Home » විස්සයි20 ලෝක කුසලාන සුපිරි අට වටයේ කරට කර සටනේ උණුසුම

විස්සයි20 ලෝක කුසලාන සුපිරි අට වටයේ කරට කර සටනේ උණුසුම

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

විස්සයි20 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුල්පෙළ කණ්ඩායම් අතර සිටින නවසීලන්ත කණ්ඩායම ඇතුළුව රටවල් 12ක ක්‍රීඩකයන් හිස් අතින් ගෙදර යවා ඉතිරි කණ්ඩායම් අට සුපිරි වටයට ගියේය. කවුරුත් බලාපොරොත්තු වූ පරිදි ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සුපිරි වටයට පිවිසියද, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල සුදුසුකම් ලැබුවේ 50-50 අවස්ථාවකිනි. සත්කාරක රටවල් දෙකින් එකක් වන කෝඩුකාර අමෙරිකාව සුපිරි අටට රිංගා ගැනීම නම් කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමකි. දැන් ඇරඹී ඇත්තේ අවසන් පූර්ව වටයේ තැනක් සොයන තරගකාරී වටයකි. කරට කර සටනකි.

‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩ දෙක යටතේ කණ්ඩායම් 4 බැගින් තරග වදින මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේදී එක් කණ්ඩායමක් තරග 3කට බැගින් ක්‍රීඩා කළ යුතුව ඇත. මේ ලිපිය ලියන විට සුපිරි අටේ එක් වටයක් අවසන් වී ඇති අතර, ඉරිදා වන විට වට දෙකක්ම අවසන් වීමට නියමිතව තිබිණි. ඒ අනුව කණ්ඩායම් කිහිපයක අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සුන්වීමේ ඉඩකඩක් ද මතු වී තිබිණි. සුපිරි අටේ පළමු තරගවලින් අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය පරාජයට පත්වී තිබිණි. මේ අතුරින් අමෙරිකාව සහ බංග්ලාදේශය කෙසේ වුවද, කාගෙත් අවධානය යොමු වූයේ ඇෆ්ගනිස්තානය දෙසටය. ඔවුන් විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අටට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය. ඇෆ්ගනිස්තානය අද වන විට ජාත්‍යන්තර තලයේ දස්කම් සපිරි ප්‍රබල කණ්ඩායමකි. අවසන් පූර්ව වටයට යෑමට හැම අතින්ම දක්ෂතාව ඇති ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෝ රැසක් වෙති. එරට පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරුව තුන්ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් කණ්ඩායමේ නායකයා ය. හිටපු නායක මොහොමඩ් නබි සහ රෂීඩ් ඛාන් වැනි ක්‍රීඩකයන් රැසක් පුහුණුව ලැබුවේ සිය මවුබිමේදී නොව අසල්වාසි පාකිස්තානයේදීය. දරුණු යුද්ධයකින් පීඩාවට පත් ජාතියක් ලෙස ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ ක්‍රීඩාවට නොව ජීවන අරගලය උදෙසාය. එහෙත් සටන්කාමීත්වය අතින් කිසිවකුට නොදෙවැනි ඇෆ්ගනිස්තානුවෝ පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් එංගලන්තයත් පරාජය කිරීමට සමත් වීමෙන් කාගෙත් අවධානය දිනා ගත්හ.

