බහ තෝරන වියේ සිට තරු පිරුණු අහස දෙස බලා සිටීමට ප්‍රිය කළ, අභ්‍යවකාශ යානා ගැන අතොරක් නැතිව ප්‍රශ්න ඇසූ සුරතල් දියණිය ඉන් වසර ගණනාවකට පසු තනිවම රොකට් යානයක් නිපදවමින් ලෝකයේම කතාබහට ලක්වද්දී ඇයගේ මවුපියන්ගේ හදවත්වලට දැනෙනු ඇත්තේ කොතරම් විසල් සතුටක්ද? ඒ යුවතිය ලාංකේය දියණියක් වීම ශ්‍රී ලංකාවට ද අභිමානයකි.
ඇය ශ්‍රී ලාංක්ය මවුපිය යුවළකගේ එකම දියණිය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී උපත ලැබුවාය.නමින් කවිනි නිම්තරා ඉඳුරුව වන ඇය මූලික අධ්‍යාපනයෙන් අනතුරුව එංගලන්තයේ ශෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හිමිකර ගත්තාය. සුන්දර තාරුණ්‍යයට අරුත්බර පෙර වදනක් එක් කළ 22 හැවිරිදි සොඳුරු යුවතියක වන කවිනි පිළිබඳ මේ කතාව ජීවිතය දිනන්නට කැමති කාටත් පූර්වාදර්ශයකි.
“පුංචි කාලේ ඉඳලම මට විද්‍යාව සහ අභ්‍යවකාශය ගැන ලොකු උනන්දුවක් තිබුණා. මම පුංචි කාලේ අපි ජීවත් වුණේ ඩුබායි ගුවන්තොටුපොළ ළඟම තිබුණු ගෙදරක නිසා නිතරම අහස් යානා දකිද්දි මට ඒ ගැන ගොඩක් ආස හිතුණා. ලොකු වෙද්දි මම අභ්‍යවකාශය ගැන පොත් කියෙව්වා. මම වගේම මගෙ තාත්තත් ඒ ගැන හරිම උනන්දුයි. ඒ හින්දා අපි දෙන්න වැඩිපුරම කතා කරන්නේ ඒවා ගැනම තමයි. අභ්‍යවකාශය ගැන තිබුණු උනන්දුව නිසාම මම හැදෑරුවෙත් අභ්‍යවකාශ සම්බන්ධ උපාධියක්. එහිදිත් මගේ ලොකුම ආසාව වුණේ රොකට් හදන්න. කවුරුහරි රොකට් එකක් යවනවා කිව්වම රෑ නිදිවරාගෙන මම ඒවා බලනවා. උපාධිය සම්පූර්ණ වෙන්න මමම රොකට් එකක් හදන්නම ඕනි කියලා මම අධිෂ්ඨාන කරගත්තා.. ”
එවැනි ලොකු වැඩක් කරන්නට අදිටන් කරගත් පුංචි කෙල්ලට එය සිතූ තරම් පහසු වූයේ නැත.
“මේ රොකට් මම හැදුවේ විශ්වවිද්‍යාලයේ අවසාන ප්‍රොජෙක්ට් එක විදිහට. මේක ලේසි වැඩක් වුණේ නැහැ. මම මුලින්ම ඉලෙක්ට්‍රොනික්ස් ගැන යූටියුබ් එකෙන් සහ පොත්පත්වලින් ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගෙන පියවරෙන් පියවර තමයි මේක හැදුවේ. ප්‍රොජෙක්ට් එක භාරදෙන්න දවස් තුනක් තියෙද්දි මට කොවිඩ් හැදුණා. ඒත් මම ඒ අමාරුකම් තියෙද්දිම ගිහින් ඉතුරු වැඩ ටික කළා. ඒත් පළමු වැනි වතාවේ රොකට් එක යවන්න හදද්දි ඒක දෙකට කැඩුණා. ඒත් මම අධෙර්යය නොවී ආයෙත් උත්සාහ කළා. දෙවැනි වතාවෙත් මම අසාර්ථක වුණා. ඒ වෙලාවේ නම් මට හිතුණා මෙතැනින් මේක ඉවරයි කියලා. ඒත් ඒ එක්කම මම ආයෙ කල්පනා කළා, මෙතැනට එන්න මම ගොඩක් මහන්සි වුණා නේද? ඒ නිසා ආයේ සැරයක් උත්සාහ කරනවා කියලා. ඒ හිතුවා වගේම තුන් වැනි වතාවේ තමයි රොකට්ටුව සාර්ථක වුණේ. මේ රොකට් එකේ විශේෂත්වය තමයි ඉහළ අහසේ විවිධ ප්‍රතිරෝධයන් පාලනය කරගනිමින් ස්වයං ස්ථායිතාවට පත් කර ගනිමින් නිරුපද්‍රිතව පොළොවට නැවත පතිත වීමට හැකි වීම.”
