ඉස්සර නම් අපට පොසොන් කියු සැණින් මතකයට ආවේ මිහින්තලයයි. මිහින්තලා ගල, මුවා, මිහිඳු හිමියන්, දේවානම්පියතිස්ස රජතුමා, දුනු ඊතල ආදිය අපේ මතකයට එන්නේ නිතැතිනි. මිහිඳු මාහිමියන් එදා දේවානම්පියතිස්ස රජතුමාගෙන් මෙසේ ඇසීය.
“මහරජ මේ අඹ ගස් හැර වෙනත් අඹගස් තිබේද?”
මේ කියමනට මෙවර අලුත් අර්ථකථනයක් එක් වී ඇත. වෙනදාට නම් පොසොන් කලාපයට නම් දැරූ පළාත මිහින්තලයයි. මෙවර අපට අලුත් ප්‍රශ්නයක් ඇසීමට සිදු වේ.
“මිහින්තලා පොසොන් කලාපය හැර වෙනත් පොසොන් කලාප තිබේද?”
“තිබේ, තිබේ. හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයක් තිබේ.”
අප හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයට පිවිසියේ එහි සුන්දරත්වය බැති සිතින් විඳගන්නටය.
පොසොන් පුන් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය මෙවර ජූනි 21 වැනි සිකුරාදා සිට 23 වැනි ඉරිදා දක්වා පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය වන පරිදි කිලෝමීටර 13ක් පුරා පැතිරෙන පරිදි මෙවර පොසොන් කලාපය සංවිධාන කර ඇත. වැඩිහිටියන් මෙන්ම පාසල් හා දහම් පාසල් සිසුන් සඳහා මෙහිදී පහන් කූඩු තරග පැවැත්වෙන අතර සියලු දෙනාටම සහභාගි විය හැකි පරිදි වැඩිහිටි පහන් කූඩු තරගය පැවැත් වේ. පාසල් හා දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍ය පහන් කූඩු තරගය සංවිධාන කෙරේ. පොසොන් කලාපය සඳහා මුද්‍රිත හා ඩිජිටල් අනුග්‍රාහකත්වය ලේක්හවුස් ආයතනය මඟිනි. විදත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන්විදුලිය වෙතිනි. මේ පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 40ක මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත. හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ධර්ම රශ්මි පොසොන් කලාපය සංවිධාන කරනු ලැබිණි.
වැඩිහිටියන් සඳහා වන පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට රුපියල් ලක්ෂ 10කුත් දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 5කුත් තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2කුත් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 50,000ක් බැගින් ද 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 25,000ක් බැගින් ද හිමිවේ. ශිෂ්‍ය පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට ලක්ෂ 5ක්, දෙවැනි ස්ථානයට ලක්ෂ 2ක් හා තෙවැනි ස්ථානයට ලක්ෂයක් බැගින් හිමි වන අතර 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 30,000ක් හිමිවේ. 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 20,000ක් හිමිවේ. පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පිටිපන නගරයේදී බත් දන්සලක් පැවැත්වෙන අතර හරිත සරසවි භූමියේදී සෑම දිනකම රාත්‍රී 7 සිට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙයි. ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ මෙම ප්‍රසංගය දෛනිකව විකාශය කිරීමට කටයුතු සංවිධාන කර තිබිණි.
අප මුලින්ම ගියේ ලක්ෂයකට වඩා පිරිසකට සහභාගි විය හැකි පිටිපන දැනුම් කේන්ද්‍රීය නගරයටය. දැවැන්ත පිට්ටනියක් වූ එහි තොරණක් ද දැකගත හැකි විය. ධර්මද්වජ ජාතකය තේමා කරගත් තොරන් රාජයෙකි. එය දෙවැනි වරටත් පෙන්වන බව එහි සඳහන් විය. තොරනේ චිත්‍ර ශිල්පියා වූයේ අකුරැස්සේ ඉඳුනිල් ලියනගේ ය. විදුලි ආලෝකය ජයසිරි පීරිස්ගෙනි. විදුලි රටා මැෂිම නොහොත් ලයිට් කොටේ හදා තිබුණේ ජයශාන් පීරිස් ය. තොරණ කොටු 14කින් සමන්විත විය.
ලක්ෂයකට ආහාර භුක්ති විඳීමට සැලසුම් කළ දැවැන්ත දන්සල පිහිටියේ දකුණට වන්නටය. එහි එකට යා කළ දැවැන්ත ශාලා තුනක් දක්නට ලැබිණි. එම පිට්ටනියේ වාහන දෙතුන් සියයක් වුවත් නවත්වන්නට පහසුකම් පෙනෙන්නට තිබිණි.
