Home » බඩු මිල අඩු කිරීමට පසුබිම සකසා තිබියදීත් …

බඩු මිල අඩු කිරීමට පසුබිම සකසා තිබියදීත් …

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

ගෝල්ෆේස් අරගල සමයේ රටේ පැවැති තත්ත්වය සමඟ සංසන්දනය කරන විට අද බොහෝ දේවල් වෙනස් වී තිබේ. 2019 පාස්කු ප්‍රහාරය නිසා ඇතිවූ සමාජ ආර්ථික අර්බුදයෙන් පටන්ගෙන කෝවිඩ් හරහා ගෝල්ෆේස් අරගලය නිම වනතුරුම රටේ බොහෝ දේ සිදු විය. වැඩි වශයෙන්ම සිදු වූයේ නරක දේවල්ය. ආදරණීයයන් මෙන්ම දන්නා හඳුනන අය අවසන් ගමන් ගිය විට අවසන් ගෞරව දැක්වීමට යෑම අපේ සමාජයේ අනිවාර්යය පුරුද්දක්ව තිබුණද කෝවිඩ්වලින් පසු ඒවා බොහෝ දුරට අඩුවි ය. මළගමට, මඟුල් ගෙදරට සහභාගි නොවූ තරම් ය. එසේ වුවද ඒ තත්ත්වය දැන් වෙනස් වී ඇත. නැවතත් මඟුලට, මළ ගෙදරට යන්නට පුළුවන්කම ලැබී ඇත.

ඒ ආකාරයට ඉහත කී කාලපරිච්ඡේදය තුළ අප අත්දකින ලද තත්ත්වයන් දැන් වෙනස් වී තිබේ. පෝලිම් යුගය අවසන් වී එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන භාණ්ඩ සීමාවකින් තොරව ලබා ගැනීමට දැන් හැකිවී තිබේ. අනෙකුත් භාණ්ඩ පිළිබඳව අත්දකින ලද හිඟය මේ වනවිට දුරුවී ඇති නමුත් වාහන සම්බන්ධයෙන් පමණක් එවැනි වෙනසක් සිදුවී නැත.

එම යුගයේ මේ රටේ බඩු මිල ඉහළ යෑම කොයි තරම් වේගයෙන් සිදු වූයේද යන්න බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි. ලොව වැඩිම වේගයකින් උද්ධමනය ඉහළ යන රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද විය. එසේම ඩොලරයේ අගය ඉතා ඉක්මනින් වෙනස් වන තත්ත්වයකට මුහුණදීමට ද රටට සිදු විය. මුලින් ඩොලරය පැවතියේ රුපියල් දෙසිය විසිපහ මට්ටමකය. ආර්ථික අර්බුදයත් සමඟ රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය ඉහළ ගියේය. කළුකඩ මිල ඊටත් වඩා ඉහළ ගියේය. ඩොලරයේ අගය රුපියල් හාරසිය හැත්තෑවකට ආසන්න තත්ත්වයකට පත් විය. ඒ හා සමඟම ඉන්ධන මිල ද ඉහළ ගිය අතර බැංකුවල ණය පොලී ද ඉහළ ගියේය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යෑමයි.

ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වීම කෙරෙහි බලපාන හේතු විස්තර කර ඇත. මිල ඉහළ යෑම සඳහා බොහෝ දුරට හේතු වන්නේ ඉල්ලුම වැඩි වීමයි. එසේ වුවද ඊට පිටස්තරව තවත් නොයෙකුත් හේතූන් නිසා ද උද්ධමනය වැඩි විය හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යෑම කෙරෙහි ආර්ථික විද්‍යාත්මක හේතු මෙන්ම එසේ නොවන හේතු ද බලපා ඇති බව පෙනේ. භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගියේය. ඒ ඉහළ යෑම හේතුවක් කර ගනිමින් නිෂ්පාදකයෝ මෙන්ම වෙළෙන්දෝ ද භාණ්ඩ මිල එකිනෙකා පරයා තරගයට ඉහළ නැංවීමට කටයුතු කළහ.

