ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කරවීමෙන් පසු ශ්‍රි ලංකාවේ බෞද්ධ ආගමික ප්රබෝධය ඉතා ඉහළින් වැජඹුණි. බෝධීන් වහන්සේ එසේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව තම ආගමික කටයුතු වඩාත් අර්ථවත් ලෙසින් සිදු කළහ. ගස් ගල් වන්දනාවට හුරු වී සිටි ජනතාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට එසේ ගෞරවාන්විත උපහාර වන්දනාමාන කරන්නට වූයේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන ගෞරවයක් ලෙසිනි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමෙන් පසු අනෙකුත් බෞද්ධ රටවල් ශ්‍රී ලංකාව හා දැඩි ආගමික සංස්කෘතික හා සමාජ සම්බන්ධයන්ගෙන් වර්ධනය විය.
අනෙකුත් බෞද්ධ රටවල් අතර විවිධ ආගමික හුවමාරුන් පවා සිදුවිය. ඒ අතර මියන්මාරය තායිලන්තය වැනි රටවල් මෙන්ම ඉන්දියාවටත් ඇතැම් අවස්ථාවලදී බුදු දහම එරට ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව උපකාරී විය.
වරෙක ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට දළදා වහන්සේගේ ආකෘතියක් සපයන ලදී. තායිලන්තයට ශෛලමය බුදු පිළිම සපයන ලදී.
මේ ලෙසින් අවස්ථා කීපයකදී වරින් වර ශ්‍රී ලංකාව සහ අනෙකුත් බෞද්ධ රටවල් අතර විවිධාකාර බෞද්ධ අනන්‍යතා හුවමාරු වීම සිදුවිය.
එසේ වුවත් බෞද්ධාගමේ කිසිදු ආභාසයක් නොලැබූ මැද පෙරදිග මෙන්ම ආසියානු මහාද්වීපයේ නොවන රටවල් රැසක්ද තිබේ.
ඒ අතර මහාද්වීපයක් ලෙස සලකන ඔස්ට්‍රේලියාව විශේෂිතය. කිසිදු අවස්ථාවක රාජ්‍ය මැදිහත් වීමක් මත ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර බුදු දහමේ හුවමාරුවක් සිදු වූ බවක් වාර්තා වන්නේ නැත.
අනෙකුත් මහාද්වීපයන්ගෙන් වෙන්ව හුදකලාව පිහිටි ඔස්ට්‍රේලියාව යනු බුදු දහමේ ආභාසය කිසිසේත්ම නො ලැබූ රාජ්‍යයකි.
මේ රාජ්‍යයට වරින්වර පැමිණි දූත කණ්ඩායම් විසින් බෞද්ධාගම සම්බන්ධව අදහස් ගෙන හැර දක්වන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපවත් වී වදාළ සෝම හිමියන් විසින් බෙරික් නගරය ආසන්නයේ විහාරස්ථානයක සිට බෞද්ධයන්ගේ ආගමික වතාවත් සිදු කරන ලදී. ඊටත් පෙර 1970 දශකයේදී ඉයන් ග්‍රීන් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයා විසින් බුදු දහමේ හරය හා දර්ශනය සොයා ගොස් ලාමාවරුන්ගේ ආගමික සම්ප්‍රදායට මුල් තැනක් දෙමින් බුදු දහම අනුගමනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු බෙන්ඩිගෝ ප්‍රදේශයේ අක්කර 200කට අධික වපසරියක් බුදු දහමේ පණිවුඩය වෙනුවෙන් යොදා ගත්තේය.
