ආයුර්වේදයේ මෙම රෝගය මුත්‍රා අශ්මරී ලෙස විස්තරය කළ හැකිය. මෙය මුත්‍රාවාහී පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයකි. වකුගඩු මුත්‍රානාළ, මුත්‍රාශය හා මුත්‍රා මාර්ගය යන අවයව මුත්‍රාවාහී පද්ධතියට අයත් වේ.
මෙම අවයව ගත් කල මුත්‍රා ආශ්මරී බහුලව ඇති වන්නේ වකුගඩු සහ මුත්‍රාශයෙහිය. ඇතැම් විට වකුගඩුවල හටගන්නා මුත්‍රා ගල් මුත්‍රා නාළ වෙත ප්‍රවේශ වී මුත්‍රා නාළ අවහිර වීමද සිදුවිය හැකිය. එවැනි තත්ත්වවලදී වකුගඩුවලට ඇතිවන අහිතකර තත්ත්ව නිසා විවිධ සංකූලතා ද ඇතිවිය හැකිය.
මුත්‍රාවාහී පද්ධතිය යනු ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය බැහැර කරන බහිස්‍රාවී පද්ධති අතුරින් එකකි. මෙම පද්ධතිය අපගේ නීරෝගි පැවැත්ම උදෙසා ඉතාම සංකීර්ණ වූ අති මහත් කාර්යභාර්යයක් ඉටු කරනු ලබයි.
වකුගඩුවලින් කෙරෙන ප්‍රමුඛතම ක්‍රියාව වන්නේ රුධිරයේ අඩංගු දියර පෙරීමයි. මෙම පෙරීමේ ක්‍රියාවලිය මඟින් ශරීරයෙන් බැහැර කළ යුතු වූ ද, නීරෝගි පැවැත්මට අහිතකර වූද බහිස්‍රාවී ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරනු ලබයි.
එයට අමතරව රුධිර පීඩනය පාලනය, රුධිරයේ නියත ආසෘති පීඩනයක් පවත්වාගෙන යෑම, සිරුරේ අයන සහ විටමින් වර්ග නියාමනය, රුධිරයේ පී.එච්. අගය පාලනය කිරීම රුධිර පරිමාව පාලනය කිරීම වැනි සංකීර්ණ තත්ත්වයන් පාලනය කරනු ලබයි. වකුගඩුවල මුත්‍රා අශ්මරී හෝ වෙනයම් රෝග තත්ත්වයක් ඇතිවී එම මෙහෙවරට බාධා ඇතිවුවහොත් සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම ඒ අනුව වටහා ගත හැකිය.
මුත්‍රා ආශ්මරී රෝගය වයස අවුරුදු 20 -50 අතර වයස් සීමාවන්හිදී බහුලව දක්නට ලැබේ. කාන්තාවන්ට වඩා පුරුෂ පක්ෂය අතර රෝගය හටගැනීමේ ප්‍රවණතාවයක් ද පෙනේ. ඝර්ම කලාපීය රටවල සහ ඝර්ම කලාපීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර බහුලව මෙම රෝග තත්ත්වය දක්නට ඇත.
නවීන වෛද්‍ය විද්‍යාත්මක විස්තර කිරීම් අනුව මුත්‍රා අශ්මරී හට ගනු ලබන්නේ වකුගඩුවලින් පෙරෙන මුත්‍රාවල අඩංගු බහිස්‍රාවී ද්‍රව්‍ය අවක්ෂේප ලෙස තැන්පත් වී ඝන බවට පත් වීමෙනි. එම බහිස්‍රාවී ද්‍රව්‍යවල අඩංගු රසායනික සංඝටක අනුව විවිධ රසායනික සංයුතීන්ගෙන් සමන්විත මුත්‍රා ගල් හට ගනු ලැබේ. මුත්‍රා ආශ්මරී ඇසුරින් සියයට 75ක් පමණ කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් ෆොස්පේට් සංයුතියෙන් සකස් වී ඇත.
මෙසේ අවක්ෂේප තැන්පත් වන්නේ සියුම් පිටි වැනි ද්‍රව්‍යයක් ලෙසය. පසුව මෙම පිටි අවක්ෂේපය වැලිකැට වැනි ස්වභාවයකට පත් වී එකට එක්ව තනිව හෝ කිහිපයක් ලෙස කැට බවට පත් වේ.
එසේ සකස්වන මුත්‍රා ආශ්මරී අතරින් සමහරක් මතුපිට සියුම් ස්වරූපයක් ගනී. ඇතැම් ඒවා තියුණු තුඩු සහිත රළු මතුපිටක් ඇති ඒවා වේ.