2019 SpaceX- Starship සහ 2010දී SpaceX- falcon 9 වැනි ව්‍යාපෘතීන් ගැන ද නිරතුරුව සෙවීම් සහ විමසීම් කළ කවිනි එයින් ලත් අභිප්‍රේරණයෙන් තනිවම රොකට්ටුව නිපදවා ගුවන්ගත කරමින් කළ විස්මිත ක්‍රියාවත් සමඟ ශෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ සියලුදෙනා අතර ඇයගේ නම රැව් දෙන්නට පටන් ගත්හ. ඊට හේතුව ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලයේ අවසන් ව්‍යාපෘතිය සඳහා කිසිදු උපාධි අපේක්ෂකයකු එවැනි රොකට්ටුවක් තනිවම නිපදවා නොතිබීමය. හැරත් කවිනි මේ සියල්ල කළේ පියවරෙන් පියවර ඇය විසින්මය. එහෙත් ඒ සාර්ථකත්වය පිටුපස ආදරණීයන් රැසක්ම සිටි බව කවිනි සිහි කළේ බොහෝ කෘතවේදීවය. ඇයගේ මවුපියන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ දිරිය ශක්තිය නොමඳව ලබාදෙද්දී ගුරුවරුන්, මිතුරු මිතුරියන් මෙන්ම ඩ්‍රෝන විශේෂඥයකු වන සිය පෙම්වතා රිගෝ ද තමාට විශාල ශක්තියක් වූ බව කවිනි කීවාය.
මේ සුන්දර යුවතිය උපාධිය රැගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වූයේ එතැනින් සිය ගමන නතර කර නොවේ. විශ්වවිද්‍යාලයේදී ඒ සම්බන්ධ ව්‍යාපෘති රැසක නියැළෙමින් අත්දැකීම් රැසකින් සන්නද්ධව සිටි ඇය රොකට් සම්බන්ධ ආයතනයක සීමාවාසික පුහුණුවකට ද සම්බන්ධ වන්නීය. ඒ අතරතුර ඇය තමා නිපදවූ රොකට්ටුව ඇතුළු සියලු තොරතුරු සිය ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිලයට එක් කළාය.
“ඒක දාලා මාසෙකට විතර පස්සේ මට මැසේජ් එකක් ලැබුණා ජගුවර් ලෑන්ඩ්රෝවර් සමාගමෙන් සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා. මට අදහගන්න බැරි වුණා, එච්චර ලොකු සමාගමකින් මට කතා කළාම. මම ඉන්ටවිව් 3න්ම පාස් වුණාට පස්සේ ඔවුන් මාව ස්ථිර සේවකයෙක් විදිහට බඳවා ගත්තා. ඒ, මට උපාධියට අමතරව ව්‍යාපෘති ගණනාවක අත්දැකීම් තිබුණු නිසයි. එංගලන්තේ උපාධියක් තිබුණට රැකියාවක් හොයාගන්න හරිම අමාරුයි. ඒකට හේතුව උපාධි තියෙන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම මේ ක්ෂේත්‍රය ගොඩක් තරගකාරියි. ඒ නිසා අනිවාර්යයෙන්ම උපාධියට අමතරව තවත් සුදුසුකම්, අත්දැකීම් එක්ක තමන්ටම අනන්‍ය ප්‍රතිරූපයක් තිබුණොත් තමයි ඒ තරගයට මුහුණ දෙන්න පුළුවන්.
ජගුවර් ලෑන්ඩ්රෝවර් සමාගමේ සිස්ටම් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න පටන් අරගෙන මාස 6ක් ගතවෙද්දිම මට පහුගිය සතියේ උසස්වීමක් ලැබුණා. ඒ, Lead Systems Integration Engineer (පද්ධති එක්කාසු කිරීමේ ප්‍රධාන ඉංජිනේරු)
ජගුවර් ලෑන්ඩ් රෝවර් කම්පනි එකේ සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මම මුලින්ම කළේ එයාලා අලුතින් හඳුන්වලා දෙන කාර්වලට අලුත් උපාංග සහ විවිධ පද්ධති එකතු කිරීමයි. දැන් ඒ සියල්ල එක්කාසු කිරීමේ ප්‍රධාන ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරනවා.”