මෙම වෙසක් කලාපයේ අපට ගෝණි සහ කඩදාසිවලින් හැදූ අමුතුම තුන් පැත්තකට කැරකෙන කූඩුවක් දැකගත හැකි විය. එහි උස අඩි 17කි. එය ඉදිකර තිබුණේ 10 වැනි සංඥා බළකාය විසිනි. මේ ගැන පැහැදිලි කළේ මාණ්ඩලික සැරයන් දයාරත්නය.
“අපි දහ දෙනෙක් මේ කූඩුව සති දෙකක් තිස්සේ හැදුවා. අපි සල්ලි එකතුකරල තමයි වියදම් පියව ගත්තෙ. කඳවුරේ හදලා කෑල්ලෙන් කෑල්ල ගෙනත් හයිකළා.”
“එතකොට අර ලයිට් පත්තුවෙන නිවෙන ලයිට් කොටේ කවුද හැදුවේ?”
“ඒකත් අපිම තමයි හැදුවේ. මේ ඉන්න අපි ටික තමයි මේක හැදුවේ.”
අප එතැනින් හයිලෙවල් පාරේ එහාටත් මෙහාටත් ඇති කූඩු, දන්සල්, තොරන් බලමින් පොසොන් බැතියෙන් ගත කළෙමු.
ඊළඟට අපි පිවිසියේ පිටිපන උතුර තොරණටය. එතැනට පන්දහසකට සහභාගි විය හැකි බත් දන්සලකි. තොරණ ගැන කියන්නට අපට එක් වූයේ නිශාන්ත ය.
“මේ තොරනේ කියවෙන්නේ අටලෝ දහම ගැන. චිත්‍ර ඇන්දේ තලාහේනේ ඉන්න නිශාන්ත පෙරේරා. කතාව හා පිටපත මර්වින් සේනාරත්නගේ දුව සේනානි සේනාරත්න. එයා ඉන්නේ කොට්ටාවේ. විදුලි ආලෝකය සැපයුවේ චන්ද්‍රසිරි ඉලෙක්ට්‍රිකල්ස්.”
තොරණට යාබදව තිබුණේ දන්සලකි. එය භාරව හිටියේ පතිරණය.
“අපි මේ සැරේ 5,000කට කන්න දන්සල දෙන්න යන්නේ. දැනුත් PHI ඇවිල්ල චෙක් කරල ගියා. කොහොමත් අපි පිරිසුදුවට තමයි කරන්නේ.”
එය සංවිධාන කොට තිබුණේ කිරිබේරිය කැලේ තරුණ කැල විසිනි. දන්සල හරියටම පටන් ගත්තේ හවස පහටය. එයත් පසුකර යන විට අපට හමු වූයේ අමුතුම තාලේ කූඩුවකි. එය නිර්මාණය කොට තිබුණේ ලී කුඩු උපයෝගී කරගෙනය.
“දැන් මේ මහකූඩුවේ රත්හඳුන් කුඩු ආලේප කරල තියෙන්නේ. පැටවුන්ගේ කූඩුවල ගාලා තියෙන්නේ සුදු හඳුන් කුඩු.”
ජනිත් චමරංග නම් මේ පාසල් සිසුවා සහායට සෝමසිරි කත්‍රිආරච්චි පැමිණ සහයෝගය දුන්නේ අප බලාගෙන සිටියදීය.
මේ පොසොන් කලාපය පුරා ඔබමොබ ගමන් කරද්දි එක් දර්ශනීය කූඩුවක් ළඟ සිටියේ පාසල් සිසුන් පිරිසක් සමඟ ගුරුවරියකි. ගුරුවරියගේ නම තනුජා සේනානි ය.
“අපි හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ළමයි තමයි මේ කූඩුව හැදුවේ. අපිට සති එකහමාරක් ගියා මේක හදන්න. තනිකරම අලවල තියෙන්නේ ඩිමයි කොළවලින්. ආලෝකකරණය, මෝටර් සවි කිරීම ඔක්කොම කළේ මේ ඉස්කෝලේ ළමයිම තමයි. අප තවත් විසිතුරු කූඩුවක් දැක්කේ හෝමාගම ඩිපෝව අසලදීය. ඒ අසලම දැවැන්ත තොරණක් ද විය. එහි චිත්‍රණය කොට තිබුණේ සුමන මාලක කතා වස්තුවයි. තොරණ කෙටස් 12කින් යුතු විය. එහෙත් එහි චිත්‍ර ශිල්පියා, විදුලි ආලෝක ශිල්පියා, කටු තොරණ හැදූ පුද්ගලයන් ගැන කිසිවක් සඳහන් වූයේ නැත.
