Home » දෙවසරකට පෙර රට හෑල්ලු කළ නරුම කතා

දෙවසරකට පෙර රට හෑල්ලු කළ නරුම කතා

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

ආර්ථික අර්බුදයෙන් රට අගාධයකට වැටී සිටියදී එදවස සමහර දේශපාලඥයින් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් කළ ප්‍රකාශයන් අද මෙසේ සිහිපත් කරමු.

IMF යන්න ශ්‍රී ලංකාව ප්‍රමාද වැඩියි ආර්ථික විශේෂඥයන් කියයි

දැඩි විනිමය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑමට ද මේ වන විට ප්‍රමාද වැඩි බව ආර්ථික විශේෂඥයෝ මෙන්ම විපක්ෂ දේශපාලනඥයෝ පෙන්වා දෙති.

IMF වෙත යාමේ අවශ්‍යතාව මීට මාස කිහිපයකට පෙර අවධාරණය කළත්, ශ්‍රී ලංකාව ස්වදේශීය ප්‍රතිපත්තිය සමඟ ගමන් කරමින් IMF සමඟ පවා විසඳාගත නොහැකි අවුලකට පත්ව ඇති බව ආර්ථික විශේලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවට ලබන වසරේ දී දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ද අනතුරු අඟවයි.

28 දෙසැම්බර් 2021

ප්‍රවීණ රංගධර, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ශ්‍රියන්ත මෙන්ඩිස්

මාර වැඩක් නේද වෙලා තියෙන්නේ. මිනිස්සු අපිට බණිනවා ඇති. අපිට බැන්න කියලා තේරුමක් නෑ. අපිත් එයාලා වගේ අද පෝලිමේ ඉන්නේ. අපි මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒ වෙලාවේ තිබුණු එකම විකල්පය තමයි අපි තේරුවේ. මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ. මේක හරි අර්බුදයක්, මොකද කරන්නේ කියන එක පිළිබඳව මේ යන ක්‍රමය අන්තිම භයානකයි. මේ ප්‍රශ්නයට හැම තැනින්ම එක එක ප්‍රශ්න එකතු වුණා. අපි එකතුවෙලා මොකක්ද කරන්න ඕනේ? අද දරුවන්ට කන්න දෙන්න විදියක් නැති එක ඇත්ත. අභාග්‍ය සම්පන්න යුගයක් අපි මේ පසු කරන්නේ. අද පෝලිමක ප්‍රෙෂර් එක වැඩියි. මිනිස්සු අව්වේ ඉඳගෙන පැය ගණන් කෑමක් බීමක් නැතිව ඉන්න කොට ඔවුන්ගේ කේන්තිය වැඩියි. ඇත්තටම අපේ මිනිස්සු ගැන හරිම කණගාටුවක් හිතෙනවා. අපිටත් දැන් ඒ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ.

රාජ්‍ය බැංකු බංකොලොත්… තැන්පත්කරුවන්ගේ මුදල් නොලැබේවි.

සුනිල් හඳුන්නෙත්ති

June 7, 2023

වර්තමානය වන විට ලංකාව බංකොලොත් රටක් ලෙස ඉන්දියන් සාගරය තුළ ඔටුනු පලදා හමාරයි. කිසිදු ආර්ථික දැක්මක් නොමැති රාජපක්ෂ නඩයට, රට බේරා ගැනීමේ පරම සුවිසුද්ධ චේතනාවෙන් කියාගෙන රටේ බහුතරයක් ජනතාව අහුවුණා.

2019 මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ, රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් රාජපක්ෂ නඩයට නැති බව පෙනි පෙනී තිබුණේ. ඒත් පාස්කු ප්‍රහාරය හරහා ජනතාව තුළ මානසික බියක් ඇති කරලා, ජනතාව අදූරදර්ශී ඡන්ද භාවිතාවක් වෙත දක්කනු ලැබුවා. ඒ දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරික නඩය . වියත්මගත් ඒ මෙහෙයුමේ කොටස්කාරයින්.

අපි කියනවා විදේශවල ඉන්න අයට එක මාසයක් ලංකාවට විදේශ විනිමය නතර කරන්න. ඒ අය ඒක තීරණය කරනවා නම් මාසයක් ලංකාවට විදේශවිනිමය එවන්නේ නැති නම් මාස දෙකක් මාස තුනක් විදේශ විනිමය එවන්නේ නැහැ කියලා තීරණයක් අරගන්නවා නම් ඒ අයට ආණ්ඩුව මට්ටු කරන්න පුළුවන්.

