Home » නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment
- නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඉකුත් දා මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර එහිදී නිලධාරීන් විසින් දැක්වූ අදහස් මෙහි දැක්වේ.

කඳුකර දශකය සංවර්ධන වැඩසටහනෙන් ව්‍යාපෘති 14,088ක් 
– නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද

කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 9,622ක මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කර තිබෙනවා. එසේම යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් 2023 වසර අවසන් වන විට සම්පූර්ණ කර තිබෙනවා. ඒ යටතේ නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙළ තුළ මේ දක්වා පදිංචි කර ඇතිපවුල් 275,127ක්.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රධාන ක්ෂේත්‍ර වන්නේ නාගරික සංවර්ධනය, නිවාස හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයි. අප අමාත්‍යාංශය විසින් 2023 වසර අවසන් වන විට යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා නිවාස 151,662ක් ඉදිකර තිබෙනවා. දේශීය අරමුදල්වලට අමතරව ඉන්දියානු ආධාර, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇතිව මෙම නිවාස ඉදිකිරීම් සිදු කරනු ලැබුවා. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ නිවාස අවශ්‍යතාවෙන් 89%ක් ඒ අනුව සම්පූර්ණ කර තිබෙනවා. තවදුරටත් තාවකාලික නිවාසවල පදිංචි මුල් පවුල් සඳහා ඉදි කළ යුතු බවට හඳුනාගෙන ඇති නිවාස සංඛ්‍යාව 18,613ක් වනවා. එය සමස්තයක් ලෙස දැක්වුවහොත් 11%ක ප්‍රතිශතයක් පමණයි.

නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙළ අනුව මේ දක්වා පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව 275,127ක් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත පදිංචි කිරීම සහ නැවත පදිංචි කිරීම කඩිනම් කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මෙම වසරේදී අවතැන් වූ පවුල් සඳහා පිරිසිදු පානීය ජලය හා ගෘහස්ත විදුලි සම්බන්ධතාව ලබා දීමද සිදු කෙරෙනවා.

විශේෂයෙන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල තිබෙන වකුගඩු රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැනෝ ජල පිරිපහදු ඒකක 50ක් ඉදිකරමින් පවතිනවා. එසේම මෙරට බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ වගකීම දරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයයි. 2028 මාර්තු 23 වැනිදා වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව මේ වනවිට උතුරු නැඟෙනහිර වර්ග කිලෝ මීටර් 131,969ක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 25.09ක පමණයි. ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

මීට අමතරව අප අමාත්‍යාංශය යටතේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. බස්නාහිර ප්‍රදේශ මහ නගර ප්‍රධාන සැලැස්ම, නැඟෙනහිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම, හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම හා ප්‍රධාන සංවර්ධන සැලැස්ම සකස් කිරීම, තිරසර සංචාරක සංවර්ධන නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීමේ ව්‍යාපෘතිය හා අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආදි ව්‍යාපෘති ඒ අතර වෙනවා. තවද කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.”


ඉදිකිරීම් ශිල්පීන් 7,000 කට පමණ NVQ සුදුසුකම් ලබා දීම ආදී සාධනීය පියවර රැසක්
– ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච් රුවිනීස්

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා නිම කරන ලද ව්‍යාපෘති සඳහා අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200කට අධික මුදලක් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. එසේම මේ වන විට නවතා දමා ඇති හඳුනා ගත් විශේෂ ව්‍යාපෘති කිහිපයකටම එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා ද මුදල් ගෙවීම ආරම්භ කර තිබෙනවා.

