Home » මං කොළඹ ඉන්න කැසිනෝකාරයන්ගේ සල්ලි එකතු කරගෙන පාසල්වලටයි ඉස්පිරිතාලවලටයි බඩු බෙදන්නේ නැහැ

මං කොළඹ ඉන්න කැසිනෝකාරයන්ගේ සල්ලි එකතු කරගෙන පාසල්වලටයි ඉස්පිරිතාලවලටයි බඩු බෙදන්නේ නැහැ

by Mahesh Lakehouse
June 22, 2024 12:34 am 0 comment

– තාත්තා ජනාධිපති වෙලා හිටියා කියලා පුතාට රට භාර දුන්නොත් ඉවරයි
– මේ වගේ තකතීරු දේශපාලකයෝ රටේ නායකයෝ වෙන්නත් බලා ඉන්නවා

කැසිනෝ සල්ලිවලින් පාසල්වලට සහ රෝහල්වලට බඩු බෙදන නායකයන් බලයට පත් වුවහොත් රට විනාශ වන බවත් එවන් අයට ඡන්දය ලබාදුණහොත් එය අනාගත පරම්පරාවට පවා ද්‍රෝහිවීමක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පක්ෂ නායකයෙක් වු පලියට, පියා ජනාධිපතිවරයකු වූ නිසා හෝ නෑකම් තිබුණු පලියට හරි, පක්ෂවල උරුමය තිබුණු පලියට බලයට පත්විය නොහැකි බවත් යම් හෙයකින් එවැන්නකුට රට නැවත භාර දුනහොත් රට විනාශ වන බවත් ඔහු පැවසීය.

ලක්ෂ පහක් වැනි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම වෙනුවෙන් උතුරට ගොස් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබා දෙන බව කියන තකතීරු දේශපාලකයන්ට උතුරේ පමණක් නොව දකුණේ ඡන්දත් නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්විම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් තමන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන්නේ දැයි තමන්ගෙන් විමසූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේය. කෙසේ වුවද සිය කතාව සඳහා විපක්ෂය විසින් වේලාව ලබා නොදීම හේතුවෙන් සිය කතාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් වෙලාව ලබාදුන් බවද සරත් ෆොන්සේකා මහතා අනාවරණය කළ අතර ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායකවරයාට ඡන්දය ලබාදී අමාරුවේ නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

සිය අදහස් දැක්විම අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

‘‘මම ජනතා නියෝජිතයෙක්. මම විපක්ෂයේ ඉන්න දෙවැනියට වැඩියෙන් ඡන්ද ගත්ත කෙනා. මම එක්ලක්ෂ දහතුන් දහසක් ඡන්ද ගත්තා. මට වෙලාව දෙන්න බැහැ කියපු කෙනා මම හිතන්නෙ ඡන්ද ගත්තෙ හැත්තෑ දහසක්. අපිට මෙතැන කතා පවත්වන්න පුළුවන් වෙන්නෙ එක එක්කෙනාට කඩේ ගියොත් විතරයි. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතා කළේ. මමත් අතෑරියෙ නැහැ. මෙම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වෙලාව ලබා ගත්තා. මට වෙලාව දීමට කටයුතු කළ අයට මම ස්තුති කරනවා. මන්ත්‍රීවරුන්ට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ ප්‍රතිශතයක් අනුව. එහෙම නම් අපට කතාවක් ලැබෙනවා ද නැද්ද කියන එක ගැන දැන ගන්න යම් ක්‍රමයක් සකස් කළ යුතු වෙනවා. ඒ වෙන් කෙරෙන වෙලාවෙන් විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි හතළිහකට වැඩිය කතා කරනවා. මම කතා කරන්නෙ රැස්වීම් තුනකට එක පාරයි. අපිට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් පාවිච්චි කරලා ඒ මිනිහට අපි කඩේ යන්නෙ නැහැ කියලා කතා කරන්න අවස්ථාව දෙන්නෙ නැත්නම් ඒකෙ වරදක් තියෙනවා. මේ වරද නිවැරදි කරන්න ඕනෑ. කාටවත් අසාධාරණයක් වෙන්න දිය යුතු නැහැ. අපි වැඩ කරන්නේ අවංකවයි. අපි මිනිසුන්ට අරක්කු දීලා ඡන්දෙ කරලා නැහැ.

