියාවක් කිරීමට උනන්දු වූයේ නැත. ඒ එවැනි රැකියාවකින් සොච්චම් මුදලක් උපයනවාට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම් ‘මුදල් ගලන’ උල්පතක් තරමට වාසිදායක වන බව ඔවුන් දන්නා නිසාය.
මිතුරා බන්ධනාගාරගතව සිට පැමිණ තවම ගතවී ඇත්තේ දින දහයක පමණ කාලයකි. ඒ හෙරොයින් නඩුවක් සම්බන්ධයෙනි.
ඔහු සිරගතව සිටියදී සංදීප නිතර ඔහුගේ බෝඩිං කාමරයට ආගිය බව ඔහුට රහසක් වී නොතිබිණි. සංදීප එහි ගියේ තනිවම නම් නොවේ. කාන්තාවක් ද සමඟය. මිතුරාගේ බිරියට ඔහු පැවසුවේ ඇය ඔහුගේ බිරිය බවය. එහෙත් ඇය ඔහුගේ බිරිය නොව අන් කාන්තාවක් බව මිතුරාගේ බිරිය දැනගත්තේ ද පසුවය.
එක් ඇඳක් පමණක් ඇති දෙදෙනෙකුට තියා එක් අයකුටවත් හැරෙන්නටවත් ඉඩ නැති මෙම බෝඩිං කාමරයේ සංදීප, තම බිරිය හා තවත් කාන්තාවක් සමඟ සිටීම පිළිබඳව මහඋළු ගෙදර අඳුරු කුටියට වී සිටි මිතුරාට තිබුණේ විශාල සැකයකි. එමෙන්ම ඉරිසියාවකි. නිතරම ඔහු සිතුවේ සංදීප සිටින්නේ වෙනත් කාන්තාවක් සමඟ නොව තම බිරිය සමඟ කියාය. දින දින ඔහුගේ එම සැකය දලුලා වැඩී විශාල වෛරයක් බවට පෙරළීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඔහු සංදීපට තමා හමුවීමට බෝඩිං කාමරය ළඟට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහාය.
මේ වන විට සංදීප සිටියේද මිතුරා තමන් ගැන කෝපයෙන් පසුවෙමින් සිටින බව දැනගෙනය. ඔහු තුළ තිබුණේ මේ ගමන යෑමට දෙගිඩියාවකි. මේ නිසා සිංහපුර ප්‍රදේශයේ මිතුරකුට කතා කරන සංදීප මිතුරාගේ බෝඩිං කාමරයට ගොස් මත්ද්‍රව්‍ය ලබාගෙන එන්න යැයි ඔහුව පිටත්කර හරින්නේ බැරි වෙලාවත් ‘බඩු ටිකක්.. ලැබුණොත්‘ එයින්ද සිදුවන වාසිය අපතේ හැරීමට ඇති අකමැත්ත නිසාය.
“කෝ කොටියා…? මොකෝ ඌ ආවෙ නැත්තේ…” සංදීප එවූ සිංහපුර ප්‍රදේශයේ මිතුරාට ගෝරණාඩු කළ පළමු මිතුරා තවත් යහළුවෙකු ගෙන්වා ගත්තේ ක්ෂණයකිනි.
“මෙහාට දීපන් උඹේ ෆෝන් එක. උඹ උඹේ බයිසිකලේ මෙහේ තියලා මෙයත් එක්ක ගිහින් ‘කොටියා’ ඉන්න තැන මෙයාට පෙන්නපන්. හැබැයි බොරු කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා…“
තර්ජනාත්මක ඔහුගේ ගෝරණාඩුවට මෙල්ල වූ සංදීපගේ මිතුරා කිසිවක් කරකියා ගැනීමට නොහැකිව අණට කීකරු වූයේ සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිවය.
සංදීප සිටියේ නිවසේ දොර වසාගෙනය.
“ඒයි මචං… දොර ඇරපන්…“ මත් ද්‍රව්‍යය රැගෙන ඒමට පිටත්කර යැවූ සිංහපුර මිතුරාගේ කටහඬ ඇසීමෙන් සතුටට පත්වූ සංදීප දොර ඇරියේ දහස් වරක් ප්‍රීතියෙනි.