සුපිරි අටේ පළමු තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූ සත්කාරක රටක් වන බටහිර ඉන්දීය කොදෙව් පිලත් මූලික වටයේ දැක්වූ දස්කම් අනුව සුපිරි අටේ ඉතිරි තරග දෙකම ජයගැනීමට හැකියාව ඇති කණ්ඩායමකි. සුපිරි අටේ සියලු තරග බටහිර ඉන්දීය දූපත්වල පැවැත්වීම ඔවුන්ගේ වාසියට ද හේතුවකි. එහෙත් එවැනිම වාසියක් 2010 තරගාවලියේ සත්කාරකත්වය දීමෙන් කොදෙව් පිලට ලැබී තිබුණද, ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. සත්කාරකත්වය දීමේ වාසියත් කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා අතරට පිවිසීමට සමත් වීමත් නිසා අමෙරිකාව සුපිරි අටට පැමිණියද, ඉන් ඔබ්බට යෑමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් ඔවුන් සතුව නැත. ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අනුමාන සහ අනාවැකිවලට අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ වැඩිම අවස්ථාව ඇත්තේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිලටය. ඔවුන් සුපිරි අටට එක් වූයේ මූලික වටයේ අපරාජිත කණ්ඩායමක් හැටියටය. හැම අතින්ම සමබර කණ්ඩායමක් ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවද ඉන්දීය පිල මෙතෙක් බොහෝ තරග ජයගත්තේ පන්දු යවන්නන්ගේ පිහිටෙනි. නොඑසේ නම් මැද පෙළ පිතිකරුවන්ගේ දස්කම් මතිනි. ඔවුන්ගේ සුපිරි පිතිකරු යුගලය විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා තවමත් සුපුරුදු දස්කම් අතරට පැමිණ නැත. විරාට් කෝලිගේ ලකුණු සටහන දිස්වන්නේ 1,4,0 සහ 24ක් ලෙසටය. අයර්ලන්තය සමඟ පැවැති මූලික වටයේ පළමු තරගයේදී නොදැවී රැස් කළ ලකුණු 52න් පසු රෝහිත් ෂර්මාගේ ලකුණු සටහන දිස්වන්නේ 13, 3 සහ 8ක් ලෙසිනි. මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් විසිදෙනා අතර සිටින්නේ ඉන්දීය පිලේ මැදපෙළ පිතිකරුවන් වන රිෂාබ් පාන්ට් සහ සූර්යකුමාර් යාදෙව් පමණි. පාන්ට් 17 වැනි ස්ථානයේ සිටින අතර, සූර්යකුමාර් සිටින්නේ 18 වැනි තැනය. අර්ෂ්දීප් සිං කඩුලු 10ක් දවාලමින් වැඩිම කඩුලුලාභින් අතර සිව්වැනි තැන පසුවන අතර, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 8ක් දවාලමින් 11 තැන පසුවෙයි. විචාරකයන් කියන්නේ ෂර්මාගේ සහ කෝලිගේ පිත්ත ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ නම් කුසලානය අතට ගන්නා තුරු ඉන්දියාව ආපසු හැරී නොබලනු ඇති බවය. විචාරකයන්ගේ අදහස අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි වාසිය ඇති ඊළඟ කණ්ඩායම රෝව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුතු සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලය. මූලික වටයේ අපරාජිතයෝ ලෙස තරග 4ම දිනා සුපිරි අටට සේන්දු වූ කොදෙව්වන් මීට පෙර විස්සයි20 ලෝක කුසලාන දෙකක්ම දිනාගත් කණ්ඩායමකි. ඔවුන් ලේබල්ගත වී සිටින්නේ විස්සයි20 තරග බිමේ වඩාත්ම භයානක කණ්ඩායමක් හැටියටය. මේ දක්වා සමස්ත තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන නිකොලස් පූරන් කොදෙව් පිලේ පිතිහරඹ තුරුම්පුව බවට පත්වී සිටින අතර, වැඩිම කඩුලුලාභීන් දසදෙනා අතර සිටින අකීල් හොසේන් සහ අල්සාරි ජෝසෙෆ් කඩුලු 9 බැගින් දවාලමින් පිළිවෙළින් 7 වැනි සහ 8 වැනි ස්ථානවල පසුවෙති.

2021 වසරේ පැවැති තරගාවලියේ ශුරයන් වන ඔස්ට්‍රේලියාව ද මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායමක් ලෙස විචාරකයන්ගේ අනුමානයට ලක්වී සිටී. පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට එක්වී සිටින ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශුරයෝ වෙති. අපරාජිතව සුපිරි අටට පැමිණි ඔස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශය පරාජය කරමින් සුපිරි අටේ පළමු කඩුල්ල පැනගත්තේය.

