Home » දෙවසරකට පසු සස්වාමික වූ රටක්

දෙවසරකට පසු සස්වාමික වූ රටක්

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

දේශයේ ස්වාමියා යන විරුදාවලිය හිමි වනුයේ පාලනයටය. පාලනය අහිමිවූ විගස දේශයක් වැන්දඔු භාවයට පත්වන්නේය. අද ලෝක වැන්දඔු දිනය හෙයින් එවැනි ආරම්භයක් ලබා ගැනීම රිසි විය.

මිට දෙවසරකට පෙර අප්‍රේල් නව වැනිදාවක ගාලු මුවදර පිටියට පැමිණි ජනකායක්, රටේ නායකයාට පුටුවෙන් බැස යන ලෙස බල කළේය. ගාලුමුවදර පිටිය කරා විරෝධතාකරුවන් පෙළ සැදී ඇදෙන ලද්දේ ‘මුහුද හුළඟ’ වද්දා ගැනීමට නොවේ. රටේ මතුව තිබූ අර්බුදය සමඟ අසත්‍ය ද අත්වැල් බැඳ ගත් කල්හි, ජනයා විරෝධයක් කරා ගෙන ඒමට වෙනත් ආම්පන්න අවශ්‍ය නැත.

2022 වසරේ මාර්තු මාසය වන විට ඉන්ධන අර්බුදය රට ඇතුලේ හොල්මන් කරන්න පටන් ගත්තේය. යම් පමණකට පෙට්‍රල් තිබුණද කිසිදු ඉන්ධන හලක එම කාලයේ ඩීසල් තිබුණේ නැත. මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැදගත්ම ඉන්ධනය ඔය ආකාරයට හිඟ වන විට, රට ‘ඇලයට’ යෑම ආරම්භ විය. පෞද්ගලික බස් රථ ධාවනය වූයේ සියයට 25ක් පමණය. වන්දනා ගමන් ගිය සමහර ‘නඩ’ ඩීසල් නැතිකම හේතුවෙන් දින දෙකේ ගමන දින හතර පහක් අතරමඟ ගත කළේය. බස් රථ, ලොරි සහ වෑන් රියැදුරෝ ඉන්ධන පිරවුම්හල් අසල දින දෙක තුන පෝලිම් ගැසී සිටියහ.

පොහොර ද නොමැතිව අමාරුවෙන් වගා කරගත් ගොයම කපා ගැනීම සඳහා මැෂිමට අවශ්‍ය ඩීසල් නොමැතිව, ගොවියෝ හුල්ල හුල්ලා සිටියෝය. සිරිලක සිරි නැරඹීම සඳහා පැමිණි සංචාරකයෝ, සංචරණය අතරමඟ නවතා යළි මවුරට බලා ගියෝය. ඉන්ධන හිඟය ආරම්භ වූ සතියේ රජයේ සේවකයෝ ලක්ෂ එකහමාරක් පමණ වැඩට නාහ.

ඩොලර් හිඟය හේතුවෙන් තෙල් නැව් වරායේ දින නොව සති ගණන් නැංගුරම්ලා තිබිණි. ඒවාට ප්‍රමාද ගාස්තු ගෙවීමටද සිදු වුණද ඒ සඳහා ඩොලර් ද නොමැති විය.

මේ සටහන් කරන ලද්දේ ‘අරගලයට’ මාසයකට පෙර කතාවය. පිළියමක් ලෙස වාහනයේ අග අංකය අනුව සතියේ එක් එක් දින වෙන් කර ඉන්ධන ලබා දුන් කාලයක් ද විය. එහෙව් තත්ත්වය දරුණු අතට හැරී ආර්ථික අර්බුදය සපුරාම දේශපාලනය සමඟ ‘දීග කන්න’ පටන් ගත්තේය.

මැයි නවය වන විට රටම ගිනිගත් පුරයක් විය. ජුනි මාසය වන විට රටහැර යෑම හැර අන් සරණක් නැතැයි සමාජ ක්‍රියාකාරීහූ ෆෙස්බුකියේ ලියන්න පටන් ගත්හ.

