Home » හිරෙන් පැන මහවැලියත් තරණය කර කොළඹට පැන්න ‘ඊයම් කුරුල්ලා’ පොලිසියෙන් කූඩුවට

හිරෙන් පැන මහවැලියත් තරණය කර කොළඹට පැන්න ‘ඊයම් කුරුල්ලා’ පොලිසියෙන් කූඩුවට

by thanushika
June 22, 2024 12:30 am 0 comment

පොලිස් අපරාධ වාර්තා සහ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි අපරාධවලට සම්බන්ධ වන පුද්ගලන්ගෙන් වැඩි සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව නැවත සමාජගත වීමෙන් පසුවද තමන් පෙර කළ අපරාධවලම නිරත වන බව හෙළි වී ඇත. මේ අයගෙන් සියයට සියයක්ම මත්ලෝලීහු වෙති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන්ගෙන් විශාල පිරිසක් පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කළද ඉන් හොඳ මිනිසුන් ලෙස සමාජගත වන්නන්ගේ ප්‍රමාණය අඩුය. ඇතැම් මත්ලෝලීන් කොතරම් පුනරුත්ථාපනය වුවද ඉන් අනතුරුව සමාජගත වූ විට නැවත මත්ද්‍රව්‍ය සොයා යන්නේ ‘මිටින් හල කුරුල්ලන්‘ මෙනි.

මෙලෙස මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූ මත්ලෝලියකු බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වෙමින් සිටියදී එළිමහන් බන්ධනාගාරයෙන් පලාවිත් නැවත තමන්ට හුරුපුරුදු රස්සාව වන සොරකම්වල නිරතව සිටියදී බස්නාහිර පළාත දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීමේ පුවතක් පසුගියදා වාර්තා විය. ඉතා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින මේ පුද්ගලයා 31 හැවිරිදිය. ඔහු දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල සරණංකර පාරේ පදිංචිකරුවෙකි. මේ පුද්ගලයා ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව සිටින්නේ ‘ඊයම් කුරුල්ලා’ යන අන්වර්ථ නාමයෙනි.

‘ඊයම් කුරුල්ලා’ නමැති සැකකරු පසුගියදා පොලිසියට හසුවන්නේ ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. ඉන් අනතුරුව අධිකරණයෙන් වරදකරු වන ඊයම් කුරුල්ලාට සිද්ධ වන්නේ මාස 33ක සිරදඬුවමක් විඳීමටය.

මේ සැකකරු පුනරුත්ථාපනය සඳහා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරට යැවෙන අතර මාස තිස්තුනක සිරදඬුවම ඔහු තුන් මාසයකින් අවසන් කර ගන්නේ පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙන් පලාවිත් මහවැලි ගඟෙන් එතෙරව කොළඹට පැමිණීමෙන් අනතුරුවය. මොහු බන්ධනාගාරයෙන් පලා ගිය බව දැනගත් පොලිසිය ඔහු අල්ලා ගැනීම සඳහා විමර්ශනයක නිරතව සිටි අතර බන්ධනාගාරයෙන් පලා ආ සැකකරු රන් මාල කොල්ලයක් සිදුකිරීම සම්බන්ධයෙන් නැවත පොලිස් අත්අඩංගුවට පත්වන්නේ නොසිතූ ලෙසය.

එහෙත් කපටියකු වූ ‘ඊයම් කුරුල්ලා’ තමාගේ නියම නම ගම ලිපිනය වෙනුවට ව්‍යාජ නමක් පොලිසියට දී ‘ඇතුළට’ යන්නේ පොලිස් නිලධාරින් ද මුළා කරමිනි. ඔහු එවර පොලිසියට තමාගේ නම වෙනුවට දී තිබුණේ ‘සහන් මධුවන්ත’ නමැති බොරු නමකි.