කවිනිගේ වදන් සනාථ කරන්නේ සිහින ලුහුබැඳ යන ධෛර්යවන්තයන් කවදාවත් නොපරදින බවය. එහෙත් මේ ඇයගේ සිහිනයේ අවසානය නොවේ. එය ඇත්තේ තවත් පියවර ගණනාවක් ඉහළිනි. එහෙත් තමා ඒ සියල්ල ද සනාථ කරගන්නා බව කවිනි කීවේ තිර අදිටනිනි.
” මම හැමදාම හීන දැක්කේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වැඩ කරන්න. එංගලන්තයෙ ඒ ක්ෂේත්‍රයේ ගොඩක් අවස්ථාව තියෙන්නේ එංගලන්ත ජාතිකයන්ටමයි. වෙනත් රටක කෙනෙක් ඒ අවස්ථාව ගන්න නම් අවම වශයෙන් ස්ථිර නේවාසික වීසා ලබාගත යුතුයි. අවුරුදු කිහිපයක අත්දැකීම් තියෙන්නත් ඕනෙ. ඒ නිසා මට තව කාලය අවශ්‍ය වෙනවා. මම නොනැවතී මගේ හීනය එක්ක ජීවත් වෙනවා වගේම ඒක සැබෑ කරගන්න උපරිමයෙන් මහන්සි වෙනවා.”
බැලූ බැල්මට මලක් මෙන් සොඳුරු සියුමැලි යුවතියක වුවද කවිනි බොහෝ දිරිමත් සවිමත් හදවතක් ඇති යුවතියකි.
“සාර්ථකත්වය කියන්නේ හරි කෙළින් යන තනි රේඛාවක් නෙවෙයි. ඒක උඩට පහළට යමින් අන්තිමට ඉහළටම යන රේඛාවක්. මමත් ගොඩාක් බාධකවලට මුහුණ දීලා තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම මට එංගලන්තෙට හුරුවෙන්න ටික කාලයක් ගියා. අම්මයි තාත්තයි මාව එංගලන්තෙ නවත්තලා ඩුබායි යද්දි මම හොඳටම ඇඬුවා මාව දාලා යන්න එපා කියලා. නමුත් මම හිත හදාගත්තා මම ආවේ මගෙ අරමුණ වෙනුවෙන් නේද කියලා. ඒ වගේම මුල් දවස්වල මම ඉතා සුළු පිරිසකගේ ඊර්ෂ්‍යාවට ලක්වුණා. ඒකට හේතු වුණේ මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය තානාපති විදිහට පත්වීම. ඒ නිසා මට පිළිගැනීමක් වගේම මුදලුත් ලැබුණා. ඒ වුණත් වැඩි කාලයක් යන්න කලින් කරදර කරපු ළමයිම තේරුම් ගන්න ඇති කොච්චර බුලි කළත් කවිනිව වට්ටන්න බෑ, එයා අනිත් අයට වඩා දක්ෂයි කියලා. මම රොකට් එක හැදුවට පස්සෙ ඒ හැමෝම මට සුබ පැතුවා.
ඒ නිසා තමන්ට අරමුණක් ඉලක්කයක් තියෙනවා නම් කවුරු මොනවා කිව්වත් කළත් නොසැලී ඒ අරමුණ දිහාම බලාගෙන ගමන යනවා නම් සාර්ථක වෙන්න පුළුවන්. සමහර විට අපේ අරමුණ සාර්ථක නොවෙන්න පුළුවන්. ඒත් ඒ කරා යන ගමනේදී වැරදීම් සහ පැරදීම් තුළින් ලැබෙන අත්දැකීම් නිසා ඒ ගමන හරිම වටිනවා. ” වසර 22ක් වුවත් ඇයට ඇත්තේ හරි අපූරු ජීවන දැක්මකි. සුන්දර ජීවන විලාසිතාවකි. ඒ ගැන කවිනි මෙසේ පැවසුවාය.