එතැන වූ විසිතුරු පහන් කූඩුවේ සිටි ශිල්පීන් පැමිණ සිටියේ හොරණ ඩිපෝවෙනි. පාරට විරුද්ධ පැත්තේ හොරණ ඩිපෝවේ බස් රථයක් නවත්වා තිබුණු අතර කූඩුවේ ඇතැම් කැටයම් ඔවුන් කපමින් සිටියේ සීට් මත තබාගෙනය. අප සමඟ කතාබහට එක් වූයේ ඒ අතර සිටි ප්‍රදීප් ය.
“අපි හොරණ ඉඳන් ආවේ. බඩු ගෙනල්ල මෙතැන ඉඳන්ම කූඩුව හදන්න පටන් ගත්තා. මේවා ඔක්කොම අලවපු කොළ. කූඩුවට විදුලි ආලෝකය දුන්නෙත් ඩිපෝවේ ඉලෙක්ට්‍රික් වැඩ කරන අයමයි. ”
අපි තවත් දැවැන්ත කූඩුවක් නිර්මාණය කොට තිබූ කුටියකට පිවිසියෙමු. එහි කූඩුව භාරව සිටියේ නන්දසිරිය.
“අපි ආවේ අවිස්සාවේල්ල ඩිපෝවෙන්. අපි මුලින්ම මේ කූඩුවට සව්කොළ, ඩිමයි වෙනුවට ගොක්කොළ තමයි යොදාගන්න හිටියේ. ඒත් වැස්ස නිසා කවුරුත් ගස් නගින්න බයයි. ඒ පැත්තේ අකුණු අනතුරුත් වෙනවා. ඒ නිසා අපි හබරල කොළවලින් කූඩු ආවරණය කරන්න හිතුවා. ඒත් ඒවා ගංවතුරට යටවෙලා නිසා අන්තිමට අපිට සව්කොළයි – ඩිමයි යොදාගන්න සිදු වුණා. සව්කොළ වුණත් පින්නට පෙඟෙනවා. ඒක හින්ද අන්තිමට තෙල් කොළෙන් කූඩුව ලස්සන කරන්න සිදු වුණා.”
නැවත හයිලෙවල් පාරට පැමිණි අපට දැකගත හැකි වූයේ කපන ලද කූඩුවත් නැවත සවි කිරීමට කරන උත්සාහයකි.
“අපි ආවේ දැරණියගල ඉඳල. වහින හින්ද ගේ ඇතුළේ තියන් කූඩුව හැදුවා සාලේ මැද. කොළත් ඇලෙව්වට පස්සේ බැලුවේ ගෙදර දොරෙන් එළියට ගන්න බෑ. මොකෝ වහලය ගලවල ගන්නද? අන්තිමට ඔක්කොම කට්ටිය එකතු වෙලා ජොයින්ට්වලින් කූඩුව කපල තමයි ගෙනාවේ. දැන් බයින්ඩින් කම්බි දාල ගැට ගහල කපපු තැන්වලට සව්කොළ රැලි අලවල වහනවා.”
හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය පුරා ඇවිද ගිය අපට පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් වූයේ එය මනා ලෙස ක්‍රමවත්ව සංවිධාන කොට ඇති බවය. දියගම, පිටිපන, දම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය කරමින් මෙම ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය කිලෝමීටර් 13ක් පුරා පැතිරී ඇති නිසා මෙහි එන බැතිමතුන්ට කිසිදු අවහිරයකින් තොරව මේවා නැරඹිය හැකිය.
හෝමාගම ධර්ම රශ්මි පහන් කූඩු තරගවල ජයග්‍රාහකයන්ට ලබා දීමට නියමිතව ඇති ත්‍යාගවල වටිනාගම රුපියල් ලක්ෂ 40කි. ඒ කියන්නේ මේ ධර්ම රශ්මි පොසොන් කලාපයට එක්වන කූඩු තරගකරුවන්ට අත පිරෙන්නට රන්මසු ලබාගත හැකි බවය. කෙසේ වෙතත් කොළඹ ආශ්‍රිතව මෙවැනි පොසොන් කලාපයක් විධිමත් ලෙස සංවිධාන කිරීම කාර්යබහුල ජීවිතයක් ගෙවන කොළඹ ජනතාවට නම් කදිම සහනයක් වන අතර, පොසොන් කලාපය වන්දනා කරන අතරතුර ආහාරපානාදිය පවා නොමිලේ ලැබෙන බැවින් එය තම පසුම්බියට ද පහසුවක් වනු නියතය.
ඡායාරූප – රංජිත් අසංක
වජිර ලියනගේ