Home » රටේ බුද්ධි පිපාසය නිවන නිහඬ ප්‍රතාපය

රටේ බුද්ධි පිපාසය නිවන නිහඬ ප්‍රතාපය

එච්.ඩී. ප්‍රේමසිරි

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

සරසවි ප්‍රකාශන සමාගමේ අධිපති, සම්මානනීය චිත්‍රපට, නාට්‍ය හා ටෙලි වෘත්තාන්ත නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරිගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් උපහාර උලෙළක් ‘සරසවි ප්‍රේමසිරි’ නමින් ජුනි 25 වැනිදා සවස 6.30ට BMICHහිදී පැවැත්වේ. චිත්‍රපට 17ක්, වේදිකා නාට්‍ය 2ක් හා ටෙලි කතා 2ක් නිෂ්පාදනය කර ඇති එච්.ඩී. ප්‍රේමසිරි පිළිබඳ බණ්ඩාර ඇහැළියගොඩ විසින් සම්පාදනය කළ ‘සරසවි ප්‍රේමසිරි’ කෘතිය ද එදින ජනගත කෙරේ.

චිත්‍රපට ගණනාවක මංගල දර්ශනයෙන් පසු අප අධ්‍යක්ෂවරයාට සුබ පතන්නට යන විට පසෙකට වී සිටින හපුතන්ත්‍රීගේ දොන් ප්‍රේමසිරි දැක ඇත. මඳ සිනාවකින් නිහඬව සිටින ඒ චාම් මිනිසාගේ සුවිසෙස් භූමිකාව ගැන බොහෝ දෙනකු දන්නේ නැත. මා ඇතුළු බොහෝ දෙනකු සුබ පතන්නේ අධ්‍යක්ෂවරයාට පමණය. විශාල දේහධාරියකු නොවුණත් පොත් සාප්පු 33කින් බුද්ධි පිපාසය නිවන යෝධයා ඔහු ය. ඕනෑම සරසවි පොත්හලක ඔහු දකින කෙනකු සිතන්නේ ඒ පාඨකයකු හෝ කළමනාකාර සහායක තනතුරක් දරන්නකු ලෙසය.

“පඩි පෙළක් නැඟගෙන යනවා වගේ දෙයක් වුණා තමයි. ඒ වුණාට එහෙම ලොකු සැලසුම් ඇතුව පටන් ගත්තු දෙයක් නෙවෙයි. දොස්තර කෙනෙක් වෙන්න හිතාගෙනයි විද්‍යා විෂය ධාරාවෙන් හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කළේ. ඒ කාලයේ ප්‍රායෝගික පරීක්ෂණවලට පේරාදෙණි විශ්වවිද්‍යාලයට යන්න ඕන. සතියක්ම එහෙ ප්‍රායෝගික පරීක්ෂණ තිබුණා. අපි අමතර පන්ති ගියේ නැහැ. ඒ කාලයේ අපි ඉස්කෝලෙන් ගුරුවරු ලබා දුන් දැනුම මතයි විභාග සමත් වුණේ. ඉතින් මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු කීපයක් මදි වුණා.”

ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළට පෙනී සිටි ප්‍රේමසිරි යෞවනයාට ඉතා පහසුවෙන් ශිෂ්‍ය ගුරු තනතුරක් ලබා ගත හැකිව තිබිණි. එකල රුපියල් සියයේ වැටුපට විද්‍යා ශිෂ්‍ය ගුරු පත්වීම් ලබන්නෝ මහරගම ගුරු අභ්‍යාස විදුහල් විභාගයට පෙනී සිට පුහුණුව ලබා ගත යුතුය.

ප්‍රේමසිරිට ඒ ගුරු රස්සාවට කැමැත්තක් නොතිබිණි. එතෙක් ඉගෙන ගත්තේ පියාගේ දුර ඥාතියකු වූ වීරකෝන් මුදලාලිගේ අනුග්‍රහයෙනි. ඒ නිසා කෙසේ හෝ නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට ඕනෑ යයි මුරණ්ඩු වන්නට හයියක් නොතිබිණි.