ඉන් අනතුරුව ඇප මත මුදා හැරීමෙන් පසු නැවත සමාජගත වන ඊයම් කුරුල්ලා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිය අනියම් බිරිය සමඟ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී බුද්ධි නිලධරයකුට ලැබුණ තොරතුරු මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් ඔහු අල්ලා ගන්නා ලද්දේ සිය අනියම් බිරිය ද සමඟය.

‘ඊයම් කුරුල්ලා’ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන පොලිස් කණ්ඩායම හෙළි කර ගන්නේ ඔහු බ්‍රිගේඩියර්වරයකුට අයත් නිවසක් බිඳ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් වළලු 8ක්, කරාබු 4ක්, රන් මාලයක්, මඟුල් මුදු 2ක්, ටැබ් පරිගණකයක්, වටිනා අත්ඔරලෝසු 2ක්, ගණදෙවි රූපයක් 2023 වසරේ අවස්ථා පහකදී සොරකම් කර තිබූ බවයි.

‘ඊයම් කුරුල්ලා’ කළ අපරාධ ගැන සොයන පොලිස් කණ්ඩායම ඉන් අනතුරුව සොයා ගන්නේ ජල සම්පාදන ඉන්ජිනේරුවකුට අයත් නිවසකින් 2020 වසරේදී රුපියල් ලක්ෂ 05කට ආසන්න වටිනාකමින් යුත් රන් මාලයක්, රන් පෙන්ඩන්ට් එකක්, මඟුල් මුදුවක් ඔහු රුපියල් 25,000ක් සොරකම් කර ඇති බවකි. අදාළ ජල සම්පාදන ඉන්ජිනේරුවරයාගේ නිවෙස පිහිටා ඇත්තේ මොරටුව ප්‍රදේශයේය.

මින් නොනැවතුණු ‘ඊයම් කුරුල්ලා’ මොරටුව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් ද කිරුළපන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් ද සොරකම් කර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය.

බොරලැස්ගමුවේ පදිංචි යුද හමුදා බ්‍රිගේඩියර්වරයාගේ නිවෙසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ කොළඹ 12 පදිංචි පුද්ගලයකුට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදි. එලෙස සොයා ගන්නා ලද්දේ පවුම් පහමාරක් පමණ වටිනාකම සහිත රන් ගුළියකි.

ජලසම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරුවරයාට අයත් මොරටුව නිවසින් සොරකම් කරන ලද රන් ආභරණවලින් රුපියල් 2,38,000ක් පමණ වටිනා රන් ආභරණ නුගේගොඩ ස්වර්ණාභරණ මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදී කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සොයාගන්නා ලදි.

‘ඊයම් කුරුල්ලා‘ මොරටුවේදී සොරකම් කරන ලද රුපියල් තුන්ලක්ෂයක් පමණ වටිනා මෝටර් බයිසිකලය පිළිබඳව සොයා බලද්දී එම මෝටර් බයිසිකලය පිටකොටුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පිටකොටුව පොලිස් නිලධාරින් විසින් එම දිනවලම සොයාගෙන ඇති බවද විමර්ශන නිලධාරින් විසින් හෙළි කර ගැනිණි. කිරුළපනදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථය ද කිරුළපන පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

සැකකරු පිළිබඳව දිගින් දිගටම විමර්ශන සිදුකරන බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් විසින් සොයා ගන්නේ ‘ඊයම් කුරුල්ලා’ මීට පෙර සිදුකරන ලද ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් මිරිහාන සහ බම්බලපිටිය පොලිස් ස්ථාන මඟින් ඔහුට විරුදධව විමර්ශන සිදුකර ඇති අතර ‘ඊයම් කුරුල්ලා’ මේ වන විට මෙරට ලියාපදිංචි අපරාධකරුවකු (අයි ආර් සී) වන බවයි.

‘ඊයම් කුරුල්ලා’ වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිසියට භාර දී ඇත. බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් විමර්ශන අංක 03 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී. එච්. නිහාල්, සැරයන් 60161 වසන්ත, 70471 තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන 76495 ක්‍රිශාන්ත, 62111 කුමාර ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division