” සමබර පෞරුෂයක් තියෙනවා නම් ජීවිතේ සාර්ථකත්වය ලබන්න හරිම පහසුයි. මගේ ජීවිතේ එකම සිහිනය වුණේ අභ්‍යවකාශය ජයගැනීමයි. මගේ ජීවිතය හරිම සරලයි. අවුරුදු නවයක ඉඳන් මම නිර්මාංසයි. ඒ වගේම මම දැන් ආසාවෙන් මගේ රැකියාව කරනවා. ඉගෙන ගැනීමට අමතරව මම ලක්මිණි උඩවත්තගෙන් පෙරදිග සංගීතයත්, මෙෂාන් රංගායතනයෙන් නර්තනයත් ඉගෙන ගත්තා. කොවිඩ් කාලයේ ගිටාර් හා ඩ්‍රම්ස් වාදනය තනියම ඉගෙන ගත්තා. චිත්‍ර ඇඳීමත් මගේ විනෝදාංශයක්. ඩුබායි ටෝස්ට්මාස්ටර් ගැවල් ක්ලබ්වලින් නායකත්ව පුහුණුව හා කථනය පුහුණු වුණා.මම සාර්ථක අයෙක් ලෙස අද ඉන්නවා නම් ඒකට හේතු වුණේ ඒ සියල්ල තුළින් ඇතිවූ සමබර පෞරුෂය කියලා මම විශ්වාස කරනවා. ”
ඩුබායිහි උපත ලැබුවද කවිනි ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කරන්නීය. ඇයගේ මවුපියන්ගේ ඥාතීන් දකින්නට ඇය විටින් විට මෙරටට පැමිණෙන්නීය. ඒ නිසාම ශ්‍රී ලංකාව ගැන මනා අවබෝධයක් ද ඇය සතුය.
“විභාග නිසා ලංකාවේ ළමයි වගේම මවුපියන් ගොඩක් ආතතියට පීඩනයට ලක් වෙනවා කියලා මට හිතෙනවා. විශ්වවිද්‍යාලයට යන්න විභාග සමත් වීම වැදගත්. ඒ වගේම තමන් කැමති හීනයක් තියෙනවා නම් ඒ වෙනුවෙනුත් මහන්සි වෙන්න. ඒ වගේම ළමයෙක් වගේ ජීවිතේ විඳින්න. ක්‍රීඩා කරන්න, සංගීතය, නර්තනය එක්ක ජීවත් වෙන්න. සමබර පෞරුෂයක් හැදෙන්නෙ එහෙමයි. මට හොඳට සිංහල කතා කරන්න පුළුවන් වුණේ මගෙ මවුපියන් කුඩා කාලයේ ඉඳලම මට ඒක හුරු කළ නිසයි. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය මගේ ජීවිතේ ගොඩක් හැඩගැස්සුවා. මගේ තාත්තා සින්දු කියනවා මම පුංචි කාලේ ඉඳන් දැක්කා. මම රොක් සංගීතයට ගොඩක් ආසයි. මේ පාර ලංකාවට ආවම අපි දවස් පහක් අනුරාධපුරේ ඇවිදින්න ගියා. ලංකාවේ ඉතිහාසයට මම හරිම කැමතියි සහ ලංකාවට මම ගොඩක් ආදරෙයි. ඒ නිසාම මම කැමතියි ලංකාවේ ළමයි මම කළා වගේ අලුත් දේවල් කරලා ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගේනවට. තමන්ගේ ඉලක්ක, සිහින සැබෑ කරගන්න ගමන් අපි රටටත් ලෝකයටත් යමක් දිය යුතුයි. වයසට ගිහින් ජීවිතේ දිහා හැරිලා බලද්දි අපි ජීවිතේ හරි විදිහට වින්දා කියලා සැබෑ සතුටක් ලබන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ”
අරුත්බර සුන්දර ජීවන දැක්මක් ඇති මේ සොඳුරු කවිනිගේ ජීවිතය කවියක් තරම් මිහිරිය; ලලිතවත්ය. එතරම් අපූරු දියණියකගේ මවුපියන් වීමට වාසනාවන්ත වූ කවිනිගේ මවුපියන් පැවසුවේ ඇය ලැබූ සාර්ථකත්වය පිළිබඳ නිහතමානීව සතුටු වන බවයි.