ඔහු ඇතුළු පිරිසක් ටිබේට් සම්ප්රදායයේ ලාමාවරුන්ගේ බුදු දහම දැන උගත්තේය. ඔවුහු බෞද්ධයෝ වූහ. පසුව ඔහු අක්කර 220ක් පමණ වන විශාල භූමි භාගයක් බොදු කටයුතු පිණිස වෙන් කළේය. ඒ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් වන මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් 130ක් පමණ දුරකින් පිහිටි ප්‍රාදේශීය නගරයක් වන බෙන්ඩිගෝ ප්රදේශයේය. බෙන්ඩිගෝ යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති විශාලත්වයෙන් දෙවන ප්‍රාදේශීය නගරයකි. එම නගරය අතීතයේ රන් ආකර තිබුණු ප්‍රදේශයක් වන අතර වර්තමානයේ ද රන් ආකර සහිතව ඇති රන් ගම්මානයකි. එය බෞද්ධයන්ට වැදගත් වන්නේ දකුණු අර්ධ ගෝලයේ විශාලම බෞද්ධ ස්තූපය ගොඩනඟන ලද ස්ථානය වීමය. එමෙන්ම මැණික් ගලින් නිර්මාණය කරන ලද ලොව විශාලතම බුදු පිළිමය නිධන් කර ඇති ස්තූපය වන්නේද එයයි.
එම බුදු පිළිමය රටවල් 38ක නගර 120ක ප්‍රදර්ශනය කරන ලදී. එය 2012 වසරේ ශ්‍රී ලංකාවට රැගෙන විත් මහජන ප්‍රදර්ශනයට තබන ලදී. ඉන් පසුව ථෙරවාදී බෞද්ධ වත් පිළිවෙත් සිදු කරන්නට ඉයන් ග්‍රීන් ඇතුළු පිරිස විසින් එම සිද්ධස්ථානයේම භූමි පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඒ අනුව බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරය බිහි විය. එහි සභාපතිධුරය දරන දීප්ත වික්‍රමරත්න එම විහාරයේ බොහෝ බෞද්ධ කටයුතු වෙනුවෙන් උර දුන්නේය. නිරතුරුවම එහි ථෙරවාද කටයුතු වෙනුවෙන් සහාය දැක්වූවේය. එහි විහාරස්ථානයක් ගොඩනැඟුවේ ඉන් පසුවය. ලෝකයේ බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් ඒ වෙත එන්නට වූයේ එයින් පසුවය.
එම විහාරස්ථානයේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කරන්නට කටයුතු කළ යුතු බවට තීරණය වූයේ මේ අතරතුරේදී ය. ඒ අනුව බෝධිධම්ම විහාර කමිටුව විසින් එහි ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය පිණිස එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ ආචාර්ය පල්ලේගම සිරි නිවාස හිමියන්ගේ ආශිර්වාදය අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකූරයක් 2019 වසරේ ඔක්තෝබර් මස එම විහාරස්ථානයට වැඩම කරවන ලදී.
ඒ සමඟම බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම වැටුණි. ඔස්ට්‍රේලියාවට වැඩම කළ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය එරට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළි ගන්නා ලදි. ඔස්ට්‍රේලියානු රජයේ මාධ්‍යවල පවා ඒ පිළිබඳව විශේෂයෙන් පළ කර තිබුණි.
වසර 2500ක් පැරණි වෘක්ෂයක් ශ්‍රී ලාංකිකයන් විසින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා දැනගත්තේ එම අවස්ථාවේදී ය. එවන් වෘක්ෂයක අංකූරයක් එරට රෝපණය කරන්නට හැකිවීම ගැන එම ජාතිකයෝද උදම් ඇනූහ.
වසර 2500කට අධික කාලයක් රැක ගත් වෘක්ෂයක අංකුරයක් දැක බලා ගැන්මට හැකිවීම ගැන ඔවුහුද සතුටු වූහ. එම නිසා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය වසරකට අධික කාලයක් යන තුරු ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම ආයතනය විසින් විසින් රැක බලා ගන්නා ලදී. බෙන්ඩිගෝ යනු වසරකට ලක්ෂයකට අධික පිරිසකගේ ගෞරවයට වන්දනාවට පාත්රවන ස්ථානයක් වන හෙයින් එම ස්ථානයට පැමිණෙන බෞද්ධ නොවන හා ශ්‍රී ලාංකික නොවන බහුතර ජනතාවට ශ්‍රී ලාංකීය කලාශිල්ප කැටයම් දැක බලා ගැනීම පිණිස ලංකාවේ කලාකරුවන් අතින් නිමැවුණු කලා කෘති එහි අන්තර්ගත කිරීමද බෝධිධම්ම විහාර කමිටුවේ අරමුණ වී ඇත.