තවද ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති අතර, ජාතික ඉදිකිරීම් සංගමයේ ඉල්ලීම පරිදි 2020ට පෙර ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි වූ අයට ද නැවත ලියාපදිංචිය ලබා ගැනීමට කටයුතු සලසමින් අවුරුදු 03 ක කාල සීමාවකට කුඩා හා මධ්‍යම කොන්ත්‍රාත්කරුවන්ගේ ( C4 – C9 ) ප්‍රමාද ගාස්තු නිදහස් කර තිබෙනවා. ඉදිකිරීම් ශිල්පීන් 7,000කට පමණ NVQ සුදුසුකම් ලබා දීම, ඉදිකිරීම් ශිල්පී හැඳුනුම්පත ලබා දීම ආදී සාධනීය පියවර රැසක් ද අප විසින් ගෙන තිබෙනවා.


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් 50 දෙනකු සඳහා රුපියල් මිලියන 52.05ක් වටිනා නිවාස ආධාර
– ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පසුගිය කාලය තුළ සිදු කළ ව්‍යාපෘති රැසක් ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා පසුබෑමකට ලක්වුණා. එසේ වුවත් පසුගිය වසර 02 තුළ රුපියල් මිලියන 10,288ක මුදලක් ප්‍රතිලාභී පවුල් 18,123ක් සඳහා නිවාස ආධාර වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට පවුල් 16,670ක සිය නිවාස සිහිනය සැබෑ කර දී තිබෙනවා. තවද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් 50 දෙනෙකු සඳහා රුපියල් මිලියන 52.05ක් වටිනා නිවාස ආධාර අප විසින් ලබා දී තිබෙනවා.

එසේම ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මකව තිබූ නිවාස වැඩසටහන යටතේ නිවාස 2,072ක ඉදිකිරීම් ආරම්භ වූ අතර ඉන් නිවාස 732ක් ඉදිකර අවසන් කර තිබෙනවා. ඉන්දියානු රජය රුපියල් මිලියන 1,244ක මුදලක් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබා දී තිබෙනවා.තවද අඩු පොලී ණය වැඩසටහන යටතේ පවුල් 13,405ක් සඳහා රුපියල් මිලියන 5,234ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව පවුල් 13,197ක් නිවාස ඉදිකරගෙන තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් මිලියන 150ක්ව තිබූ යළි අයකර ගැනීමේ ප්‍රගතිය මේ වන විට රුපියල් මිලියන 310 දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ යටතේ තවත් නිවාස ණය වැඩි සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව හිමි වූ අතර 12%ක මාසික පොලියක් යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන දහසක් වෙන්කර තිබෙනවා. ඒ මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 2,000ට අමතරව බව ද කිව යුතුයි.

2024 වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අය වැය ප්‍රකාශය අනුව නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාසවල ජීවත්වන පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මේ වසර නිම වීමට පෙර කොළඹ මහ නගර සභාවේ පවුල් 1,070ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරනවා. යාපනය ගුරු නගර් නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 160ට නිවසේ හිමිකම සින්නක්කර ඔප්පුවක් මඟින් හිමිකර දීමට කටයුතු කෙරෙන අතර, එහි තවත් නිවාස 742කට අදාළ හිමිකම් ඔප්පු ලබා දීමට සූදානම් කර තිබෙනවා.

1979 වසරේ සිට මේ දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආදර්ශ ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ මැතිවරණ නිවාස 10, මැතිවරණ නිවාස 20, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන යන ව්‍යාපෘතිවල නිවාස ලබා ගත් නමුත් සින්නක්කර අයිතිය ලැබී නැති පවුල් 32,000ට හිමිකම් ඔප්පු ලබා දීමටද අප සූදානම් කරමින් සිටිනවා.

තවද 2015- 2019 කාල සීමාව තුළ ක්‍රියාත්මක වූ නිවාස වැඩසටහන් 07ක් යටතේ වැඩ අවසන් නොකළ නිවාස 44,053ක් වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන අතර, එම මුදල ලැබුණු වහාම ඒ නිවාසවල වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා. මෙතෙක් පැවති ඕනෑම ආණ්ඩුවක් හෝ අමාත්‍යවරයකු විසින් ආරම්භ කර ඇති නමුත් මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩ කටයුතු අවසන් කර එම ප්‍රතිලාභ හිමි ජනතාවට සහනයක් සලසන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබා දී තිබෙනවා.


අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක නිවාස ඒකක 13,814ක් ඉදිකර අවසන්
– නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අතරමඟ නතර කෙරුණු ව්‍යාපෘති 22ක වැඩ මේ වන විට නැවත අප විසින් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘති 22 සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1,900ක මුදලක් වෙන් කර තිබෙනවා.

එසේම සැලසුම් හා ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් සේවා ඒකකයක් (ONE STOP UNIT) ආරම්භ කර තිබෙනවා. වසර 2025 වන විට ලංකාවේ සියලුම නාගරික සංවර්ධන බල ප්‍රදේශවල මෙම Online ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ 276ක් සඳහා ආර්ථික, සාමාජීය, පාරිසරික හා සෞඛ්‍ය වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සැකසීම සිදු වෙනවා. ඉන් පළාත් පාලන ආයතන 87ක් සඳහා සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර අවසන් අතර, මේ වසර තුළ සංවර්ධන සැලසුම් 26ක් ගැසට් කිරීමට ද නියමිතයි. ඉදිරි වසරවල සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂා කරනවා.

තවද නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක නිවාස ඒකක 13,814ක් ඉදිකර අවසන් අතර එහි පවුල් 11,967ක් නැවත පදිංචි කර තිබෙනවා. මේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අක්කර 116ක භූමි ප්‍රදේශයක් නැවත සංවර්ධනය කිරීමට ද හැකියාව ලැබුණා.

එසේම කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් අතරමග නතර වූ නිවාස ව්‍යාපෘති 06ක් යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹගේ මාවත, ඇපල් වත්ත, ස්ටේඩියම් ගම, මාදම්පිටිය පාර, ෆර්ගියුෂන් පාර හා ඔබේසේකරපුර යන ප්‍රදේශවල නිවාස ඒකක 4,074ක් ඉදි කෙරෙමින් තිබෙනවා.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1696ක් ඉදිකිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

මෙම අධිකාරිය මඟින් රටට ආයෝජන ගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබෙනවා. මෙහි විශේෂ ව්‍යාපෘතියක් ලෙස තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මන්දිරය පිහිටි ඉඩම ලබා දීමට කටයුතු කර තිබෙනවා. එසේම කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත විනෝදාත්මක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධය කිරීම සඳහා ද ආයෝජකයන් කැඳවා තිබෙනවා.


කොළඹ සහ ඒ අවට ප්‍රධාන ඇළ මාර්ගවල කිලෝමීටර 44ක් නඩත්තු කෙරේ
– ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහා අය වැය යටතේ රුපියල් මිලියන 2,190ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඒ අතරින් මිලියන 843.91ක මුදලක් මේ වනවිට වැය කර තිබෙනවා. ඒ යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 4කට අයත් වාර්ෂික ව්‍යාපෘති 31ක් ක්‍රියාත්මකයි. ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීමේ වැඩසටන යටතේ කොළඹ අගනගර කලාපයේ සහ ඒ අවට පවතින ප්‍රධාන ඇළ මාර්ගවල කිලෝමීටර 44ක්, ද්විතියික ඇළ මාර්ගවල කිලෝමීටර 52ක් සහ හැමිල්ටන් ඇළෙහි කිලෝමීටර් 22 දිග ප්‍රමාණයක් නඩත්තු කිරීම, ගංවතුර පාලනය ව්‍යාපෘතිය යටතේ මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය, කළු පාලම් යෝජිත Gate Mounted Pump ස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මක කෙරෙනවා. තෙත්බිම් සහ පහත්බිම් සංවර්ධනය, නිර්මාණ කටයුතු, සිතියම්කරණය සහ ශක්‍යතා අධ්‍යනය යන ක්ෂේත්‍ර දෙක යටතේ ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මකයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division