මුත්‍රාගල් සකස් වී ඇති රසායනික සංඝටකවල ස්වභාවය අනුව ඒවායේ වර්ණය ද විවිධාකාරය. දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේ නම් මේ කුඩා අශ්මරී කැට මුත්‍රා සමඟ පිටවී යයි. එසේ නොවුණහොත් එම ගල් වකුගඩුවල හෝ මුත්‍රාශයේ ඇති වී ක්‍රමානුකූලව වර්ධනය වී ක්‍රමයෙන් පීඩාකාරී අවස්ථා ඇති කරයි.
•රෝග ලක්ෂණ
මුත්‍රා අශ්මරී රෝගයට අදාළ පොදු ලක්ෂණ ඇතිවාක් මෙන්ම අශ්මරී පවතින ස්ථාන අනුව ද රෝග ලක්ෂණ වෙනස් වේ.
පොදු ලක්ෂණ වශයෙන් නිරන්තරයෙන් ඇතිවන මුත්‍රා දාහය, මුත්‍ර එළු ගඳ වැනි ගඳකින් යුක්ත වීම, මුත්‍රා තද පැහැයක් ඇති වීම, ඇතැම් විට මුත්‍රා රතු පැහැයෙන් යුක්ත වීම, මුත්‍රාවල ඝනත්වය වැඩිවීම සිදුවිය හැකිය.
ඇතැම් විට නිතර නිතර කඨි ප්‍රදේශයේ වේදනා ඇති වේ. මුත්‍රා නාළවල ගල් පවතින විට ඉහළ සිට ඉකිළි ප්‍රදේශයට වේදනාවක් ඇති වේ. මුත්‍රාශයේ පවතින විට යටි බඩ ප්‍රදේශයේ බර බව හා වරින් වර වේදනාකාරී බව ඇතිවීම, මුත්‍ර පිටවීමේ දී දැවිල්ල ඇතිවීම සිදු වේ. ඇතැම් විට වකුගඩුවල හට ගන්නා ගල් කිසිදු සැලකිය රෝග ලක්ෂණයක් නොපෙන්වා වකුගඩු සෛල තුළ වර්ධනය වී බරපතළ වකුගඩු රෝගී තත්ත්වයන් ද ඇති කරයි.
ආයුර්වේදයේ අශ්මරී ප්‍රභේද 05කි.
වාතජ අශ්මරී
පිත්තජ අශ්මරී
කඵජ අශ්මරී
සන්නි පාතජ අශ්මරී
ශුක්‍ර අශ්මරී
මෙම එක් එක් ප්‍රභේදයට අයත් ලක්ෂණ ද වෙන් වෙන්ව පෙන්වා දී ඇත. එමෙන්ම ආයුර්වේදයේ අශ්මරී රෝගය මහා රෝග ගණයේ රෝගයක් ලෙස හඳුන්වා දී ඇත. මහා රෝග යනු ත්‍රිදෝෂයම කෝප කරන්නා වූත් ධාතු දූෂණය කරන්නා වූත් නිට්ටාවටම සුවකළ නොහැකි රෝගයන්ය. ඒ අනුව මුත්‍රා අශ්මරී රෝගය ද මහා රෝග ගණයට ඇතුළත් විය හැකිය.
මුත්‍රා අශ්මරී රෝගය ශල්‍ය කර්මවලින් සහ ඖෂධවලින් නිට්ටාවටම සුව කළ නොහැක්කේ එබැවිනි.
•අශ්මරී වැළඳීමට හේතු
දිනපතා අවශ්‍ය පමණ ජලය භාවිත නොකිරීමත්, නිතරම මුත්‍රා ආවේග දරාගෙන සිටීමත්, හිරුඑළියට නිරාවරණය වෙමින් අධික ලෙස දහදිය පිටවන කාර්යයන්හි නියැළී සිටීමත් රෝගය වැලඳීමට ප්‍රධාන වශයෙන්ම හේතු වේ.
මධුර වූත්, ශීත වූත්, සෞම්‍ය වූත්, සෙම වඩන්නා වූ ආහාර නිතර අනුභව කිරීමත්, ඒවා දහනය වීමට ප්‍රමාණවත් පරිදි ව්‍යායාමයේ නොයෙදීමත් නිසා ශරීරියේ සප්ත ධාතු පෝෂණය වීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවී අතුරුඵල ලෙස මුත්‍රා අශ්මරී හටගනී.
