සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය 20 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවකදී දැඩි ප්‍රහාරයක් එල්ල කළේ සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතය.
එදින පාර්ලිමේන්තුවට පැමිණි සරත් ෆොන්සේකා කතාවකට සූදානම් වන බව ඉවෙන් මෙන් දැනගත් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ෆොන්සේකාට වේලාවක් ලබාදීමට අදිමදි කළේ ෆොන්සේකාගේ කතාවෙන් තම නායකයාට ප්‍රහාරයක් එල්ල වන බව දන්නා නිසාය.
කෙසේ නමුත් තම කතාවට වේලාවක් කෙසේ හෝ ලබාගත් ෆොන්සේකා දිගට හරහට සජිත් ප්‍රේමදාසට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.
ෆොනී හතර වටේ නෙළයි
පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන්කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් වේලාව වෙන් කරගෙනයි.
එහිදී ඔහු සජිත් ප්‍රේමදාස ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලටද නම් නොකියා චෝදනා එල්ල කළේය.
තාත්තා ජනාධිපති වූ පලියට පුතා වැනි අයෙකුට කිසි දවසක මෙරට නායකත්වයට පත් නොකළ යුතු බව ජනතාව තේරුම්ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.
ඔහු වැනි තකතීරුවෙකු රාජ්‍ය නායකත්වයට පත් කර රට කිසිදා මේ අපායෙන් ගොඩගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
තමන් කැසිනෝකාරයන්ගෙන් ජාවාරම්කාරයන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වලට බඩු බෙද බෙදා නොදෙන බවද පැවසූ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගසා කා නැති බවත් කියා සිටියේය.
අද එම මධ්‍යම අධිවේග පාරේ කොටස් ගැලවී බිම ඇද වැටෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් සමගි ජන බලවේග පාර්ශවයෙන් එම ප්‍රකාශයන් සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වූහ.
ඔවුන් කියා සිටියේ ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එය නොලැබුණ හේතුවෙන් පක්ෂයට මෙසේ චෝදනා එල්ල කරන බවයි.
රිෂාඩ්, ජනපතිව අගයයි
ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිටියේ මන්නාරම දිස්ත්රික්කයේය. මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් මුණගැසී මුලින්ම ආශීර්වාද ලබාගත් ජනපති රනිල් ඉන්පසුව ගියේ උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ අවස්ථාවට එක්වීමටය. ඊට මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
දිවා ආහාර අවස්ථාවේදී ඔවුන් දෙපල බොහෝ වේලාවක් කතා බස් කරනු එහි සිටි අයට දැක ගත හැකි විය. උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයේදී මන්ත්‍රී රිෂාඩ් ජනපති වැඩපිළිවෙළ අගය කරමින් කතා කළේය. සඳුදා නිවාඩු දිනයක් වුවද ජනපති රනිල් ඇඹිලිපිටියට ගියේ මහවැලි වලව කලාපයේ ගොවීන්ට ඉඩම් ඔප්පු පිරිනැමීමටය.
වැඩිම ප්රතිලාභ දුන් ජනපති
“ඔබතුමා ඉඩම් ඔප්පු දෙනවා, අස්වැසුම දෙනවා, ශිෂ්‍යත්ව දෙනවා. ජනතාව වෙනුවෙන් මෙපමණ ප්‍රතිලාභයක් වසර දෙකකදී දුන් එකම ජනපති ඔබ දැයි.” පැමිණි ජනතාව ඔහුගෙන් විමසුවේ උද්යෝගයෙනි.
අඟරුවාදා පෙරවරුවේ ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ විශේෂ ප්‍රකාශයක් කිරීමටය. ඒ කාන්තාවන්ගේ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බාධාවක් වී ඇති බව පෙන්වා දීමටය. රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනපති රනිල් මේ ගැන දීර්ඝ විස්තරයක් කළේය.
