Home » කලාප සේවකයන්ට ගංජා බෙදූ රසකැවිලි වෙළෙන්දා

කලාප සේවකයන්ට ගංජා බෙදූ රසකැවිලි වෙළෙන්දා

by thanushika
June 22, 2024 12:30 am 0 comment
කටුනායක - ටී.කේ.ජී. කපිල

කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවකයින්ගේ ප්‍රධානතම තේරීම මෙන්ම දුප්පතාගේ මත්ද්‍රව්‍ය බවට “කේරළ ගංජා” පත් වී තිබුණි. වෙනත් මත්ද්‍රව්‍ය සමඟ සාපේක්ෂව සසඳා බලන විට මෙම “කේරළ ගංජා” වඩා ලාභදායී වීම, මිනිස් සිරුරට ඇති බලපෑම සහ ඔවුන් ගෙවන මිලට අවස්ථා කීපයකදී භාවිත කිරීමට තරම් සෑහෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබීම මෙම “කේරළ ගංජා” ජනප්‍රිය වීමට හේතු වී තිබුණි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත ඇවරිවත්ත නගරය මුල් කර ගනිමින් ශීඝ්‍රයෙන් “කේරළ ගංජා” මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම ප්‍රචලිත වී ඇති බවට කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ කොස්තාපල් 82574 අජිත් වෙත තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබුණි.

ඒ අනුව කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින්, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන, මෙම “කේරළ ගංජා” පානයට ඇබ්බැහි වූ තරුණයන් අතර ගැවසෙමින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන්නට විය.

ඒ අනුව කටුනායක ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට මෙම පොලිස් නිලධාරින් සමත් වී තිබුණි.

මෙම බෙදුම්කරු කටුනායක ඇවරිවත්ත නගරය පුරා සිය පාපැදියෙන් රසකැවිලි අලෙවි කරන මුවාවෙන් තම ජංගම දුරකතනය වෙත ලැබෙන “කේරළ ගංජා” ඇණවුම් සඳහා ලබා දීම සිදු කරමින් සිටින බව නිසැකවම සොයාගැනීමට සමත් වී තිබුණි.

ඔහු 50 හැවිරිදි කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දිනපතා මෙම “කේරළ ගංජා” පැකට් වශයෙන් සකස් කර රසකැවිලි අතර සඟවාගෙන අලෙවි කිරීමේ නියැළී සිටින අතර, ඉකුත් 4 වැනිදා ඔහු ඇවරිවත්ත නගරයේදී කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

එහිදී පොලිසිය වෙත රැගෙන ආ මෙම ජාවාරම්කරුවාගෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ප්‍රශ්න කිරීම සිදු කරද්දී ඔහුට තොග වශයෙන් මෙම කේරළ ගංජා සපයන පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ප්‍රධාන සැපයුම්කරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් විණි.

ඒ අනුව ඔහුව දුරකතන මඟින් සම්බන්ධ කර ගනිමින් ක්ෂණික ඇණවුමක් ලබා දී ඔහු ද වහාම කටුනායක ඇවරිවත්ත නගරය වෙත ගෙන්වා ගැනීමට පොලිසිය සමත් විය. එසේ පැමිණි ඔහු ද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සතුව රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා “කේරළ ගංජා” ග්‍රෑම් 750ක ප්‍රමාණයක් ද තිබී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එදිනම මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සහ ඔවුන් සන්තකයේ තිබූ කේරළ ගංජා තොගය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් පියවර ගැනිණි.

එහිදී මොවුන් දෙදෙනා වරද පිළිගැනීමට කටයුතු කර තිබූ අතර, එම නිසා මොවුන් දෙදෙනාට රුපියල් විසිහය දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කළ අතර, ඔවුන් සන්තකයේ තිබූ “කේරළ ගංජා ” තොගය රාජසන්තක කිරීමට ද නියෝග කර තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම් සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණයෙන් කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණී, කොස්තාපල්වරුන් වන 82574 අජිත්, 43099 කුමාරසිංහ, 101607 තරිඳු සහ 102291 මයුර යන නිලධරයෝ සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division