එමෙන්ම කටුක, උෂ්ණ, අම්ල, ලවණ, රසගුණ සහිත ආහාර නිතර පරිභෝජනය නිසා ඇතිවන වාත කෝප තත්ත්වයන් නිසා මුත්‍රා ව්‍යුහයේ ඇතිවන කඵ දෝෂයෙන් ආලිප්ත වූ අවක්ෂේප වාතයේ රූක්ෂ හා වියළි ස්වභාවයන් නිසා ඝන බවට පත් වී මුත්‍රා ගල් වශයෙන් සකස් වේ.
•අශ්මරී ප්‍රතිකාර
මුත්‍රා අශ්මරී රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන කල්ගත වුවහොත් වකුගඩුවල ඇතිවන ගල් වර්ධනය වී වකුගඩුවලට බරපතළ හානි සිදුවී වකුගඩු අකර්මණ්‍ය වී මරණය වුවද සිදුවිය හැකිය. එහෙයින් මෙම රෝගයේ මුල් අවස්ථාවේදීම නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ආයුර්වේද චිකිත්සා විධි අනුව ඖෂධ ප්‍රතිකාර සහ ශල්‍ය චිකිත්සාව ලෙස ප්‍රතිකාර ක්‍රම දෙවදෑරුම් වේ. ඖෂධ ප්‍රතිකාරය ආකාර දෙකකින් සිදුකරනු ලැබේ. එනම් අශ්මරී භේදන ප්‍රතිකාර සහ අශ්මරී පාතන ප්‍රතිකාර වශයෙනි.
අශ්මරී භේදන ප්‍රතිකාර යනු ඖෂධ ප්‍රතිකාර මඟින් අශ්මරී කැට කුඩා කුඩා කැබලිවලට බිඳ දිය කර මුත්‍රා සමඟ පිට කර හැරීමට සලස්වන ප්‍රතිකාර විධියයි. අශ්මරී පාතන යනු බිදෙන අශ්මරී කැට දියවී පාතනය වීම හෙවත් මුත්‍රා සමඟ බැහැර වීමට සැලැස්වීමය.
මේ පියවර දෙක සඳහා බොහෝ ඖෂධ සංයෝග ආයුර්වේදයේ අන්තර්ගතව ඇත. ඒවා වෛද්‍ය අධීක්ෂණය හා උපදෙස් මත පමණක් ලබා ගත යුතු වේ.
මෙසේ භේදන හා පාතන ක්‍රම මඟින් බැහැර කළ නොහැකි මුත්‍රා අශ්මරී ශල්‍ය ක්‍රම මඟින් ඉවත් කළ යුතු බව ආයුර්වේදයේ පැහැදිලිව පෙන්වා දී ඇත. එසේ ශල්‍ය ක්‍රම මඟින් ඉවත් කරන ආකාරය මින් වසර තුන් දහසකට පෙර ලියැවුණ ආයුර්වේද සම්ප්‍රදායට අයත් මූල ග්‍රන්ථයක් වන ශුස්සෘත සංහිතාවෙහි විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
•පත්‍ය අපත්‍ය ආහාර
අශ්මරී රෝගයෙන් පෙළෙන රෝගීන් උෂ්ණ තීෂ්ණ කටුක රූක්ෂ ආහාරපාන අත් හළ යුතුය. ඒ අනුව තක්කාලි, අන්නාසි, විනාකිරි, අච්චාරු, ලුණු දෙහි වැනි ආහාර නුසුදුසුය. ඉස්සෝ, කකුළුවෝ, බල මාළු, කෙලවල්ලො වැනි උෂ්ණාධික සත්ත්ව ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය ද අහිතකරය.
වර්ණකාරක, සුගන්ධකාරක, රසකාරක ආදී විවිධ රසායනික සංයෝග අඩංගු ආහාර නුසුදුසුය. මධ්‍යපානය ඉතාම අහිතකරය.
තැඹිලි, කුරුම්බා, පොල් වතුර පානය සුදුසුය. කැකිරි, පිපිඤ්ඤා, දියලබු, සීනි කැකිරි, කොමඩු, අළුපුහුල්, දිය හබරල, කෙකටිය මල්, නීරමුල්ලිය, පොල්පලා, ඉරමුසු, දියමෙනේරිය, දිය තිප්පිලි, යන ආහාර ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන් ද බෙහෙවින් හිතකර වේ. එමෙන්ම දිනකට පිරිසිදු ජලය ලීටර දෙකක්, දෙකහමාරක් පමණ පානය කිරීම ද අත්‍යවශ්‍ය වේ. රෝගය නොවැලඳී ජීවත් වීම සඳහාත් මෙම උපදෙස් ඉතාම වැදගත්ය.
ටානියා මෝසස්