“අම්මේ මට බඩගිනියි.” කියන්නට තරම් කාලයක් අම්මා සිටියේ ද නැත. අම්මාගේ මුහුණ යාන්තමට මතකය. හොරණ මීවනපලානේ කළුපහන රබර් වත්ත අසල කඩයක් කළ තාත්තාගේ පාරිභෝගිකයන් වූයේ වත්තේ සේවකයන්ය. අම්මාගේ මරණයේ කටයුතු කුඩා ප්‍රේමසිරිට මතක නැත.

පූර්ව ජ්‍යෙෂ්ඨයේ සිටි පොඩි මාමා හා හොරණ තක්ෂිලාවේ ප්‍රාථමිකයට යනවා මතකය. ඒ වන විට තාත්තා පොකුණුවිට හන්දියේ කඩයක් දමා තිබිණි. ඒ නිවෙස ඉදිරිපිට රබර් ෂීට් මිලදී ගන්නා කඩයකි. ප්‍රාථමිකයේ ගුරුවරයකු මිතුරු කතාබහට ඒ කඩයට පැමිණීමේ පුරුද්දක් තිබිණි. ඒ ගුරුවරයා එහි සිටින විට කුඩා ප්‍රේමසිරි ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ කවි කියන්නේ රෙඩ්ෆියුෂන් යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ අයුරිනි. මේ ළමයාට ඕන වූයේ සිරිමත් හොඳ ළමයකු වග ගුරුවරයාට හැඟෙන්නටය.

“ප්‍රේමසිරි ලස්සනට පාඩම් කරන හොඳ ළමයෙක්.” ගුරුවරයාගෙන් ඒ ප්‍රශංසාව ද අඩු නැතුව ලැබුණේ පන්තියේ ළමුන් ඉදිරිපිටය.

තාත්තාගේ කඩ කෙරුවාවට පොකුණුවිට හරි ගියේ නැත. පුතුන් දෙදෙනාත් දියණියත් රැක බලා ගන්නට මියගිය භාර්යාවගේ ඥාති සහෝදරියක් විවාහ කරගත් තාත්තා අම්මාගේ ගමේ ගලේ පන්සල අසල කඩයක් දැමීය. කාරුණික තැනැත්තියක වූ පුංචි අම්මාට දරුවන් සිටියේ නැත.

තාත්තාගේ කඩය අසලම වෙද මහතකු වූ මාමා කෙනෙකුගේ බෙහෙත් සාප්පුවක් ද තිබිණි. මේ මාමා දේපළ ප්‍රශ්න මතු කරන නිසා මාහිංගල ගමට ගොස් කඩයක් පටන් ගත්තේ දුම්කොළ ව්‍යාපාරයක් ද සමඟය. ලොකු දුම්කොළ මිටි ආවේ පාදුක්කේ තොග කඩයකටය. තාත්තා දුම්කොළ මාහිංගලට ගෙනෙන්නේ ලොරියකිනි. මල්ලීත් නංගීත් කැටිව පා ගමනින් වේරගල පාසලට ගිය ප්‍රේමසිරි දෙකේ පන්තියේය. එහෙත් මේ ළමයාට ද තාත්තාට මෙන්ම මහ පිරිත් පොතේ තුන් සූත්‍රයම කටපාඩම් කරන්නට වුවමනා විය.

වේරගල පාසල තරමක් ලොකුය. පාසල අද්දරින් ගීත රාවයන් ගලා බසින ඇළ හපුතන්ත්‍රී පවුලේ දරුවන්ට ද නැළවිලි ගීතයක් විය. එකල කටපාඩම් කළ පිරිත් තවමත් මතකයෙන් සඡ්ඤායනය කළ හැකිය.

තාත්තාගේ තොග දුම්කොළ කඩයේ අනෙක් හවුල්කරුවා වූයේ රක්ෂණ ව්‍යාපාරයේ හා ක්‍රීඩා ක්ෂේත්‍රවල කැපී පෙනුණ ප්‍රේමා පින්නවලගේ පියා ය. ප්‍රේමසිරි ළමයා උදේ පාන්දරින් වත්ත පුරා ඇවිද්දේ ඉදී වැටුණු පුවක් සරමට එකතු කරන්නටය. එයින් පොතක් පැන්සලක් ගන්න තරමට ආදායමක් ලැබෙන්නට ද ඇත.