කවිනිගේ පියා මෛත්‍රී ඉඳුරුව වසර 24ක් තිස්සේ ඩුබායිහි පදිංචිව සිටින අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස එරට රජයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු කරයි. මව ප්‍රියංකා ඉඳුරුව ඩුබායිහි නැව් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකි. ඇය ඩුබායිහි ජීවත් වන්නට පැමිණ වසර 30කි. ඔවුන් දෙපළගේ එකම දරුවා වන කවිනිගේ කුඩා විය පිළිබඳව මතක අවදි කළේ බොහෝ ආදරණීවය. “කවිනි චූටි කාලේ ඉඳලම හරිම දක්ෂයි. හැම දෙයක් ගැනම උනන්දුයි. චූටිම කාලේ මගේ අම්මා, තාත්තා එයාව බලාගත්තා. අවුරුදු 6න් පස්සේ අපි අවුරුදු 2න් 2ට ලංකාවෙන් නැනීලා ගෙන්න ගත්තා; දුව බලාගන්න. දුවගේ ලොකුම විශේෂත්වය තමයි එයාට ඕනේ නිතරම මොනවා හරි ඉගෙන ගන්න. එයා හැම දවසකම අලුත් දෙයක් ඉගෙන ගන්න කෙනෙක්. ඩුබායිවල තියෙන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත දහම් පාසල දුවගේ සාර්ථකත්වයට හොඳ තෝතැන්නක් වුණා. පළමු ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය වෙනකම් දුව දහම් පාසල් ගියා. දුව චූටිම කාලෙත් තුන් සූත්‍රය කටපාඩමින් කිව්වා. ඩුබායි දහම් පාසලේ බුද්ධාගම, සිංහල වගේම අපේ උරුමය විෂයයෙන් දරුවන්ට ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, සිරිත්විරිත් උගන්වනවා. මමත් කවිනිගේ තාත්තත් 2009 පමණ සිට ඒ දහම් පාසලේ ගුරුවරුන් විදිහට කටයුතු කරනවා.
ඒ අතර කවිනි ගැන හැමදාමත් මතකයේ ඇති සිදුවීමක් ගැන ද මව සිහි කළාය.
“දුවට අවුරුදු 6ක් විතර කාලේ දහම් පාසලේ සිඟිති දස්කම් කියලා කථික තරගයක් තිබුණා. ඒකට දුව කවි පන්තියක් ගායනා කළා. ඒ කවි පන්තිය ලියා දුන්නේ දුවගේ තාත්තගේ තාත්තා ධර්මාචාර්ය සෝමදාස ඉඳුරුව. එදා තරගයෙන් පළමුවැනියා වුණු දුවට ලොකු කුසලානයක් ලැබුණා. ඒක මතක් වෙද්දිත් මට හරිම සතුටුයි. එදා ඉඳලා දුව හැමදාම දහම් පාසලේ හැම කථික තරගයකින්ම පළමු වැනියා වුණා. දුවගේ ජීවිතය සාර්ථකව ගොඩනැඟෙන්න දහම් පාසලේ ඇසුර බොහෝ දුරට බලපෑවා කියල මම විශ්වාස කරනවා” මව සේම පියා ද කවිනිගේ ලෝකයේ වීරයෙකි. සිය දියණියගේ සාර්ථකත්වයට රුකුල් දුන් කරුණු ගැන කවිනිගේ පියා කීවේ මෙවැන්නකි.
“අද සමාජයේ ඇතැම් මවුපියන් තමාට ඉටු කරගැනීමට නොහැකි වූ හීන දරුවන් මඟින් ඉටුකර ගැනීමට උත්සාහ කරනවා. නමුත් දරුවෙක් කියන්නෙ වෙනම පුද්ගලයෙක්. හැම දරුවෙක් තුළම ඔහුට ආවේණික වූ දක්ෂතා, කුසලතා තිබෙනවා. මවුපියන් කළ යුත්තේ තමන්ගේ දරුවා තුළ තිබෙන ඒ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඒවා මතු කරගෙන දියුණු කරගන්නට උපකාර කිරීමයි. අපි කවිනි ඇතිදැඩි කළේ එහෙමයි. කුඩා කාලයේදීම අපි දැක්කා ඇය විහිදුණු දක්ෂතා රාශියක් ඇති දරුවෙක් බව. ඒ අතරින් ඇය වඩාත් කැමැති දේ හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට යන්න අපට දිය හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ අධ්‍යාපනය ලබන අතරේ කෙටිකාලීන රැකියාවක් කරන්නවත් අපි ඇයට ඉඩ දුන්නෙ නැහැ. වියදම් අධික වුණත් මමත් බිරියත් අපි උපයන හැම මුදලක්ම වැය කළේ ඇය වෙනුවෙන්. අපි එහෙම කළේ පාඨමාලාවේ තිබූ සංකීර්ණභාවය නිසා ඇයට මුළුමනින්ම අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරන්න අවස්ථාව දෙන්නයි. කවිනි එයින් උපරිම ප්‍රයෝජන ගත්තා.