මේ අතර නැඟුන ගෙවල් කුලී බද්ද ගැන ප්‍රශ්නයට ජනපති පිළිතුරු දුන්නේ එය රටේ ගෙවල් කුලියට දී ඇති අයගෙන් 90% ට බල නොපාන බව කියමිනි. එය බලපාන්නේ ඉහළ ධනපතියන් 10% ට බවද ඔහු පෙන්වා දුන්නේය.
ජනපති විපක්ෂයේ ලොබියට
ජනපති රනිල් සිය කතාව අවසන් කොට ගියේ විපක්ෂයේ ලොබිය වෙතය. ඒ යන විටත් විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් එහි අසුන්වලට බරදී සතුටු සාමිචියේ යෙදී සිටියෝය. මේ අතර අහඹු ලෙස එහි පැමිණි ජනපති දුටු සැණින් ඔවුන් ආසනවලින් නැඟී සිට ජනපතිට ද අසුන් ගන්නට ආසනයක් සපයා දුන්නේය.
“මොනවද කට්ටිය කතා කරන්නේ.” ජනපති අසුන් ගත්තේ පිරිස දෙස බලමිනි.
මෛත්‍රී හෙළි කළ රහස
“හොඳ වෙලාවට ඔබතුමන්ලා මගේ ජනාධිපති ධූර කාලය අවුරුදු පහට අඩු කළේ…” හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන කියද්දී සැවොම විමතියට පත්ව එකිනෙකා දෙස බලන්නට වූහ.
“දැන් අවුරුදු පහට මගේ ධූර කාලය අඩු කර ගත්තේ නැත්නම් මම තමයි කොවිඩ් ප්‍රශ්නෙදී හිර වෙන්නේ. අනෙක මට තමයි කොවිඩ් එකත් එක්ක එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ.” හිටපු ජනාධිපතිවරයා කීවේ ඇඟට පතට නොදැනෙන්නටය.
“ ඒ කියන්නේ ඔබතුමාට එන්න තිබුණ එකක් ගෝඨාභය ජනාධිපතිතුමාට මුහුණ දෙන්න වුණා කියන එකද මේ කියන්නේ” එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු විමසූවේ කාටත් සිනා නංවමිනි.
හර්ෂණට සිදු වූ අකරතැබ්බය කුමක්ද?
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පිරිස දෙස බලමින් එම ස්ථානයෙන් යනු එහි සිටි සැමටම දැක ගත හැකි විය. අන්න ඔබතුමාලගේ නායකයා යනවා එහි සිටි මහාචාර්ය ආශු මාරසිංහ කීවේ සැමටම ඇසෙන පරිදීය.
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ද ඒ අසලින් යද්දී ජනපති විමසුවේ කෝට්ටේ සජබ කාර්යාලයේදී ඔබතුමාට කාන්තාවකගෙන් ප්‍රශ්නයක් වුණා කියලා ආරංචියි කියාය. “ නෑ නෑ ඒක කෝට්ටේ නොවෙයි නොම්මර 30 කාර්යලයේදී වුන එකක්. ලොකු දෙයක් නොවෙයි.” කියමින් හර්ෂණ එතනින් ලිස්සා ගියේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඔහු නවතා ගන්නට තනද්දීය.
“රජයේ නිලධාරීන්ට වාහන පර්මිට් දීලා තියෙනවා. හැබැයි මන්ත්‍රීවරුන්ට දීලා නෑ. මන්ත්‍රීවරු හැටියට අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා.” විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ජනපතිට මැසිවිලි කියන්නට වූහ.
සජිත්, රනිල්ට කීවේ මොනවාද?
“ඔබතුමන්ලා මේ ඉල්ලීම විපක්ෂ නායකතුමා හරහා ඉල්ලන්න. එතකොට ආණ්ඩු පක්ෂයත් එක්කත් කතා කරලා මට මේ කාරණයට විසඳුමක් දෙන්න පුළුවන්.” ජනපති රනිල් කියද්දී නැවතත් විපක්ෂ නායක සජිත් ඒ අසලින් යාමට පැමිණියේය.