පහේ පන්තියේ සිට හතේ පන්තියට ගියේ පාදුක්කේ උඩුමුල්ලේ රාජාභිෂේක විදුහලටය. උඩුමුල්ලේදී නෙප්රයිට්ස්ට් රෝගය වැලඳුණු තාත්තා මිය ගිය විට කුඩා ප්‍රේමසිරිගේ දෛවය තීන්දු වූයේ පවුල විසිරෙන පරිදිය. ලොකු මාමා මල්ලී රැගෙන ගිය අතර පුංචිඅම්මා නංගී රැගෙන ඇගේ මහගෙදරට ගියාය.

ගණන් පොත්වල වැඩ දැන සිටි තාත්තා බෝල අකුරෙන් පොත්වල ලියා තිබූ දෑ බලන්නට ලස්සනය. තාත්තාගේ දුර නෑයකු හා ළඟ මිතුරකු වූ ඩී.සී. වීරකෝන්ගේ ගණන් පොත් හැදුවේ ද තාත්තාය. එකල බොහෝ මුදලාලිලාට එවැනි ලියන මහත්තයකුගේ සහාය ඇවැසි විය. තාත්තාට යම් උගත්කමක් තිබූ නිසා ඔහු ගෙදර සියලුම භාණ්ඩ පොතක ලියා තිබුණේ ඒවායේ වටිනාකම ද සමඟය. තාත්තා ඒ පොතේ අම්මාගේ හැට්ටවල අගය පවා සටහන් කර තිබිණි.

වීරකෝන් බාප්පා ලොකු පොත් සාප්පුවක් ද පවත්වාගෙන ගියේ සිංහල බෙහෙත් බඩු ව්‍යාපාරයක් ද සමඟය. කඩේ සේවකයන් දෙදෙනෙකි. ප්‍රධාන සේවකයා හේමපාල අයියා කුඩා ප්‍රේමසිරි මලයාට පොත් කියවන්නට තහනම් කළේ නැත.

“ඒ සාප්පුවෙ ළමා පොත් තිබුණා. බෙහෙත් බඩු සුවඳයි පොත් සුවඳයි මැද මං ඒ සාප්පුවෙ තිබුණ පොත් කියෙව්වා. සාප්පුවෙ වැඩටත් උදව් කරනවා. වීරකෝන් මුදලාලිට මං බාප්පා කියලා කතා කළා. වෙලාවකට තාත්තා කියවුණා. එයා කොළඹ යනකොට සමහර දවසට මාවත් කාර් එකේ දාගෙන යනවා. කාර් එකේ උඩ බෙහෙත් බඩු පටවනවා. ඇතුළෙ පොත්. තොග වෙළෙඳුන්ගෙන් සිංහල බෙහෙත් ගන්න විදිහත් ප්‍රකාශකයන්ගෙන් පොත් ගන්න ක්‍රමයත් මට පෙනුණා.”

එකල සියලුම ප්‍රකාශයන්ට වෙන වෙනම හෝඩි පොත් තිබිණ. ශ්‍රී ලංකා ප්‍රකාශකයන්ගේ නව මඟ පොත් පෙළේ කතුවරයා රාජකීය ප්‍රාථමිකයේ විදුහල්පති සුගතපාල ය. කුමාරෝදය ගුණසේනලාගේ ය. තමන්ගේ පාසලේ පාවිච්චි නොකළ පෙළ පොත් ප්‍රේමසිරි කියවා ගත්තේ පොත් සාප්පුවේදීය.