රුපියල අවප්‍රමාණ වී ඩොලරයේ අගය වැඩි වන විට කිරිපිටිවල මිළ ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි. කිරිපිටි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. මුලදී දේශීයව නිෂ්පාදනය කරන හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිළ රුපියල් 290ක්ද, ආනයනය කරන ලද ඇන්කර් ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 370ක්ද විය. එසේ වුවද ඉන්පසුව එම හයිලන්ඩ් පැකැට්ටුවක මිල රුපියල් 1150/- දක්වාද ඇන්කර් කිරිපිටි පැකැට්ටුවක මිල 1050/- දක්වාද ඉහළ ගියේය. ඩොලරයේ අගය ඉහළ යෑම නිසා ඇන්කර් පැකැට්ටුවක මිල ඉහළ යෑමට හේතුව වී තිබේ. එසේ වුවද දේශීය නිෂ්පාදනයක් වන හයිලන්ඩ් මිළ ඉහල යෑමට හේතු වුයේ කුමක්ද යන්න අපැහැදිලිය. මේ ආකාරයට රටේ සියලුම භාණ්ඩ වර්ගයකම පාහේ මිල දෙගුණ තෙගුණ වී ඉහළ ගියේය. සමහර වෙළෙඳුන්හෝ නිෂ්පාදකයන් මිල ඉහළ දැමුවේ රටේ භාණ්ඩ මිල ඉහළ දැමීම තමන්ගේ වගකීමක් ලෙස සලකන ආකාරයටය.

එක්තරා සුපිරි වෙළෙඳසලකට ගොඩ වනවිට එහි සේවකයන් විශාල පිරිසක් භාණ්ඩවල මිල වෙනස් කරමින් සිටින ආකාරය මම දුටුවෙමි. ඔවුන් කළේ ඒ දක්වා සඳහන් කර තිබු ලේබලය ඉවත්කර වැඩි මිලක් ඒවායේ සටහන් කිරීමය. බොහෝ සුපිරි වෙළෙඳසල් එය අනුගමනය කළේ යැයි සිතමි. රට තුළ භාණ්ඩ නිෂ්පාදනය අඩු වීම, විදේශ සැපයුම් සේවාවල තිබූ අවහිරතාවන්, විදේශ විනිමය හිඟය, රුපියල අවප්‍රමාණ වීම වැනි හේතු නිසා බඩු මිල ඉහළ යෑමට පටන් ගත් අතර, 2022 වසරේ ජූනි, ජුලි මාසවලදී රටේ මිල මට්ටම් උපරිම තත්ත්වයකට පත්වූ බව පෙනේ. නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ රටේ මිල මට්ටම් පිළිබඳව පරීක්ෂා කරන විට ඒවායේ ඉහළ යෑමක් මිස සැලකිය යුතු මට්ටමක මිල පහළ යෑමක් සිදුවු අවස්ථාවක් වාර්තා වී නැත. ඊට හේතුව උද්ධමනය අඛණ්ඩව වැඩි වීමක් මිස පහළ යෑමක් වාර්තා නොවූ බැවිනි. අනෙක් අතට වැඩි වශයෙන්ම විදේශ භාණ්ඩ මත යැපෙන රටක්ව පැවතීම නිසාත් රුපියල අඛණ්ඩවම අප්‍රමාණය වීම නිසාත් ඒ ආකාරයටම අඛණ්ඩවම භාණ්ඩ මිල ඉහළ යෑමක් ද සිදු විය. ලෝකයේ වෙනත් රටවල තත්ත්වයන් පිරීක්සීමේදී ද භාණ්ඩ මිල ඉහළ යෑමක් මිස පහළ යෑමක් සිදුව නැති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ කෝවිඩ්වලින් පසු සිදුවු භාණ්ඩ මිල ඉහළ යෑම අසාමාන්‍ය තත්ත්වයක් විය. ඉහත කී විශේෂ හේතූන් බලපෑ අතර එම විශේෂ හේතූන් ඉවත් ව යෑම සමග භාණ්ඩ මිල පහළ යෑමක් ද අපේක්ෂා කළ යුතුව තිබේ. උදාහරණයක් ලෙස රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතිවු තත්ත්වය දැක්විය හැකිය. ඩොලරය රුපියල් 470 වැනි ඉහළ මට්ටමකට පත්වුවද දැන් රුපියල් තුන්සියයේ මට්ටමට පහළ බැස තිබේ. උද්ධමනය අඩුවී ඇත. ඉන්ධන මිල, විදුලි බිල, බැංකු පොලී අනුපාත ආදී සියල්ල අඩුවී ඇත. එසේ වුවද ඉහත කී හේතූන් අනුව සලකා බැලු විට රටේ භාණ්ඩ මිල සැලකිය යුතු මට්ටමකින් අඩු විය යුතු වුවද එසේ අඩු වීමක් තවමත් වාර්තා වී නැත. ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යවසායකයන් සහ වෙළෙඳුන් භාණ්ඩ මිළ ඉහළ මට්මක තබාගෙන අධික ලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම මෙයට හේතුව වී තිබේ.