මම මගේ දූත් එක්ක එකතු වෙලා පගා ගහලා කරලා නෙමෙයි අපි දේශපාලනය කරන්නෙ. එහෙම නැත්නම් මම කොළඹ ඉන්න කැසිනෝකාරයන්ගෙන් සල්ලි එකතු කරලා පාසල්වලටයි ඉස්පිරිතාලවලටයි බඩු බෙදන්නෙ නැහැ. මම අරක්කු වීදුරුවක්වත් නොදී දේශපාලනය කරන්නෙ. ඒ නිසා මේ වරප්‍රසාද අපට ලැබිය යුතුයි. මගේ ආසනයටත් දැන් දිස්ත්‍රික් සංවිධායකයෙක් දාලා. දැන් අරක්කු බෙදනවා .වෙසක් එකට දන්සලක් දාලා දන්සලෙන් නූඩ්ල්ස් බෙදන අතරෙ සංවිධායකයා පිටිපස්සේ අරක්කු දෙනවා. මේ වගේ දේවල් වෙද්දි මේ රටේ අනාගතය ගැන විශාල කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි එක එක ජවාරම් කාරයන්ගෙන් කැසිනෝකාරයන්ගෙන් මුදල් එකතු කර කර ගිහිල්ලා එක එක තැන බඩු බෙදලා ජනතාවගෙන් අහන්නේ නැහැ මේක නේද ඕගොල්ල බලාපොරොත්තු වෙන වෙනස කියලා. මමත් හිටියා ඒ රැස්වීමක. බඩු බෙදලා අහනවා මේ රට ඉල්ලන වෙනස මේක නේද කියලා. මේ වගේ තකතීරු දේශපාලකයො රටේ නායකයො වෙන්නත් බලා ඉන්නවා. මේ වගේ තකතීරු දේශපාලකයො ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි. පක්ෂ නායකයො කියන පළියට මිනිස්සු ඔවුන් මේ රටේ නායකයො කර ගත්තොත් රට ගොඩ එන්නේ නැහැ. ඒක තමයි මේ දූෂිත දේශපාලනයෙ තියෙන ආදීනව. මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයො කියලා පිරිසක්. මේ ප්‍රබලයො කියන මිනිස්සු බාගයක් දූෂිතයි. සියයට පහළොවක් විස්සක් ඉන්නවා ඒ අයට දැක්මක් නැහැ. පක්ෂ නායකයො ජනාධිපතිවරණයට ගියාම ජනතාවට විකල්පයක් නැහැ. මෙලෝ රහක් නැති දැක්මක් නැති මිනිස්සු ගැන ජනතාව අවබොධ කර ගත යුතුයි. රටට හොඳ නායකයෙක් සිටිය යුතුයි. මේ පාර්ලිමේන්තුවෙන් මේ රට හදන්න බැහැ. පාර්ලිමේන්තුවේ සියයට පනහක් දූෂිතයි. හරි නායකයෙක් එන්න ඕනෑ. ඒ නායකයා තෝරාගැනීමේදි තාත්තා ජනාධිපති වෙලා සිටි පළියට හරි පක්ෂ නායකයා වූ පලියට හරි නැත්නම් නෑකමට හරි උරුමට තිබූනු පළියට හරි රට භාර දුන්නොත් රට ඉවරයි .

මේ තත්ත්වය ‍තේරුම් ගන්න. රට ගොඩගන්න නම් බුද්ධිමත් දැක්මක් තියෙන නායකයෙක් පත් කර ගන්න. කැසිනො සල්ලිවලින් බඩු බෙදන අය නායකයො වුණොත් රට ඉවරයි. එහෙම අයට ඡන්දෙ දුන්නොත් තමුන්නාන්සෙලා අනාගත පරම්පරාවට ද්‍රෝහී වෙනවා කියන එක මම කියන්න ඕනෑ.එක එකා ගිහිල්ලා අරව මේවා බෙදුවා කියල දුප්පත්කම නැතිවෙන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division