ඕනෑම ඉලක්කයක් සාර්ථක වෙන්න තමන්ගේ කැපවීම, උනන්දුව වගේම සංසාරගත පුරුදු, ජානමය සාධක, සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරයත් බලපානවා. වාසනාවකට වගේ කවිනිගේ නොසැලෙන අධිෂ්ඨානය ඒ හැමදේම ඉටුකර ගැනීමේ මාර්ගය පෑදුවා. නමුත් ඇයටත් බාධක, අභියෝග නොතිබුණා නොවෙයි. ඒ හැමදේටම ඇය නිර්භීතව මුහුණ දුන්නා. අපිත් නිතරම ඇය දිරිමත් කළා. ” මෛත්‍රී ඉඳුරුවගේ වචනවලින් දෝරගලා යන්නේ දියණිය පිළිබඳ ඇති අසීමිත සෙනෙහසයි.
“දුව නිතරම සතුටින් ඉන්න කැමැති කෙනෙක්. දුව අවුරුදු 9ක ඉඳන් නිර්මාංසයි. ඒකට හේතු විදිහට එයා කියන්නේ සතුන් මරණ එක, හිංසා කරන එක එයාට දුකක් කියලා. ඒ වගේම මිනිසා ස්වභාවයෙන්ම වඩා හුරු මාංස භක්ෂණයට නොවන නිසා මාංස ආහාර ගැනීමෙන් විවිධ ලෙඩරෝගවලට පහසුවෙන් ගොදුරු වෙනවා කියලා. ඒ වගේම ආහාර සඳහා සතුන් මැරීමෙන් පරිසරයේ සමතුලිතභාවයට හානි වීමත් නිර්මාංස වීමට හේතුවක්. නිර්මාංස වුණාට දුව එයාගේ නීරෝගී බවට අවශ්‍ය වන පෝෂණ සංඝටක සමබල ආහාරවේල් මඟින් ලබා ගන්නවා. එයා සෞඛ්‍යය ගැන වගේම එයාගේ සුන්දරත්වය ගැනත් හිතනවා. දවසට වරක් දුව ව්‍යායාම්වල යෙදෙනවා. මටත් බිරියටත් ව්‍යායාම් කරන්න, සෞඛ්‍යසම්පන්නව ඉන්න කියලා උපදෙස් දෙනවා. ඇය බොහොම ආදරණීය සහ සංවේදී දියණියක්” දියණිය ගැන සොඳුරු මතක රැසක්ම පියාගේ හදවතේ ද වෙයි. ඒ මතක ඔහු ආවර්ජනය කළේ බොහෝ තුටිනි. “දුව චූටි කාලේ තරු ගැන හරිම උනන්දුයි. එයා අහස දිහා බලන් ඉන්න හරිම ආසයි.
මටත් ඒ පුරුද්දම තිබුණ හින්දා අපි දෙන්නා අහස දිහා බලාගෙන ඒ ගැන කතා කරනවා. දුව ටික ටික ලොකු වෙද්දි අපි ඒ ගැන සංකීර්ණ කරුණු ගැන කතාබහ කරනවා. මහාචාර්ය නලින් ද සිල්වා සූරීන් ලියූ පොත්පත්, ලිපිවල තිබුණු ඇතැම් ගැඹුරු දාර්ශනික කරුණු ගැන මම ඇතැම් විටෙක දුවත් සමඟ සාකච්ඡා කරලා තියෙනවා.
මට මතකයි දුව එයාට අවුරුදු හතක විතර කාලේ අපේ තව ඥාති දුවක් එක්ක ගගනගාමියෙක් වගේ ඇඳගෙන නාට්‍යයක් වගේ එකක් කළා. එයා මට කිව්වා එයාලා කරන ඒවා වීඩියෝ කරන්න කියලා.
මේ රොකට් එක හැදුවාම මට ඒ සිද්ධිය මතක් වුණා එහෙම කරපු පුංචි කෙල්ල නේද මේ කියලා. අපේ එකම දරුවා විදිහට එයාගේ සාර්ථකත්වය ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්