ප්‍රේම­සිරි සිය බිරිය කුමු­දුනී සමඟ

ප්‍රේම­සිරි සිය බිරිය කුමු­දුනී සමඟ

එකල මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළු වීමේ ශිෂ්‍යත්වය පැවතුණේ හතේ පන්තියේදීය. එයින් සමත් වූ ප්‍රේමසිරි හංවැල්ල මධ්‍ය මහා විදුහලට ඇතුළු විය. ඊට හේතු වූයේ වීරකෝන් මුදලාලිගේ නිවසේ සිට යන එන පහසුව ය. එසේ නොවුණා නම් කොළඹ පාසලකට ඇතුළු වන්නට ලකුණු තිබිණි. තුන් වසරක් නේවාසිකාගාරයේ ද නවතින්නට සිදු විය.

ඔය කාලයේ මහරගම සරසවි සාප්පුව කරගෙන ගියේ ෆ්‍රැන්සිස් ඉස්කෝල මහත්තයාය. ගුරු රස්සාව සමඟ පොත් සාප්පුවක් පවත්වාගෙන යෑම අසීරු වූ නිසා ඔහු එය විකුණා දැම්මේ ප්‍රේමසිරිගේ බාප්පාටය.

විශ්වවිද්‍යාලයට ලකුණු මදි වූ නිසා තනිව හඬමින් දුක සමනය කර ගන්නට තැත් කළ ප්‍රේමසිරිට මහරගම සරසවිය බලා ගන්නට සිදු විය.

මහරගම සරසවියේ පොත්, පාසල් උපකරණ හා වෙනත් භාණ්ඩ ද තිබුණි. ප්‍රේමසිරි සිටියේ වීරකෝන් බාප්පාගේ කවර හෝ ඉල්ලීමකට බැහැ කියන්නට බැරිවය. නමුත් ඔහුගේ යොවුන් හදවතේ මිහිදුමක් මෙන් ශෝකී අඳුරක් පැවතිණ. පොත් කියවීම සැනසුමක් විය. ගුණදාස අමරසේකරගේ පොත් හොඳින් අලෙවි විය. කරුණාසේන ජයලත්ට ද ඉල්ලුමක් තිබිණ.

මහරගම සාප්පුවේ වැඩ කළේ පාදුක්කේ අම්මාගේ අක්කාගේ පුතෙකි. ප්‍රේමසිරිට මේ පොත් කඩ රැකියාවට එතරම් කැමැත්තක් තිබුණේ නැත. කඩෙන් කෑම කා පොත් සාප්පුවේ නිදා ගැනීම හිතට සතුටක් නොවූවත් ක්‍රමයෙන් ඒ ජීවිතයට හුරු වුණි.

සාප්පුවේ වැඩ කළ අයියලා බයිස්කෝප් බලන නිසා රාත්‍රියට ඒවායේ කතාන්දර කියන පුරුද්දක් තිබිණ. ක්‍රමයෙන් ප්‍රේමසිරි ද ඒ චිත්‍රපට බලන්නට හුරු වුණි. මහරගම සරසවිය තිබූ කඩ පේළියේම තේ කඩයක් තිබුණි. ජේ.ඩී.ඒ. පෙරේරා ඇතුළු කලා පෙළ කණ්ඩායම ඒ කඩයෙන් හවසට තේ බී බොහෝ රෑ වන තුරු ගැවසුණේ සරසවියේය. දහ පහළොස් දෙනකු එක් වී කතා කළේ නාට්‍ය, චිත්‍රපට හා පොත්පත් ගැන ය. මහරගම සාප්පුවේ උඩ තට්ටුවේ ලංකාවේ ප්‍රථම පොත් දොරට වැඩීමට පියසේන වික්‍රමගේ මැදිහත් විය.

දෙසැම්බර් ජනවාරි කාලවලට සාප්පුවට සෙනඟ පිරෙන නිසා මේ කලා පෙළ මිතුරන් වෙළෙඳාමට ද සහාය දෙන්නට පැකිලුණේ නැත. ඔය කාලයේ 1973දී නුගේගොඩ සාප්පුවක් විකුණන්නට තිබිණි. ප්‍රේමසිරි බැංකු ණයක් ලබාගෙන ඒ සාප්පුවේ හිමිකරුවා විය. ඒ කාලයේ සිමෙන්ති පඩි හතරක් නැඟ යා යුතු වූ නුගේගොඩ සරසවියේ සේවයට ආ මජීඩ් මෑතක් වනතුරුම සරසවියේ සේවය කළා අපට මතකය. නුගේගොඩ පාර පළල් වන විට ඒ පරණ සරසවියේ පඩි හතර පාර මට්ටමට සමපාත විය. ඒ වන විට නුගේගොඩ ලංකා සභා පල්ලියට හිමි ගොඩනැඟිල්ලේ තිබූ කොර්නෙල් සුපිරි වෙළෙඳසල වසා දැමුණි. ප්‍රේමසිරි එහි ලොකු පොත් සාප්පුවක් විවර කිරීමට සමත් විය.