“වරෙන් යන්න මාත් එක්ක… පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න…“ එකවර කඩාපැන සංදීපගේ ගෙලට පිහියක් තබා තර්ජනය කළ සිංහපුර මිතුරා සමඟ පැමිණි අමුත්තා ඔහුව යතුරුපැදියේ දමාගෙන ඉගිල ගියේ හොරහේන බෝධිය අසල සිරගතව සිට පැමිණි මිතුරාගේ බෝඩිං කාමරය වෙතය.
ඉන් පසුව සංදීපව රැගෙන එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි සිරගතව පැමිණි මිතුරාට ඔහුව බාර දුන් මෙම දෙදෙනා එතැනින් ලිස්සා ගියේ සිදුවීමට යන භයානක සිද්ධිය පිළිබඳ කිසිවක් නොදැනය.
“දැන් උඹලා දෙන්න පලයල්ලා. මට මූ එක්ක තනියම විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා…”
ඔවුන් දෙදෙනා පළවා හැරි සිරගතව සිට පැමිණි මිතුරා සංදීපව කාමරයට දමා ගත්තේ ගැටලුව විසඳා ගැනීමේ අටියෙනි. එවිට වෙලාව රාත්‍රී හත පමණ වී තිබිණි.
ඊට පෙර ඔහු පෙර දින ඔහුගේ බිරියට පහරදී නිවෙසින් එලවා දමා තිබුණේ මේ පිළිබඳව කිසිවකුත් දැනගත යුතු නොවන නිසා විය යුතුය. මෙයින් වැටහී යන්නේ ඔහු ඉතා සැලසුම් සහගතව මෙම ක්‍රියාව සිදුකර ඇති බවය. ඔහු සංදීපට පහර පිට පහර දෙන්නට වූයේ තම බිරිය සමඟ සම්බන්ධයක් තිබේදැයි විමසමිනි.
“උඹ මොකටද යකෝ මං නැති වෙලාවෙ මේකෙ ළගින්න ආවෙ… කතා කරපිය…” අතින් පයින් ආරම්භ වූ පහර දීම පුටුවලින් පවා සිදුවන විට සංදීප සිටියේ හොඳටම අඩපණවී කතා කරගැනීමටවත් නොහැකි තත්ත්වයකය.
සංදීපට මඳක් අමාරු වෙද්දී එන පොට එතරම් හොඳ නැති බව වටහා ගත් මිතුරා සංදීපව ත්‍රීරෝද රථයක දමාගෙන අතුරුගිරිය රෝහලට පිටත්කර හැරීමට කටයුතු කළත් ත්‍රීරෝද රථ රියදුරු එය ප්‍රතික්ෂේප කර පලා ගියේ සංදීපගේ තත්ත්වය වටහා ගැනීම නිසාය.
ඉන්පසු පැමිණි දන්නා හඳුනන වෙනත් ත්‍රීරෝද රථයක දමා සංදීප රෝහලට යැවීමට කටයුතු කළද ඔහුට තවදුරටත් මෙලොව හිඳීමට වාසනාව හිමිව තිබුණේ නැත.
එවිට වෙලාව රාත්‍රී 8.20 පමණ වී තිබිණි. එම ත්‍රිරෝද රථ රියදුරු ද සංදීප රෝහලේ දමා පලා යන්නේ ඔහු මියගොස් ඇති බව දැනගෙන විය යුතුය.
අතුරුගිරිය පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ මේ අනුවය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළේය.
මියගොස් ඇත්තේ ප්‍රභාෂ් සංදීප නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
29 හැවිරිදි සැකකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි.
අත්වල නහර තැළී පපුවට ලේ ගමනය නොමැති වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබිණි.
මත්ද්‍රව්‍ය පාවිච්චිකර විකෘති වූ මනසින් මිතුරා සැකකර ඔහු ඝාතනය කර සිරගතව සිට පැමිණි මිතුරාට සිදුවූයේ නැවත වරක් මහඋළු ගෙදර කල්දේරම් බතේ රස විඳීමටය.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නුගේගොඩ 04 ආර්.ඒ.පී. ගාමිණි ගේ අධීක්ෂණයෙන් නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, සැරයන්වරුන් වන 36709 සුකුමාරන්, 84898 හර්ෂ, 928 සුසන්ත, 74304 බණ්ඩාර යන නිලධාරීහු මෙහි විමර්ශන කටයුතු සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