“ආ මේ ඉන්නේ විපක්ෂ නායකතුමා. දැන් මෙතුමට කියන්න.” ජනපති රනිල් යළි කියද්දී විපක්ෂ නායක සජිත් “මට මුකුත් ඇහුනේ නෑ. මගේ කණේ අගුල් වැටිලා කියමින්.” එතනින් ඉවත්ව ගියේය.
“නඩුවක වුණත් නිහඬතාවය කියන්නේ කැමතියි කියන එකයි. විපක්ෂ නායකතුමාගේ නිෂ්ශබ්දතාවයෙන් පෙනී ගියේ එතුමත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට කැමතියි කියන කාරණයයි.” හිටපු ජනපති මෙත්‍රීපාල සිරිසේන කියද්දී සැවොම කොක් හැඬලූහ.
ජනපති ඉන් පිටත්ව ආවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට මෙන්ම කැබිනට් රැස්වීමට ද සහභාගීවීමෙන් අනතුරුවය. ජනපති අධිකරණයේ ක්‍රියා කලාපය ගැන කළ ප්‍රකාශයෙන් පසුව විධායකයත් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර තිබෙන ගැටලුව ගැන බොහෝ මන්ත්‍රීවරු කතාබහ කරන්නට වූහ.
මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවක් ඉල්ලන්නේ ඇයි?
විධායකය කැබිනට් මණ්ඩලය හරහා ව්‍යවස්ථාදායකයට වගකීවත් අධිකරණය ව්‍යවස්ථාදායකය අභිභවා බලයක් ලබා ගැනීමට යාම ගැන මන්ත්‍රීවරු අදහස් පළ කරන්නට වූහ. මන්ත්‍රී අයිතිවාසිකම් බලහත්කාරයෙන් අධිකරණයට ගැනීම ගැන සොයා බලා පියවර ගැනීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ජනපති ඉල්ලීම ඉදිරියට ගෙන යමින් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කථානායකවරයාගෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටින්නට වූහ.
පාර්ලිමේන්තුවේ සිට ජනපති රනිල් කෙළින්ම පැමිණියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙතය. ඒ පක්ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ දෙවන අදියරට එකතුවීම උදෙසාය.
ජනපති රනිල් සිරිකොතට
එදින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ට ජනපති ප්රමුඛ රජය මෙපමණ කාලයක් කර තිබෙන වැඩ කොටස ගැන දේශනයක් මහලේකම් රංගේ සංවිධානය කර තිබූ අතර එය නිම කර ඔවුන් සිරිකොතට ලහි ලහියේ පැමිණියේ ජනපතිගේ මෙම උත්සවයට එක්වීමටය.
ජනපති රනිල් කතිකයන් සංඛ්‍යාව සීමා කරන ලෙස දැනුම් දී තිබූ නිසා කෙටි කතා තුනකට පමණක් අවස්ථාව හිමි වූවේය. මහලේකම් රංගේ, සභාපති වජිර හා උප නායක අකිල විරාජ් කතා කිරීමෙන් අනතුරුව ජනපති රනිල් සභාව ඇමතුවේය.
ඔහු ද පාර්ලිමේන්තු කතාවේම දිගුවක් කරමින් විනාඩි කිහිපයකින් කතාව අවසන් කොට මහලේකම් රංගේට ආරාධනා කළේ පත්වීම් ලිපි බෙදාදීමටය. පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු සතිපතා රැස්වෙන පක්ෂ කළමනාකරණ කමිටුව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදීම රැස්වූවේය. පක්ෂ සංවිධාන කටයුතු ගැන මෙන්ම වැඩ නොකරන පිරිස් ඉවත් කිරීම ගැන ද මෙහිදි ජනපති මහලේකම් රංගේට උපදෙස් දුන්නේය.
ඉන් පසුව පක්ෂ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ගැන ද කතාබස් කෙරිණ. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ලසන්ත ගුණවර්ධන, ශමල් සෙනරත් හා රොනල්ඩ් පෙරේරා යන අයට වගකීම් පැවරූ ජනපති රනිල් ඔහුගේ ඉදිරි දිනවල පැවැත්වෙන රැස්වීම් ගැන ද අදහසක් කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කර තිබුණි.