‘මුල් අදියර සුළි සුළඟක් – අදියර දෙක සුනාමියක්’ යැයි කියමින් තව පිරිසක් හොරු අල්ලන්ට වලි කෑහ. හොරා කෑ සල්ලි යළි රටට ගෙන ඒමේ ව්‍යාපෘතියක් එක් පිරිසක් දියත් කළේ මේ අතරේය. ඩොලර් ට්‍රිලියන දහසක මුදලක් මේ රටේ පාලකයෝ සොරකම් කර ඇතැයි සඳහන් යෝධ බැනරයක් ගාලු මුවදොර අරගල භුමියේ පිරිසක් විසින් ඔසවාගෙන යන ලදී. ඒ අතර සරසවි ඇදුරෝ සහ පුද්ගලික අංශයේ කළමනාකරණ මට්ටමේ තනතුරු හොබවන පිරිස් ද වුහ. මේ මුදල ආපසු ලබාගත යුතු බවට බැනරය ඔසවාගෙන ගිය පිරිස පමණක් නොව දුෂණ විරෝධී සියලු දෙනා කියන්නට විය. ඩොලර් ට්‍රිලියන දහසක් යනු අති විශාල මුදලකි. එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදනය ද ඩොලර් ට්‍රිලියන 23කි. ඔහොම කතා අතරේ රටේ දේශපාලන ස්ථාවරභාවය පතුල දක්වාම ඇද වැටී තිබුණේය. ශ්‍රී ලංකා ආර්ථිකය පණ ගසන ලද ප්‍රධාන සාධකයක් වූයේ විදේශ ප්‍රේෂණ හෙවත් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර්ය. ඉන්ධන, ගෑස් ආදිය ලබාගැනීමට අවශ්‍ය ඩොලර් රටේ හිඟව තිබූ ඒ කාලයේ ‘ඩොලර් එවන්න එපා. පාලකයෝ හොරා කනවා’ කියා ජවිපෙ ප්‍රධාන පිරිසක් පොළොවේ පස් කෑහ.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන් එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 703ක් විය. 2021 සැප්තැම්බර් මාසයේදී එය ඩොලර් මිලියන 353ක් දක්වා පහළ බහින්නේ අර ඉල්ලීමට ජනතාව කන්දුන් බැවිනි. ණයවර ලිපියක් විවෘත කිරීමට නොහැකිව ළතැවුණු රට, බිමට පහත් වූයේ ඒ සමඟය. එවන ඩොලර් කාගේ හෝ ගිණුමකට බැර වන්නේය. ඒ හැර එම ගිණුමේ සල්ලි කවුරුවත් ගන්නේ නැති බව දැන දැන වුවද මේ මුසා බස් ජනතාවගෙන් ඇතැම් පිරිසක් විශ්වාස කළහ.

ඉඳහිට වුවද තෙල් නැවකට ගෙවීමට ලැබුණු ඩොලර් ප්‍රමාණය නැතිවූ හෙයින් රටම එකවර ඇන හිටියේය. ඔය වැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කර රටේ පාලනය මුළුමනින්ම අකර්මණ‍ය කිරීමේ වෑයමක් ඇතිව තිබුණේය. පාලනය නොමැති රට යන්නේ අයාලේය. ‘ස්වාමියා මළ’ තත්ත්වයක් කරා දේශය ඇදී යද්දී, සමහරෙක් ඒ දෙස ‘ආශාවෙන්’ බලා සිටියහ. මැයි නවවෙනිදා ගිනිගත් රට, ඉතිරි දින කිහිපයේ අළු දුලී කර දැමීම ඔවුනගේ අසීමිත ආශාව විය.

මේ ගිනි ගොඩ භාර ගන්න කිසිවකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තනි ආසනයක් සහිතව පාර්ලිමේන්තුවේ සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ, රටේ අගමැති වන්නේ එහෙව් කාලයකය. 2022 ජුලි නව වැනිදා පිරිසක් වීථි බැසීමෙන් සහ විරෝධතා පවත්වමින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත්හ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රටින් පිටව යන්නේ උද්ඝෝෂණ මධ්‍යයේ ජිවිත ආරක්ෂාව පතාය. සිංගප්පුරුවේ සිට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු යොමු කර සිටියේය. 2022 ජුලි 13 වැනිදා වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ වැඩ භාර ගත්තේය.

එදා සිට තවම ගතවී ඇත්තේ වසර දෙකක් පමණය. එතැන් සිට කතාව ඔබේ දෑස මානයේ ඇත්තේය. එදා රට ගොඩ ගන්න තරම් හැකියාවක් නොමැති නිසා පසු බැස ගිය අයගේ අද කියවිලි නම් නිමක් නැත. ශ්‍රී ලංකාව යළි සස්වාමික වන්නේ ‘පාලනයක්’ ඇතිවීම හේතුවෙනි. වැන්දඹු වූ දේශයක්, වීදි ළඳක් බවට පත්වීමේ ඉඩ කඩ අහුරා දැන් සාඩම්බරය පෙරදැරිව වාසය කරන්නී, දෙවසරක පාලනයක අග්‍ර ඵලය ලෙසය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division