ධර්මාශෝක රජ දවස පවා ඔස්ට්‍රේලියාවට නොලැබුණු බුදු දහමේ ආභාසය හොඳින් ලබා දෙන්නට දරන මේ වෑයමේ තවත් පිටුවක් ඒ අනුව පෙරළුණි. ඒ පසුගියදා ජය ශ්‍රී මහ බෝධි අංකුරය බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරයේ රෝපණය කිරීමෙනි.
ඒ වෙනුවෙන් පැවැත්වුණු රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්, ලංකාරාමාධිකාරී රලපනාවේ ධම්මජෝති නාහිමියන්, අභයගිරි විහාරාධිකාරි ආචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමියන්, මිරිසවැටිය විහාරාධිකාරි වැලිවිට සෝභිත නාහිමියන් ප්රමුඛ නාහිමිවරු රැසක් වැඩම කළහ. වියට්නාම කුට්ඨාන නාහිමි, කාම්බෝජ භික්ෂූන්වහන්සේ මෙන්ම ටිබෙට් ලාමාවරුන්ද මෙම අවස්ථාවට වැඩම කළහ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස්වරයා ඇතුළු දූත පිරිසක්ද පැමිණි අතර ඔස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් විශේෂ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක්ද සහභාගි වූහ. එසේම වියට්නාම, චීන, තායිලන්ත, ලාඕසය ඇතුළු රටවල බෞද්ධ දූත පිරිස්ද මේ අවස්ථාවට සහභාගි විය. ජීවිතයේ එක්වරක් දැක ගැන්මට හැකිවන මේ විශේෂිත පුණ්‍යකර්මයට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහ එරට ජාතිකයින් ද ඇතුළුව 3000කට අධික පිරිසක් සහභාගි වීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස් හා බෙන්ඩිගෝ බටහිර පාර්ලිමේන්තු මන්ත්‍රී මාරි එඩ්වර්ඩ් විසින්ද විශේෂ සුබ පැතුම් එක් කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සංස්කෘතික ආගමික කටයුතු හා බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක මහතාද සහභාගි විය. පැමිණ සියලු අමුත්තන් මහ පෙරහරකින් සභාවට කැඳවාගෙන එන ලදී. එම පෙරහරට බෞද්ධ සම්ප්‍රදායානුකූලව සේසත් මුරායුද යොදාගෙන තිබූ අතර අලංකාර නර්තනයන්ගෙන්ද සමන්විත විය. ඊට අමතරව වියට්නාම, කාම්බෝජ, ටිබෙට් ඇතුළු සෙසු බෞද්ධ රටවල් රැසක නර්තන සම්ප්‍රදායන් ද ඊට එක් කර තිබුණි. උත්සව සභාවේදී ද කාම්බෝජ ටිබෙට් ඇතුළු රටවල බෞද්ධ අංගෝපාංගයන් ඉදිරිපත් කරන ලදී.
සිංහල බෞද්ධ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංගයන් හා විවිධ බැති ගී ගායනාවලට අමතරව එම සියලු අංගෝපාංගයන් පැමිණි සියලු දෙනාගේ සිත් සතන් සතුටු කළේය.
උත්සව සභාව අවසන් වීමෙන් පසු බෝධිරෝපණය සිදු කරන ලදී. බෝධි රෝපණය සිදුකරන ලද්දේ අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු සියලු මහා සංඝරත්නයේත් ඔස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙනි.
ඔස්ට්‍රේලියානු මහාද්වීපයට ලද මේ දහම් පණිවුඩය නිසා එරට බුදු දහම චිරාත් කාලයක් රඳා පවතිනු ඇත. ඒ බෙන්ඩිගෝ ග්‍රේට් ස්තූප යන්න අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසිනි.
තාරක වික්‍රමසේකර