අධිකරණ ක්රියාදාමයේ ගැටලු ගැන ඇමැතිවරුන්ගෙන් පැමිණිලි
බදාදා පෙරවරුවේ ජනපති රනිල් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව වෙත ගියේ කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමටය. ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ ප්‍රදර්ශනයෙන් පසුව ඔහු යළිත් පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදි ද මැති ඇමැතිවරු රැසක් අධිකරණ ක්රියාදාමයේ ගැටලු ගැන ජනපති සමඟ කතාබහ කළෝය.
සවස අරලියගහ මන්දිරය වෙත ඔහු ගියේ ජනාධිපති අරමුදලින් පිරිනැමෙන පළමු ශිෂ්‍යත්ව වැඩසටහනට එක්වීමටය. දරුවන් අතරින් පැමිණි ජනපතිට දරුවන්ගෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. එහි සිටි ගුරුවරුන්ද ජනපති ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරමින් කතා කළෝය.
පසුදින ජනපති ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ වෙනදා මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන රැස්වීම් කිහිපයක් කාර්යාලය වෙත කැඳවා තිබූ බැවිනි. ඊට පෙර ඔහු එහි පැමිණි මැති ඇමැතිවරු කිහිප දෙනෙකු ද මුණගැසිනි.
පාර්ලිමේන්තුව යටත් නොකරන බවට ප්‍රකාශ
“පාර්ලිමේන්තුවේ බලය උසාවියට ගන්න දෙන්න බෑ. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා අධිකරණය අධ්‍යාපන ගුරු පත්වීම් නතර කිරීමක් ගැන කියපු කතාව ඉතාම සංවේදීයි.” ඇමැති මනූෂ කීවේ කණගාටුවෙනි.
“ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ගේ අයිතිය තහවුරු කරන්න කතා කළාට පස්සේ දැන් හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. පාර්ලිමේන්තු බලය වෙනත් පාර්ශ්වයකට ගන්න බෑ.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේය.
“තේරිම් කාරක සභාවක් පත් කරලා මේ ප්රශ්නය විසඳා ගන්න ඕනේ.” මන්ත්‍රී දොලවත්ත කීවේ එවන් කතාවකි.
නීතිපතිගේ සේවා දිගුවේ යෝජනාව යළිත්
නීතිපතිගේ පත්වීම ප්‍රතික්ෂේප වීම ගැනද මෙහිදි කතාවක් ඇදී ආ අතර ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා ගත් ස්ථාවරයෙහි නීතිමය ගැටලුවක් පවතින බව මන්ත්‍රීවරු කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.
“ව්‍යවස්ථාදායක සභාවට ඔබතුමා යවපු නම ප්‍රතික්ෂේප කළාට නීතිය අනුව නැවතත් එම නමම ව්‍යවස්ථාදායක සභාවට යවන්න ඔබතුමාට බලය තියෙනවා.” නීති නිලධාරියෙක් කීවේය.
“නීතිපතිතුමාගේ නම නැවතත් යවනවාද.” ආශු විමසද්දී ජනපති සිහින් සිනාවක් ආරූඬ කර ගනිද්දි ඔහු කරන්නට යන දේ සැමට පැහැදිලි වූහ.
බෞද්ධ කණ්ඩායමක් පිටුපස බෝන් අගේන්
බෞද්ධ කණ්ඩායමක් දැන් කලබල වෙලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනතත් එක්ක. බෞද්ධ සම්මේලනයත් ප්රවෘත්ති සාකච්ඡාවක් තියලා තිබුණා. හැබැයි එයාලට අමතක වෙලා බෝන් අගේන් කෙනෙකුත් මේක පිටිපස්සේ ඉන්නවා කියන එක. මේ බෞද්ධ කණ්ඩායම් දැන් වැඩ කරන්නේ මේ කට්ටියට ඕන විදියට ද.” මන්ත්‍රී දොලවත්ත තවත් බෝම්බයක් පත්තු කළේය.
