නිසි අවස්ථාවේදීම IMF තුන්වැනි වාරිකය නිකුත් කළේ රජය IMF කොන්දේසි ඉටු කිරීම නිසා ඇති වූ විශ්වාසය මත බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. පක්ෂයක් විදිහට මේ ගැන ඔබේ අදහස කුමක්ද?
සමගි ජන බලවේගය හැටියට අපි ප්‍රකාශ කළේ IMF එකට යා යුතුයි කියන මතයයි. ඒ හරහා යම් ආකාරයකට ආර්ථික ප්රවර්ධනයක් කළ හැකියි කියන ස්ථාවරයේ අපි හිටියා. අපේ රටට IMFණය වාරිකය ලැබීම ගැන රටක් හැටියට අපි සතුටු වෙනවා. නමුත් ඒ අතර රටේ ඩොලර් අර්බුදය අවසන් කර ගැනීම සඳහා රජය ගන්නා වූ ක්‍රියාමාර්ග අපි දකින්නේ නැහැ. ණය ගන්නවාට සාපේක්ෂව නිෂ්පාදනය වගේම ආයෝජකයන් මේ රටට ගෙන ඒම සඳහා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නේ නැහැ කියලයි අපි කියන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජය ඒ ගැන අවධානය යොමු කරයි කියලා.
ඔබේ පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පැමිණියොත් IMF සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව පවසනවා. මේ සම්බන්ධයෙන් විවේචන තියෙනවා. ඒ ගැන ඔබේ තක්සේරුව කෙබඳුද?
අපේ ආර්ථික කමිටුව කියන්නේ විශේෂයෙන්ම ඒ රටේ ජනතාවට අහිතකර කොන්දේසි ඉවත් කරලා හිතකර කොන්දේසි අනුව IMF වැඩපිළිවෙළ ගෙන යෑමයි. සමඟි ජන බලවේගය රජයක් තුළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි අපි ප්‍රකාශයට පත් කළේ.
බංකොලොත් රටක් ලෙස තවමත් පවතින මේ රටේ ආර්ථිකය එක් සිදුවීමකින් වුවත් නැවත කඩාවැටීමට ලක්විය හැකියි. එවැනි තත්ත්වයක් මත IMF කොන්දේසි නැවත සංශෝධනය කළහොත් එය රටට අහිතකර විය හැකියි නේද?
අපේ ආර්ථික විශේෂඥයන් පවසන පරිදි සහ ඒ ආර්ථික වැඩසටහනේ සඳහන් වන පරිදි IMF වැඩපිළිවෙළ තුළ ඇති රටට අහිතකර වැඩසටහන් පිළිබඳ ඔවුන් සමඟ නැවත සාකච්ඡා කිරීමට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන්නට අපි සැලසුම් කර තිබෙන බව අපි ප්‍රකාශ කරනවා. ජනතාව ඉන්නේ විශාල අසීරුතා මැද. ඒ නිසා බදු සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරනවා. ජනතාව පීඩාවට පත් කරන අහිතකර IMF කොන්දේසි ඉවත් කරනවා කියන තැනයි අපි ඉන්නේ. රටට අහිතකර කොන්දේසි ඒ අයත් එක්ක සාකච්ඡා කරලා යම් යම් වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇති කරගත් ගිවිසුම සංශෝධනය කරන්නේ ජනතාව පත්ව තියෙන පීඩාවලින් නිදහස් කරන්න පමණයි. පක්ෂයක් ලෙස අපි වගකීමෙන් කිව්වා මේ රට නැවත ස්ථාවර කිරීමට නම් IMF යා යුතුයි කියලා.
එහෙත් මෙවැනි ගිවිසුම් සංශෝධනය කරන්න බැහැ නේද? එසේ කිරීමෙන් අද පැමිණ තියෙන ස්ථාවරත්වය නැතිවී රට නැවත අස්ථාවරත්වයට පත් විය හැකියි නේද?
