Home » වැස්සත් ගංවතුරත් නිසා ඩෙංගු යළිත් හිස ඔසවයි

වැස්සත් ගංවතුරත් නිසා ඩෙංගු යළිත් හිස ඔසවයි

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගයෙහි ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. සාමාන්‍යයෙන් මෝසම් වැසි සමයේදී ඇතිවන අධික වර්ෂාපතනය ද ජල ගැලීම්වලින් අනතුරුව ජලය රැඳෙන ස්ථාන වැඩිපුර ඇතිවීම මෙන්ම ඩෙංගු මදුරුවන් වැඩිපුර බෝවීම ද මෙලෙස ඩෙංගු රෝගය වර්ධනය වීමට ප්‍රධාන හේතුව වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය මගින් සිදුකරනු ලබන දෛනික රෝගී ආවේක්ෂණ දත්තවලට අනුව 2024 මැයි මස 20 වැනිදා වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 26,964කි. මේ රෝගීන්ගෙන් 37%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ. මීට අමතරව සබරගමුව පළාතේ රත්නපුර, වයඹ පළාතේ කුරුණෑගල, මධ්‍යම පළාතේ මහනුවර යන දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවේ.

2024, ජනවාරි මස සිට ජුනි 20 දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු මරණයට පත්ව තිබේ. මේ කාලය තුළ සිදුවූ ඩෙංගු මරණ අනුපාතය සියයට දශම බින්දුවයි තුනකි. (.03%) මෙය සෑහෙන අඩු මරණ අනුපාතයක් ලෙස සැලකිය හැකි අතර එයට හේතුව වසර ගණනාවක් ඩෙංගු රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් සහ රෝහල්වල රෝගී කළමනාකරණ හා රෝගී සත්කාරක සේවා වර්ධනය කිරීම බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ ඒකාබද්ධව ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකාය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ප්‍රජා පොලිසිය හා ඩෙංගු මර්දන සහායක හා ප්‍රජා මූලික සංවිධාන මඟින් දිවයින පුරා දියත්කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන්වල සාර්ථකත්වය හේතුකොටගෙන මෑත වසර දෙක තුන ඇතුළත රට තුළ යළිත් ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවස්ථාව වළක්වා ගැනීමට සමත්ව ඇතැයි ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

පසුගිය වසර කිහිපය තුළ රට තුළ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියෙහි කිසියම් අඩුවීමක් පෙන්නුම් කළද 2023 වසරට සාපේක්ෂව 2024 මේ මාසය දක්වා ඩෙංගු රෝගීන්ගේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධීරසිංහ මහත්මිය පෙන්වා දෙයි. රජයේ රෝහල්වලින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගී දත්තවලට අනුව 2024 ජනවාරි මාසයේ මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,417කි. එම සංඛ්‍යාව 2024 අප්‍රේල් මාසය වන විට 20,234ක් දක්වාද, මැයි මාසයේදී 20,647 දක්වාද 2024 ජූනි මස පළමුවැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2044කි. 2024 ජුනි මස 10 – 16 අතර ගතවූ සතිය තුළ දිවයිනෙහි වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 722කි. මෙලෙස බලන කළ නිරිතදිග මෝසම සක්‍රිය වූ 2024 මැයි මාසයේ සිට ජූනි මස 20 දක්වා ගතවූ කාලය තුළ වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරයි.

2022දී ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 72කි. 2023දී එම සංඛ්‍යාව 62ක් වූ අතර 2024 ගත වූ මාස හයකට ආසන්න කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව නවයකි. 2023 වසරේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 25%ක්ම පාසල් වියේ පසුවන දරුවන් වීම විශේෂත්වයකි. වයස අවුරුදු 5 – 19 අතර පසුවන මේ කණ්ඩායම් රෝගයට වැඩි වශයෙන් ගොදුරුවීම සැලකිය යුතු තත්ත්වයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පවසයි. ඩෙංගු මදුරුවා දෂ්ඨනය කිරීමේ සක්‍රිය වේලාවක් වන්නේ උදෑසන 7 – 9 අතර සහ සන්ධ්‍යා කාලයේ ප.ව. 3 – 7 අතර කාලයයි. පාසල් වියේ පසුවන දරුවන් වැඩිපුර මදුරු දෂ්ඨනයට ගොදුරු වීමට මෙම කාලය ද හේතු විය හැකිය. බස්නාහිර පළාතේ මෙන්ම වෙනත් මදුරු ගහණය වැඩි ප්‍රදේශවල වැඩිපුරම මදුරු කීටයන් දක්නට ලැබෙන්නේ පාසල් ගොඩනැඟිලි හා පරිශ්‍රවල වීමත් ඊට හේතුවිය හැකි බව වෛද්‍ය කොඩිතුවක්කු පවසයි.