මෝදිගේ පණිවිඩයක් රැගෙන ඉන්දීය විදේශ ඇමති මෙරටට
භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන සන්ධානය බලයට පත්වීමෙන් පසු එහි විදේශ ඇමැතිවරයා ලෙස පත්වූ එස්. ජයිශංකර් බ්‍රහස්පතින්දා කොළඹට පැමිණියේ ඔහු පත්වීමෙන් පසු කරන පළමු විදේශ සංචාරය ලෙසය. තුන්වන වරටත් පත්වූ අගමැති මෝදිගේ පණිවුඩයත් රැගෙන ඔහු ජනපති ඇතුළු පිරිස මුණ ගැසුණු අතර ජනපති හා ඇමැති යන දෙදෙනා අතර පමණක් වෙනමම සාකච්ඡාවක් පැවැතියේය.
දිවා භෝජනයෙන් පසු ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ජනපති රනිල් පොසොන් පෝ දින සවස තන්තිරිමලේ රාජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු උරුමය ඔප්පු ප්‍රදානයට මඩකලපුව හා අම්පාර බලා පිටත්ව ගියේය.
ඇමැති ප්‍රසන්නට නාමල්ගෙන් ඇමතුමක්
ඉකුත් සතියේ දිනයකදී පොහොට්ටුවෙ කාන්තා හඬ මැයෙන් සම්මන්ත්‍රණයක් බියගම හෝටලයක පැවැත්විණි.
මෙය සංවිධානය කර තිබුණේ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොළය.
මේ සඳහා දිස්ත්‍රික් නායක,ඇමැති ප්‍රසන්න රණතුංගට ද ආරාධනා ලැබී තිබුණි.
එම සමුළුවට සහභාගීවීමට සූදානමින් සිටියදී ඇමැති ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ලැබුණි.
“ප්‍රසන්න අයියේ.. මම නාමල්.. බියගම වැඩේට ඔයා එන්නම ඕන.. මමත් එනවා”
මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද, ඇමැති ප්‍රසන්නට ආරාධනා කළේය.
“දිස්ත්‍රීක්කයේ වැඩවලට මම කොහොමත් එනවා.මට ආනන්දත් කතා කළා. හැබැයි මල්ලි මට හුඟාක් වෙලා ඉන්න බෑ.. වෙන වැඩක් තියෙනවා.” ඇමැති ප්‍රසන්න කීය.
නමුත් නාමල් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් එනතුරු එම ස්ථානයේ රැඳී සිටින ලෙසය.
නාමල් වේදිකාවේ තියාගෙන ඇමැති ප්‍රසන්න කළ කතාව
ඇමැති ප්‍රසන්නගේ කතාව යෙදී තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාවට පෙරය.
“දැන් හුඟාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මමයි, නාමල් මන්ත්රීතුමයි තරහයි කියල. එහෙම දෙයක් නෑ. නාමල් මන්ත්‍රීතුමාට හොඳ දැක්මක් තියෙනවා. එතුමා අනිවාර්යයෙන්ම රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක්. නමුත් මේක නෙමෙයි වෙලාව. මම එදත් ඒක කිව්ව.. අදත් ඒක කියනවා.”
ඇමැති ප්‍රසන්න කී කතාවට නාමල් ද සිනාසෙමින් අසා සිටියේය.
“නාමල් මන්ත්‍රීතුමා, අපි දණගාගෙන ගිහිල්ලා දැන් බොහෝම අමාරුවෙන් නැඟිටින්න ට්‍රයි කරන වෙලාවක් මේක. ඒ නිසා මේ වෙලාවේ අත්හදා බැලීම් කරන්න බෑ. කප් එක ගන්නනම් අපිට මේ ජනාධිපතිතුමා එක්කම ගේම් එක ප්ලේ කරන්න වෙනවා. බැරි වෙලාවත් අනුරට හරි සජිත්ට හරි බලය දුන්නොත් වෙන්නෙ කටුව පිටින් දූරියන් ගිල්ලා වගේ වැඩක්. ඒ නිසා මේ ටර්නින් පොයින්ට් එකේදී අපි එකතුවෙලා ගේම් එක වින් කරමු” යැයි ඇමැති ප්‍රසන්න කීවේ මන්ත්‍රී නාමල්ගේ ද අත්පොලසන් නාදය මැදය.