එම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද බිඳ දැමූ නායක පැට් කමින්ස් මෙන්ම සියලු පන්දු යවන්නෝ හැම අතින්ම ප්‍රතිවාදීන්ට හිසරදයක් බවට පත්වී සිටිති. මෙතෙක් වැඩිම කඩුලුලාභීන් අතර කඩුලු 11ක් ලබා දෙවැනි තැන පසුවන ඇඩම් සම්පා ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව බවට පත්වී සිටින අතර, වැඩිම ලකුණුලාභින් දසදෙනාගේ ලැයිස්තුවේ ඔස්ට්‍රේලියානුවෝ තිදෙනකුම සිටිති. ට්‍රෙවිස් හෙඩ් තුන්වැනි තැන පසුවන අතර, ඩේවිඩ් වෝනර් පස්වැනි තැනත්, මාකස් ස්ටොයිනිස් 7 වැනි තැනත් පසුවෙති.

අපරාජිතව සුපිරි අටට එක්වූ දකුණු අප්‍රිකාව මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ කුසලානය දක්වා යෑමට හැකියාව ඇති කණ්ඩායමක් බව ඇතැම් විචාරකයන්ගේ අදහස වී තිබේ. එතෙක් මෙතෙක් එක්දින හෝ විස්සයි20 කුසලානයක් දිනා ගැනීමට වාසනාව නොලැබූ දකුණු අප්‍රිකානුවෝ සුපිරි අටේ පළමු තරගයෙන් අමෙරිකාව පරාජය කළ අතර, ඊළඟට පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගය තීරණාත්මක වි තිබිණි. ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු පිලේ පිතිකරුවන්ගෙන් මෙතෙක් ලකුණු අතරට පැමිණීමට සමත් වී ඇත්තේ කුයින්ටන් ඩි කොක් පමණි. ඔහු වැඩිම ලකුණු ලාභීන් අතර 15 වැනි තැන සිටි. මෙතෙක් ඔවුන්ගේ සාර්ථකත්වයේ සාධක වූයේ පන්දු රැකීම සහ පන්දු යැවීමය. ඇන්රිච් නෝයේ කඩුලු 10ක් ලබා වැඩිම කඩුලුලාභීන් අතර තුන්වැනි තැන පසුවන අතර, කගීසෝ රබාඩා කඩුලු 7ක් ලබා 20 වැනි තැන සිටී.

මෙතෙක් වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ඇෆ්ගනිස්තානයේ ෆස්රුල්ලා ෆරූකි ය. ඔහු කඩුලු 15ක් දවාලීමට සමත්වූ අතර, නායක රෂීඩ් ඛාන් කඩුලු 9ක් දවාලමින් 9 වැනි තැන පසුවෙයි. අනිත් අතට වැඩිම ලකුණුලාභීන් අතර ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරු රහ්මතුල්ලා ගුර්බාස් පසුවන්නේ සිවුවැනි තැනය. ඉබ්‍රාහිම් සඩ්රාන් ද 6 වැනි තැන සිටී. බංග්ලාදේශ පිලේ ටස්නිම් හසන් ශකීබ් කඩුලු 9ක් දවාලමින් 6 වැනි තැන සිටින අතර, රිෂාඩ් හොසේන් කඩුලු 9ක් දවාලමින් 10 වැනි තැන පසුවෙයි. එංගලන්ත පිලේ පිල් සෝල්ට් වැඩිම ලකුණුලාභීන් අතර අටවැනි තැන පසුවන අතර, බංග්ලාදේශ පිලේ ටව්හිද් රිදෝයි 11 වැනි තැන සිටී.

විචාරකයන්ගේ අනුමාන සහ අනාවැකි කෙසේ වුවද, විස්සයි20 වැනි කෙටි මුහුණුවරේ තරගාවලියක ඕනෑම දෙයක් සිදුවිය හැකිය. සාර්ථකත්වය රඳා පවතින්නේ සුපිරි පිතිකරුවන්ගෙන් හෝ විශිෂ්ට පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායම් ලෙස ලේබල්ගත වීම මත නොව ‘දවසේ රාජකාරිය‘ අකුරට ඉටු කරන කණ්ඩායම අතය. ඒ අතින් බැලූ විට ඇෆ්ගනිස්තානය, එංගලන්තය හෝ බංග්ලාදේශය ද අඩු තක්සේරුවට ලක් කිරීමට නොහැකි බව ඇතැම් විචාරකයෝ කියති.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division