රජය IMF එක හරහා ගත් ක්‍රියාමාර්ග නිසා මේ වන විට වැට් බද්ද වැඩි වෙලා තියෙනවා. ඊට සමඟාමීව 2025 වන විට කුලී පදනම මත නිවාස ලබා දීමේදී බදු වැඩි වීමක් වෙලා තියෙනවා. මේ වන විටත් ජනතාව පැහැදිලිවම අසීරුතාවට පත්වෙලා තියෙන බව පේනවා. බදු වැඩි කිරීම, තෙල් මිල වැඩි කිරීම, වැට් එක 18%ක් වීම ආදී මේ සියලු ක්‍රියාමාර්ගවලින් මහ ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් එල්ල වෙලා තියෙනවා. වියදම වැඩියි, ආදායම අඩුයි. IMF එක්ක සාකච්ඡා කරලා යම් ආකාරයකට ජනතාවට සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ මධ්‍යම පාන්තිකයන් දැවැන්ත ලෙස මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. 30% ආසන්න බද්දක් වැටුපෙන් අය වෙනවා. විශේෂයෙන් වෛද්‍යවරු ගත්තොත් මාසෙකට රුපියල් තිස්දාහක් විතර ඒ අයට අහිමි වෙනවා. අද බුද්ධි ගලනයක් සිදු වෙලා තියෙනවා. රටේ ඉන්න උගත්තු පිටරටවලට යන තත්ත්වයක් ඇතිවෙලා, ඔවුන්ගේ බදු බර වැඩි වෙලා ආදායම ප්‍රමාණවත් නැහැ. විදෙස් ප්‍රේෂණ වැඩි කරගන්න රජයට කිසිදු සැලසුමක් නැහැ. මැද පන්තියට මේක බලපානවා. බොල් ණය විදිහට කපා දමපු රාජ්‍ය බැංකුවල මුදල් ව්‍යාපාරිකයන්ගෙන් බදු නොගෙවූ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් එම මුදල් අය කර ගැනීමට රජය කටයුතු කරන්න අවශ්‍යයි. මේ දේවල් ගැන කිසිදු සැලසුමක් නැහැ. මේ සියල්ල ගැනම අපි අපේ රජයක් යටතේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති මැතිවරණය කල් දාන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලා ඔබේ පක්ෂයෙන් චෝදනාවක් තියෙනවා. නමුත් එය අනිවාර්යෙන් පවත්වනවා කියලා ජනාධිපතිවරයා කියනවා. සමගි ජන බලවේගය ඉදිරි ජනාධිපති මැතිවරණයට සූදානම්ද?
අපි පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයට මේ වන විට සූදානමින් කටයුතු කරනවා. එය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙළ මේ වෙන කොට සිදු කරමින් යනවා. පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිද්ධ වෙනවා. හැම දිස්ත්‍රික්කයකම හැම ආසනයකම හැම ඡන්ද මධ්‍යස්ථානයකම කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට සමඟාමීව මේ වනවිට ආසන එකසිය හැටපහේම නව සමාජිකයන් බඳවා ගැනීම වෙනවා. කාන්තා බලමණ්ඩල පවත්වමින් යනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සුහුරු පන්ති කාමර ලබා දීම වැනි ප්‍රායෝගික වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. අපි මැතිවරණයට සූදානම් වෙන ගමන් ප්‍රායෝගිකව රටේ අනාගත දරුපරපුර වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. ඒ අනුව සක්වළ වැඩසටහන ඔස්සේ හැම ආසනයකම පාසල්වලට සුහුරු පන්ති කාමර හා බස් රථ ලබාදීම සාර්ථකව පවත්වනවා. එම ව්‍යාපෘති ඉතාම සාර්ථකයි. මේ වනවිට සමස්ත රටේම දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව සමඟ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් යනවා.
ගම් මට්ටමේ ශාඛා තරුණ හා කාන්තාවන් බලමුළු ගන්වමින් පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගනිමින් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන් කරගෙන යනවා. විශේෂයෙන් තරුණයන් අප වටා එකතු වෙලා ඉන්නවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
රනිල්, සජිත් සහ අනුරලාගේ ප්රතිපත්තිවල කිසිදු වෙනසක් නෑ කියලා මව්බිම ජනතා පක්ෂය කියනවා. මිනිස්සු හොයන්නේ වෙනසක් කියලා ඒ අය කියන්නේ. ඇත්තද මේ කතාව?