ඒ වන විට ප්‍රේමසිරිගේ ප්‍රේමය ද විවාහයකින් නිමා වී ඔහු දෙදරු පියෙක් වී කදිම නිවෙසක් ද තනා හමාරය. ඒ ආදර කතාව ඇරඹෙන්නේ මහරගම සරසවියෙනි. අනුලාවේ ආදි ශිෂ්‍යාවක වූ කුමුදිනි ඩයස් ගේ ආච්චිගේ නිවෙස තිබුණේ මහරගම සාප්පුව පිටුපසය. ඇගේ මාමලා ද පවුලේ අය ද පහසුවට ආවේ ගියේ සාප්පුව හරහාය. ගණිතයට දක්ෂ විද්‍යා අංශයේ සිසුවියක් වුවත් කුමුදුනී ද පොත් පිස්සියකි. ඇය පාසල ඇරී ගෙදර ගියේ මාමලා මෙන්ම සාප්පුව හරහාය. ප්‍රේමසිරි නැති වේලාවට ඇය සරසවියේ කුඩා ලෑලි පෙට්ටියක ඉඳගෙන පොත් කියෙව්වාය. එහි සේවය කළ සොම්පාල, සුගතදාස හා පියදාස අයියලා මේ දැරියට රිසි සේ පොත් කියවන්නට බාධා කළේ නැත.

“ගෑනු ළමයෙක් ඔහොම සාප්පුවකට රිංගලා පොත් කියවන එක හරි නෑ.” කියා බැන්නේ මාමලා පමණය.

“මං ඒ කාලේ මෙයාට බයයි. විකුණන්න තියෙන නවකතා අරගෙන කියවනවාට අකමැති වෙයි කියන බය තිබුණා. පස්සෙ පස්සෙ ගෙදර ගෙනියලා කියවලා පරෙස්සමට පොත ගෙනත් දෙන්න කිව්වා.”

කුමුදුනී තම සැමියා දෙස බලා දිදුලන දෑසින් එසේ කියන විට මා තුළ සිටින කතාකාරිය ඇසුවේ “ඔය දෙන්නාට කවදාවත් නවකතාවක් ලියන්න හිතිලා නැද්ද?” කියාය.

“මට වෙලාවක් නෑ. කැමරා පිස්සුව නම් තදට තිබුණු නිසයි සරසවි වර්ණ රසායනාගාරය දැම්මේ. ජර්මනියට ගියෙත් ඒ හින්දයි. එහෙදි ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය දැක්කා. සේයාපට හොයාගෙන සිංගප්පූරුවට ගියාම විශාල පොත් සාප්පු දැක්කා. පොත් සාප්පුවක් මොන වගේ වෙන්න ඕනෙද කියලා වටහා ගත්තෙ ඒ ගමන්වලින්. ස්වර්ණ පුස්තක වගේ තරගයක අදහසත් ආවේ ඒ විදේශ ගමන්වලින් තමයි.”