සාමාන්‍යයෙන් මෝසම් වැසි සමයේදී ඩෙංගු මදුරු ගණත්වය වර්ධනය වන හෙයින් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන්නේ වර්ෂා සමය ඇරැඹෙන්නට පෙරය. ඒ අනුව 2024 මැයි මස 26 සිට ජූනි පළමුවැනිදා දක්වා කාලය තුළ ඩෙංගු මර්දන ඒකකය මඟින් රටපුරා පරිශ්‍ර 93847ක් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හා පරිශ්‍ර පරීක්ෂාවට ලක්කරනු ලැබිණ. එයින් 5.5%ක ඩෙංගු මදුරු කීටයන් පැවැති අතර එම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස අදාළ ස්ථානවල හිමිකරුවන් දැනුවත් කරන ලදි. දිස්ත්‍රික්ක 17ක පිහිටි පාසල්වල ඩෙංගු කීටයන් සහිත පාසල් 10%ක්ද කම්හල් පරිශ්‍ර 15%ක්ද ආගමික පරිශ්‍ර 11%ක්ද හඳුනාගනු ලැබිණ. මෙලෙස හඳුනාගත් ස්ථාන පිරිසිදු කර ඩෙංගු මදුරු උපත් බිම් විනාශ කරන්න උපදෙස් දෙන ලද අතර, පසු විපරම් කිරීමෙන් අනතුරුව එම උපදෙස් නොපිළිපදින ආයතන හා පෞද්ගලික හිමිකරුවන් 981 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බවද වෛද්‍යවරයා පැවැසීය.

ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනය මගින් පමණක්ම රෝගය බෝවන හෙයින් රෝග මර්දනය සඳහා ඇති හොඳම සහ එකම පිළියම වන්නේ මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවන පරිදි තම නිවාස, ගෙමිදුල් වතු මෙන්ම පාසල් බිම්, පොදු ස්ථාන, අත්හැර දමා ඇති ගොඩනැඟිලි ඉදිකිරීම් පරිශ්‍ර හා සේවා ස්ථාන අවට තම තමන් විසින්ම නිසි පරිදි කැළි කසළ බැහැර කරලමින් පිරිසිදු කිරීමය.

ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ අධ්‍යක්ෂ, විශේ­ෂඥ වෛද්‍ය සුදත් සම­ර­වීර

ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ අධ්‍යක්ෂ, විශේ­ෂඥ
වෛද්‍ය සුදත් සම­ර­වීර

වර්තමානයේදී ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව බෙහෙවින් අඩුය. ඩෙංගු රෝගයෙන් මරණයට පත් වන්නේ රෝගය උත්සන්න වී රක්තපාත තත්ත්වයට පත්වීම වැනි සංකූලතා ඇතිවූ විටය. එහෙයින් උණක් ඇති වීමෙන් දින දෙකක් (පැය 48) ගතවූ පසුවත් උණ පවතී නම්, නිවසේ සිට අත්බේත් හෝ හිතුමතේ ඖෂධ භාවිත නොකර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම හෝ පහසුකම් සහිත රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත යුතුය. පැරසිටමෝල් ඖෂධය හැර ඇස්ප්‍රීන් (Aspirin), ඩයික්ලොෆැනැක් සෝඩියම් Diclofenac Sodium) මෙෆනමික් ඇසිඩ් (Mefanamic Acid) හෝ ඉබියුප්‍රොෆෝන් (Ibuprofen) වැනි NSAID’s කාණ්ඩයේ ඖෂධ සහ ස්ටීරොයිඩ (Steroids) අඩංගු ඖෂධ කිසිසේත් ලබා නොගත යුතුය. සම්පූර්ණ රුධිර පරික්ෂාවක් සිදු (Full Blood Count) කළද තමන් විසින්ම ඒවායේ ප්‍රතිඵල සලකා වෛද්‍ය උපදේශවලින් තොරව, නිවසේ රැඳී සිට ඩෙංගු රෝගය පාලනය කරන්නට යෑමෙන් රෝගය උත්සන්න විය හැකිය. ඩෙංගු රෝගය පිළිබඳ වෛද්‍යවරුන් තීරණය කරන්නේ හුදෙක් රුධිර පට්ටිකා සංඛ්‍යාවෙහි අඩුවැඩි වීම මත පමණක් නොවන හෙයින් තමන්ට හිතුමතේ ඖෂධ ලබාගැනීම නොකළ යුතු අතර, පරීක්ෂණ වාර්තා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බව වෛද්‍යවරු පවසති.

කුඩා දරුවන්, ගර්භණී මාතාවන් හෝ වැඩිහිටි පුද්ගලයන්, දිගුකාලීන රෝග සඳහා ඖෂධ ලබාගන්නා පුද්ගලයන් රෝගය සඳහා වැඩි අවධානයක් දරති. එවැනි පුද්ගලයන්ට උණක් ඇති වුවහොත් දින දෙකක් යනතුරු නිවසේ රැඳී නොසිට වහාම වෛද්‍ය උපදෙස් පතන ලෙස ද පහසුකම් සහිත රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද වෛද්‍යවරු උපදෙස් දෙති.

පොසොන් උත්සව සමයෙන් අනතුරුව ජූනි මස 24, 25, 26 යන දිනවල අනුරාධපුර පූජා නගරය හා අවට ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. අනුරාධපුර පූජා නගරය හා තදාසන්න ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හතරක් මඟින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාවට නංවන බවද වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පැවැසීය.

සාගරිකා දිසානායක ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division