මෙරට රාජ්‍ය බැංකු දැනටමත් බංකොලොත් වී හමාර බවත් ඉදිරියේදී තැන්පත්කරුවන්ගේ පොලී නොගෙවීමේ ඉඩකඩක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඇතැම් විට ඉදිරියේදී තැන්පත් මුදල් පවා නොලැබීමට ඉඩ ඇති බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ලංකාවට ශතයක්වත් එවන්න එපා

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙයි

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් ලෙස ශ්‍රී ලංකාවට මුදල් එවීමෙන් වැළකී සිටින ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඊයේ(31) අය වැය විවාදයට එක්වෙමින් පැවැසීය.

“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට ශතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි ශත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා.

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇදුණා වගෙයි. නමුත් මේ රාජ්‍ය ත්‍රස්‌තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.”

ගෙදර කොත්තමල්ලි බීලා ලෙඩේ හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ” – IMF නොයන්න හේතුව කබ්රාල් කියයි

සැප්තැම්බර් , 27, 2021

ශ්‍රී ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ‌මේ අවස්ථාවේ දී අනවශ්‍ය බවත්, මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට වසර 10ක පමණ කාලයක් ගත වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා ඇඩ්වොකාටා ආයතනය මඟින් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. “මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ”, යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

“IMF එක අපේ තරහාකාරයෙක් නෙමෙයි. IMF එකත් එක්ක අපිට කිසි ගැටලුවක් නැහැ. අපි යම් අවස්ථාවක දී තාක්ෂණික සහායන් ඒ අය‌ගෙන් ලබා ගන්නවා. ඒ වුණාට අපි ඒ අයගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ නැහැ. ඒක තමයි අපි කියන්නේ. අපි දැනට අපේ රටේ ඕන තරම් සාක්ෂර දියුණුවක්වෙලා තියෙනවා. අපිට තොරතූරු තියෙනවා. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ.”

“අපේ රට ගැන වොෂිංටන් නගරයෙන් කෙනෙක් ඇවිල්ලා සති දෙකක් ඒ දිහා බලලා, ඒ පිළිබඳ තීරණයක් ගන්න එකද අපිට වැඩිය සුදුසු, නැත්නම් මේ රටේම, මේ රටට වගකියන අය කරන එකද සුදුසු කියලා අපි මුලින්ම තීරණය කරන්න ඕනේ. මම මීට පෙර IMF සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරද්දී කියලා තියෙනවා, “For you this is a case study”, ඔබට ශ්‍රී ලංකාව කියන්නේ ඔබ ලියන රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් එහෙමයි. ඔබතුමා ඒ රිපොර්ට් එක ලියලා. පස්සේ කාලෙක ඔබතුමාගේ CV එක ලියද්දී මේ රිපෝර්ට් එක ලිව්වා කියලා කියයි. අපිට එහෙම නෙමෙයි. මේක අපේ රට. මේක අපේ ආර්ථිකය, මේක අපේ මිනිස්සු. කාටද වැඩි කැක්කුමක් තියෙන්නේ. මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව.”

“දෙවෙනි එක අපි දේශපාලනිකවත් මේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ. රට කැළඹෙන්න දෙන්න බැහැ. රටේ කීර්තිනාමය හානිවෙන්න දෙන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, ණය පැහැර හැරියාම ඒකෙන් වෙන විපාක කොච්චර දරුණු ද කියලා. IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා. ඒ අවුරුදු 10 දී අපේ තරුණයන්ට අපි මොනවාද කියන්නේ? රැකියාවන් නැතුව ඉන්න කියලද? ඒ නිසා credibility කියන එක එන්නේ අපේ කරන ක්‍රියාවන්වලින්. IMF ආවා කියලා credibility එකක් එන්නේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ රටේ කැළඹීමක් ඇති වෙනවා නම් මොන credibility එකක් තිබුණත් එතනින් වැඩක් වෙන්නේ නැහැ. අපිට මේවා පුරුදුයි. මේවා ගැන සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්‍රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්.”

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

අර්බුදයට හේතුව වැරදි ආර්ථික කළමනාකරණය ද?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ වැරදි කළමනාකාරීත්වය හේතුවෙන් රටට මෙම ඉරණම අත්වී ඇති බව යි.

“කිසිම රටක උද්ධමනය ලංකාවේ වගේ සීඝ්‍රයෙන් ඉහළ ගිහින් නැහැ. 2019 ඉඳලා දැන් 2021 වෙනකම් උද්ධමනය 10.5කින් ඉහළ ගිහිල්ලා. මේ පසුගිය මාස ටිකේ පමණක් රත්‍රං කිලෝ ග්‍රෑම් 600කට වැඩිය මිනිස්සු විකුණලා තියෙනවා.”

· ශ්‍රී ලංකාව බංකොලොත් වීම අභියස ද?

· ශ්‍රී ලංකාව IMF සහාය ලබාගත යුතු ද, නැද්ද?

· “ආර්ථික අවපාතය”” යනු කුමක්ද?