දේශපාලන පක්ෂ අතර ප්රතිපත්තිවල වෙනස්කම් තිබෙනවා. අනුර දිසානායකලා සමාජවාදී ප්රතිපත්තීන් පිළිගන්න කටයුතු කරන සමාජ ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය කතා කරන පක්ෂයක්. විශේෂයෙන්ම දහතුන ගැන කතා කළත් ජනතා විමුක්ති පෙරමුණ දහතුන් වැනි ව්‍යවස්ථාව ගැන එවැනි පොරොන්දු වීමක් වෙලා නැහැ. ආර්ථික ප්‍රතිපත්තිය ගත්තත් පක්ෂයෙන් පක්ෂයට වෙනස්. පොහොට්ටුවයි සමගි ජන බලවේගයයි අතරත් එවැනි වෙනස්කම් තියෙනවා. ආර්ථික වශයෙන් සහ සමාජයීය වශයෙන් ආදී හැම පැත්තෙන්ම බැලුවොත් අපි වෙනස් කියන එක පැහැදිලියි.
සජබ සහ ජාජබ ආර්ථික කමිටු විවාදයත් නැහැ, පක්ෂ නායකයන්ගේ විවාදයත් නැහැ. මොකද ඇත්තටම මේ විවාදයට වුණේ?
විවාදය ගැන අපි පැහැදිලිව කිව්වා හැමෝටම පිළිගත හැකි ස්වාධීන තැනක විවාදය විය යුතුයි කියලා. ඒක සිදු වුණේ නැහැ. අපි ඕන වෙලාවක ලෑස්තියි. අපි කියන්නේ ආර්ථීක කමිටු විවාදයත් අවශ්‍යයි කියලා.
රටේ නව පනත් කිහිපයක් සම්මත කර තිබෙනවා. දුෂණ විරෝධී පනත සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත වැනි පනත් සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ ස්ථාවරය කෙබඳුද?
අපි හැමදාමත් රටට යහපතක් වෙන ඕනම යහපත් දේකට කැමැත්ත ප්‍රකාශ කරන පක්ෂයක්. අපි ආර්ථික ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපේ ආර්ථික කමිටුව ඉදිරියේදී අදහස් දක්වයි. එක් එක් අවශ්‍යතාවන්ට දිගින් දිගටම පනත් සම්මත කරමින් ගෙන එනවා. දූෂණ විරෝධී පනතත් එහෙමයි. සම්මත කළාට මෙවැනි පනත් ක්‍රියාත්මක වෙන බවක් අපිට පෙනෙන්නට නැහැ. තවත් පනත් ගෙනෙයි. නමුත් රටට යහපතක් වෙන පනත් සම්මත වුණොත් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. රාජ්‍ය යන්ත්‍රණය සහ රාජ්‍ය පරිපාලනය ඒ සඳහා වග කිව යුතුයි. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය පාලනය ඒ වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. කොච්චර පනත් තිබුණත් ඒ පනත් ක්‍රියාත්මක කිරීම රට පාලනය කරන ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා IMF එකට පේන්න බොරුවට පනත් ගෙනත් වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න. රටේ දුෂණ වංචා නැතිවෙනවාට පක්ෂයක් විදිහට අපිත් කැමැතියි.
සජබ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය ජනතාව පිළිනොගන්න ප්‍රතිපත්තියක් බවයි ජවිපෙ කියන්නේ. සජබ බලයට ආවොත් ආර්ථිකය ස්ථාවර කිරීමට සැලසුම් තියෙනවාද?
අනිවාර්යයෙන්ම. නිෂ්පාදනය වැඩි කිරීම, අපනයනය වැඩි කිරීම, සංචාරක ක්ෂේත්රය දියුණු කිරීම, අපගේ මානව සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීම සහ අපේ රටට ආයෝජකයන් පැමිණීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම යන කරුණු ගැන අපේ අවධානය යොමු කර තිබෙනවා.
සුභද්‍රා දේශප්‍රිය