ප්‍රසන්නට නාමල්ගෙන් සහතිකයක්
“ප්‍රසන්න අයියා අපේ තාත්තට හරිම ආදරෙයි. හැම සිංහල අවුරුද්දකම අපේ තාත්තා බලන්න ඉස්සෙල්ලම එන්නේ ප්‍රසන්න අයියා. අපිට දුෂ්කර අවස්ථාවල අපේ ළඟම හිටිය කෙනා තමයි මෙතුමා. ප්‍රසන්න අයියා වැඩිහිටියෙක් විදිහට මට අවවාද දෙනවා.සමහරුන්ට ඒව වැරදියට පේනව ඇති. අපි දෙන්න අතර කවදාවත් තරහක් තිබුණේ නෑ.” මන්ත්‍රී නාමල් කීවේ සංවේදීවය.
සම්මන්ත්‍රණය අවසානයේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණි. සම්මන්ත්‍රණයට සහභාගීවූවන් ඇමැති ප්‍රසන්න හා මන්ත්‍රී නාමල් සමඟ සෙල්ෆි ඡායාරූපවලට ද පෙනී සිටියහ.
” ගම්පහ විතරයි කචල් නැත්තේ” තේ බොන අතරදී නාමල් කීය.
“එහෙම තමයි… අපේ මහ ඇමැතිතුමා තනියම රේස් එක දුවන්නේ නෑ. අපිවත් ඇදගෙන තමයි රේස් එක දුවන්නේ.” හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු කීය.
“අරගලකාරයෝ මහ ඇමැතිතුමාගේ ගේත් ගිනි තිබ්බා. හැබැයි එතුමා දුක් වෙන්නෙ ඒ ගැන නෙමෙයි.අපි ගැන.” තවත් අයෙකු කීය.
අනතුරුව ඇමැති ප්‍රසන්න හා මන්ත්‍රී නාමල් වෙනම ස්ථානයකට වී කතාබහක නිරත වූ අතර එම ස්ථානයට පිටස්තර කිසිවෙකුත් සහභාගී වූයේ නැත.
එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැත්විණි.
මාතර මහින්ද රාජපක්ෂයේ ක්‍රීඩා උලළේ අධ්‍යාපන ඇමැතිවරු දෙදෙනෙක්
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. එහි විශේෂත්වයක් වූයේ හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් දෙදෙනෙකුම ආරාධිතයන් ලෙස ඊට එක්ව සිටීමය. ඒ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය. ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඇමැති බන්දුලය.
එහි විශේෂත්වයක් වූයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගියාට පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරයකු සහභාගී වූ කිසිදු උත්සවයකට මෙතෙක් සහභාගී නොවීමය.
බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එහිදී කතාවක් කළ ද ඩලස් කතා කළේ නැත.
ඒ අතරේ දැඩි අව් රශ්මියක් වැටෙන මහින්ද රාජපක්ෂ විදුහල ඉදිරිපිට බස් නැවතුමට රුපියල් ලක්ෂ 25ක වියදමින් නවීන පන්නයේ බස් මගී ආවරණයක් ලබා දී එය විවෘත කිරීමද බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතින් සිදු කෙරිනි.
ලාන්සාගෙන් සජබ මන්ත්‍රීවරුන්ට ආරාධනා
නව සන්ධානයේ දේශපාලන කටයුතු මේ දිනවල දැඩි වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ගතවූ සතියේ පාර්ලිමේන්තුවේදී නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපාගෙන් සහ එහි නිර්මාතෘ නිමල් ලාන්සාගෙන් පක්ෂ විපක්ෂ බොහෝදෙනා පාර්ලිමේන්තු ලොබියේදී කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙළ ගැන විපරම් කළහ.