“ලංකාවට වැඩිය කොවිඩ් බලපාපු රටවල් තියෙනවා. නමුත් ඒ රටවල ආර්ථිකය කඩා වැටිලා නැහැ. මෙහෙම ආර්ථික සුනාමියක් ඇතිවෙලා නැහැ. පසුගිය අවුරුදු දෙකේ විතරක් මුදල් අච්චු ගහලා තියෙනවා ට්‍රිලියන 1.5ක්. හිතලා බලන්න පුළුවන් බඩුමිල ඉහළ යන සීඝ්‍රතාව,” මන්ත්‍රීවරයා පැවසිය.

“රටේ විශාල විදේශ විනිමය හිඟයක් තියෙනවා. ඩොලර් එකේ අගය නිදහස් කළා නම් එක පාරින්ම ඩොලර් එක ගලාගෙන යනවා. වරද ඇවිල්ලා ආණ්ඩුවේ ආර්ථික කළමනාකාරීත්වය. හරියට ඩොලර් එකේ අගය දුන්නා නම් මේක වෙන්නේ නැහැ.”

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල

“රටේ වර්තමාන තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ. වෙනදාටත් වැඩිය දිගු තෙල් පෝලිම්. එය කවදාද කෙටි වෙන්නේ. පෝලිමේ ඉන්නේ නැතුව කොහොමද ජනතාව තෙල් ගහන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. දෛනිකව ඇතිවෙලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් තමයි ජනතාව බලාපොරොත්තු වන්නේ. පවුල් පාලනයට විරුද්ධව මේ රටේ ඇතිවුණු ජන අරගලය ගෝඨාභය රාජපක්ෂ රට දාලා යන තැනට පත් වුණා. ඒ එක්කම දැන් ඇවිත් තියෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් පත් කරගන්න අවස්ථාව.

69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු වැඩ නිසා මේ රටේ ජනතාවට අද එදිනෙදා තමන්ගේ ජීවිතය ගතකරන්න බැරි තැනට පත්වෙලා. භාණ්ඩ මිල අහස උසට නැඟලා. පෙට්රල් හිඟ වෙලා. ගෑස් හිඟ වෙලා. ජනතාව මහමඟ මැරෙන තැනට පත්වෙලා. තමන්ගේ දරුවන්ට තුන්වේලක් නෙවෙයි එක වේලක් කන්න දෙන්න බැරි තැනට පත්වෙලා. එහෙම අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225 දෙනාට වරමක් ඇවිත් තිබෙනවා මේ රටේ අනාගතය තීන්දු කරන්න. ඉතිරි කාලසීමාවට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එහිදී මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා අරගලය ඇතුළු ජනතාව මොකක්ද කියන්නේ, ඉල්ලීම් මොකක්ද දෛනිකව ජනතාවට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. රටේ දේශපාලන ස්ථාවරයක් ඇති කරගන්න අවශ්‍ය පියවර ගැනීම තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ වගකීම.

කැබිනට් මණ්ඩලය එකතු වෙලා තමයි පොහොර තහනම් කරන්න තීන්දු ගත්තේ. ජනාධිපතිතුමා ඒ තීන්දුව ගන්නකොට කැබිනට් මණ්ඩලය බලාගෙන හිටියා. එයාලා එකතු වෙලා තමයි බදු සහන දෙන්න කටයුතු කළේ. ගජ මිතුරන්ට අවස්ථාව ලබාදුන්නේ රාජපක්ෂ පවුල විතරක් නෙවෙයි. අපි පැහැදිලිවම කියනවා අද ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු සියලු දෙනා මේකට වගකියන්න ඕනෑ. අපි නිතරම ඒ ගැන කතා කළා. සමගි ජන බලවේගය බදු සහන බිලියන ගණන් දෙනකොට ඒවා රටට අහිමි වෙනවා කියලා කිව්වා. ඒවා කනට ඇහෙන්නේ නෑ වගේ වැඩ කළා. පාර්ලිමේන්තුව තුළ අපිව සමච්චල් කරන්න ගත්තා. එහෙම නම් ඒක රාජපක්ෂවරු විතරක් නෙවෙයි සියලුදෙනා වග කියන්න ඕනෑ.

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික

ප්‍රතිසංස්කරණ ඉටු කරන තෙක් විදේශ ණය ආධාර සතයක්වත් මෙරටට ලැබෙන්නේ නැහැ.

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කරන තෙක් විදේශ ණය ආධාර ශතයක්වත් මෙරටට ලැබෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා කොළඹදී ඊයේ (31) පැවැසීය.

රට ගොඩනැඟිම සඳහා අවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු නොකර ජාත්‍යන්තර ණය ආධාර සිහින දැකීමෙන් පලක් නොවන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division