ඒ ආකාරයට ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළේ නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන වෙනස්කම්වලට අනුකූල වන අයුරින් භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් අඩු නොකිරීම හේතුවෙන් මහජනතාවට ලැබිය යුතු වාසිය නොලැබී යයි. එහෙත් නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන් අවබෝධ කරගෙන නැති සත්‍ය වන්නේ තව ටික කලෙකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මිල ගණන් අඩු කිරීමට ඔවුන්ට සිදු වන බවයි.

අධික මිල ගණන් පවත්නා විට මිනිසුන් භාණ්ඩ මිගදී නොගන්නා බැවින් ඒවා අලෙවි කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ද පාඩු විඳීමට සිදු වේ. උදාහරණයක් ලෙස රටේ ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ ගියද වර්තමානයේ ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව එම මිල ගණන්වල වෙනසක් සිදු කර නැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රටේ ඉදිකිරීම් කර්මාන්තය බිඳ වැටී එම භාණ්ඩ අලෙවි නොවී පැවතීමයි. එවැනි තත්ත්වයක් තුළ මුලින්ම හානිය පැමිණෙන්නේ එම භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ටමය. ඒ හේතුවෙන් මේ වනවිට ගොඩනැඟිලි ද්‍රව්‍ය සමහරක මිල ගණන් අඩු කර ඇති අතර ඉදිරියේදී තවත් භාණ්ඩවල මිල ගණන් අඩුවීමට ඉඩ තිබේ. මිල අඩු වන විට ඉදිකිරීම් වැඩි වී සියලු දෙනාටම යහපත් තත්ත්වයක් අත්වනු ඇත.

මේ අවස්ථාවේදී භාණ්ඩ මිල අඩු වන්නේ නම් එය ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා ආධාර වේ. මිල අඩු වීමක් සිදු වන විට ඉල්ලුම වැඩිවේ. පුද්ගලයන් අතර ගැවසෙන මුදල්වල මිලදී ගැනීමේ හැකියාව වැඩි වන නිසා රටේ ඉල්ලුම වැඩිවේ. එය සෑම ආර්ථික අංශයකම භාණ්ඩ සඳහා ඇතිවන ඉල්ලුම වැඩි කිරීමට හේතුවනු ඇත. එවිට සියලුම අංශවල නිෂ්පාදනය වැඩිවී රටේ නිෂ්පාදනය ද වැඩි වේ. ආර්ථික වර්ධනයද ඉහළ යයි.

භාණ්ඩ මිල අඩු වීම සඳහා අවශ්‍ය සියලුම පියවර රජය විසින් ගෙන ඇති බව පෙනේ. රුපියල ශක්තිමත් වී ඇත. ඩොලරයේ අගය පහළ වැටී ඇත. රටේ නිෂ්පාදන වියදම අඩු වීමට තුඩු දෙන ආකාරයේ ඉන්ධන, විදුලිය, බැංකු ණය පොලිය ආදිය අඩු කර ඇත. එහෙත් භාණ්ඩ හා සේවා මිල පහළ ගොස් ඇත්තේ ඉතා සීමිත මට්ටමකිනි.

පාන් ගෙඩියක මිල අසීමිතව ඉහළ ගියද අද විවිධ නිෂ්පාදකයන් අතර මිල සම්බන්ධයෙන් තරගයක් ඇතිව තිබෙන බව පෙනේ. පාන් ගෙඩියක මිල පෙර තත්ත්වයේම පවත්වා ගැනීමට උත්සාහ කරන නමුදු සමහර බේකරි හිමියන් පාන් මිල අඩු කිරීමට සූදානම් බව පෙනේ. අවසන් ප්‍රතිඵලය විය හැක්කේ මිල තරගයක් ඇතිවී පාන් මිල ද ක්‍රමයෙන් අඩු වීමට පටන් ගැනීමයි. සියලු භාණ්ඩ හා සේවාවන්ගේ තත්ත්වය එසේය. පිරිවැය අඩුවී නිෂ්පාදන වියදම පහළ වැටෙද්දී ඒ හා සාපේක්ෂව මිල මට්ටම් අඩු නොකරන විට මේ ආකාරයට මිල තරගයක් ඇති වී භාණ්ඩ මිල අඩු වීමට පටන් ගනී.

විවිධ අභියෝග හා අසීරුතා මැද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ආර්ථිකය හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් මිල මට්ටම් පහළ යෑම සඳහා වු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබේ. නිෂ්පාදන අංශ එය තේරුම් ගෙන මිල මට්ටම් පහළ දැමීම තුළින් රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා අවස්ථාවක් උදාකරගත හැකිවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division