” ඔබතුමාලගේ වැඩේ නම් නියමෙට යනවා. මිනිස්සු අතරත් ලොකු කුතුහලයක් තියනවා”කළුතර සජබ ප්‍රබලයෙක් අනුර යාපාට සහ ලන්සාට කීවේය. ” ඔව් ඔබතුමාලත් දැන් ඉතින් ඔය සජිත් මහත්තය දිහා බලාගෙන හිටිය ඇති ” අනුර යාපා කීවේ ඇඟට පතට නොදැනීමය.
අමරවීර කියන අපේක්ෂකයා කවුද?
“අපි රැස්වීම තිබ්බට පස්සෙ වෙන්ඩ ජනාධිපති අපේක්ෂකයෙකුත් ඇවිල්ල ඉස්කෝලේ ළමයිට පොර ටෝක් දුන්නා.ඉස්කෝලේ ළමයින්ට ටෝක්ස් දීල වැඩක් නෑ මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් ඕනෑ”අමරවීර ඇමැතිවරයා ද කතාබහට එක්විය. ” මෙච්චර කල් හම්බන්තොට එක පවුලකට තිබ්බ බලය ඔබතුමා අම්බලන්තොට රැස්වීමේදි කඩල දැම්ම. අපිත් ආවේ ටිකක් බයෙන් සෙනඟ නැතිවෙයි කියල. ඇත්තටම ආවට පස්සෙ ආපු සෙනඟ දැක්කම තමයි හිතුනේ නව සන්ධානයේ වැඩපිළිවෙළ සාර්ථකයි කියල” මුශාරෆ් මන්ත්‍රීවරයා කීවේ මුහුණ රැලි ගන්වමිනි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද මෙහිදී කීවේ නව සන්ධානයේ වැඩපිළිවෙළ හොඳින් ක්‍රියාත්මක වන බවය.
75 ශාපයේ කතාවට වජිරගේ විරෝධය
පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශී සභා අපේක්ෂකවරු ඇතුළු පනහකට අධික පිරිසක් පසුගිය 14 වෙනිදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්හ.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි මෙම පිරිස එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අතින් සිය නව සාමාජික කාඩ්පත ලබාගත් අතර පසුව එම පිරිස අබේවර්ධන සමඟ විශේෂ සාකච්ඡාවකටද එක්විය. පළමුව සාමාජිකත්වය ලබාගත් පිරිසගේ අදහස්, යෝජනා චෝදනා විමසූ වජිර පසුව ඔවුන් සියලු දෙනාටම ආමන්ත්‍රණය කෙරීය.
වජිරගෙන් දන්සැල් 100ක්
මෙවර පොසොන් පොහොය නිමිති කොටගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුළ පවත්වනු ලබන දන්සැල් සහ පිංකම් 100කට අධික ප්‍රමාණයක් සඳහා වජිර අබේවර්ධන පදනම මඟින් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන සිදු කෙරිණි.
වජිර අබේවර්ධන පදනමේ නිර්මාතෘ සහ සභාපති වජිර අබේවර්ධන විසින් ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම ආධාර සංකේතාත්මකව ලබාදුන් අතර එම දිනය පුරාම එම ආධාර බෙදාදීමේ කටයුතු පැවැත්විණි.
“සණස” සමඟ අජිත් ජන ජීවිතය නංවාලීමට යයි
අඩු ආදායම්ලාභී ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා ”සණස” ඉදිරිය වැඩසටහන රටපුරා ගෙන යන ක්‍රමවේද ගැන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ පැසසුමට ලක්විය.
සණස සමිති හරහා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා විවිධ ස්වයං රැකියා, ආධාර සේවා, උපදේශන සේවා ඇතුළු වැඩසටහන් රැසක් “සණස” මඟින් ක්‍රියාත්මක කරන අතර රටපුරා එම වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවන්වලට සහභාගී වීමට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කිරීම විශේෂත්වයකි.