කුමුදුනී නවකතා නොලීවාට ඉතිහාස කතා මාලාවක කතුවරියකි. කොළඹ සරසවියේ ගණිතය උගත් ඇය විවාහ වූයේ ද සරසවියේ ප්‍රථම වසරේ සිටියදීය. උපාධිය ද මවු පදවිය ද එකටම වාගේ හිමි වූ නිසා රජයේ රැකියාවකට දුර පළාතකට යවන්නට ප්‍රේමසිරි කැමති වූයේ ද නැත. ඇය ගුරු ජීවිතය පටන් ගත්තේ ද විශ්‍රාම ගියේ ද කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විදුහලෙනි. එහිදී කුමුදිනීට සමාජ විද්‍යා, ඉතිහාසය වැනි විෂයයන් ද පැවරුණි. ඇය ඉතා වෙහෙස වී එම විෂයයන් මනාව හැදෑරුවා ය. ඒ දැනුම අපතේ නොයවා පොත් පෙළක් ප්‍රකාශයට පත් කළාය. එම පොත් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත.

මහාචාර්ය ඒ.වී. සුරවීරගේ සිත්තරා හා සාන්තුවරයා නමැති කෙටිකතා පොතකින් පොත් ප්‍රකාශනයට පිවිසි ඔහු ලොකු ප්‍රකාශකයකු වීමේ හදිස්සියක් නොතිබිණ. ඡායාරූප ශිල්පියකු වීමේ ආසාව යටපත් කර ගන්නට වූයේ ද පොත් ව්‍යාපාරය වඩ වඩා දියුණු වූ හෙයිනි.

ඔහු මුදල් යෙදූ පළමු චිත්‍රපටය බිත්ති හතර වාණිජ වශයෙන් අසාර්ථක විය. රංජිත් කුරුප්පු සමඟ නිෂ්පාදනය කළ “පවන රළු විය” චිත්‍රපටයේ රීල්ස් උස්සාගෙන ජර්මනියේ බොන් නුවරට ගිය ගමනින් වැඩි වාසිය අත් වූයේ පොත් ප්‍රකාශනය හා අලෙවිය පිළිබඳ දැනුම වැඩි කර ගන්නටය.

“ලන්ඩන්, දිල්ලි ප්‍රදර්ශනවලට ගිහින් ඉංග්‍රීසි පොත් තෝර ගන්න අවශ්‍ය දැනුම තිබුණා. ඒක ව්‍යාපාරයේ යෙදීමෙනුයි, කලා කටයුතුවල කල්‍යාණ මිත්‍ර සමාගම්වලිනුයි ඇති වෙච්ච දෙයක්. විෂය පොත් ගන්න නම් දැනුමක් ඕන නෑ. නමුත් ප්‍රබන්ධ පොත් තෝරාගන්න හොඳ ඉවක් තියෙන්න ඕන. අපි සුමති එකෙන් පරිගණක අරගෙන පොත් ව්‍යාපාරයට ගැළපෙන ප්‍රෝගෑම් හදා ගත්තා. විෂය දැනුම තියෙන කෙනෙකුගෙන් තාක්ෂණ පැත්ත කර ගන්න නම් තමන්ට අවශ්‍ය දේ නිරවුල්ව කියන්න ඕන.”

දැන් ඔවුන්ගේ දුවත් පුතාත් උපාධි කිහිපයකින්ම අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන අවසන්ය. ලේලිය ද පුතා ද සරසවි ප්‍රකාශන ව්‍යාපාරයට ප්‍රභාවක්ය.

“ව්‍යාපාරිකයෙක් සාර්ථක වෙන්න නම් ඉතාම කැපවීමෙන් වැඩ කරන්න ඕන. පාඨකයන්ට, ලේඛකයන්ට, අනෙක් ව්‍යාපාරිකයන්ට අවංක වෙන්න ඕන. සේවක පිරිස විශාල වෙනකොට පෞද්ගලිකව ඒ අයගේ ප්‍රශ්න දැන ගන්න බැරි වෙනවා. ඒ අයගේ සුබ සිද්ධියට වැඩපිළිවෙළවල් හදන්න වෙනවා.”

ප්‍රේමසිරි සහ කුමුදුනී දෙදෙනාටම නැති එකම දෙය ආඩම්බරය පමණය. ඔවුන්ගේ ලොකුම වත්කම අවංකභාවයයි. මගේ පුවත්පත් කලා හා ලේඛක ජීවිතයේ මා වඩාත් සතුටින් ලියූ ලිපිය ද මෙයයි.

සුනේත්‍රා රාජකරුණානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division