කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. 2024 මැයි මස 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජූනි 4 වැනිදා පවත්වා කල්තබන ලද අතර ඒ සම්බන්ධයෙන් දෙවැනි දිනටත් පැවැති විවාදයෙන් අනතුරුව මෙලෙස සම්මත කෙරිණි.
ඒ අනුව කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම මෙන්ම එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනත මඟින් ලබා දී ඇත.
කෙසේ නමුත් මෙම පනත සම්මත වීමට පෙර හා පසුව පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විවිධ කතාබහ ඇති විය. එනිසා මේ සම්බන්ධයෙන් කිසියම් කතිකාවක් ගොඩනැඟීම යහපත් බව සිළුමිණ කල්පනා කළෙමු. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රාමාණිකයින්ට අප මේ කතිකාව සඳහා ආරාධනා කළෙමු.
කාන්තාවන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් වීම වැදගත්
– ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට අපි සහයෝගය දැක්වීම සිදු කළේ කාලයක් තිස්සේ මෙරටට අවශ්‍යව පැවති ස්වාධීන කාන්තා කොමිෂමක් පත් කිරීමට මෙයින් යෝජනා කර තිබුණ නිසයි. මෙහිදී අප මූලිකව අවධානය යොමු කළේ ඒ කරුණ පිළිබඳයි. ඒ වගේම මේ පනත කුමණ අරමුණකින් ගෙනාවත් මේ වෙලාවේ රටට අවශ්‍ය කරන පනතක් බව අප පිළිගන්නවා. ඒ වගේම ඒ දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රතිපාදන හා අනෙකුත් දේවල් ලැබේවි කියලා අප විශ්වාස කරනවා.
කාන්තා කොමිෂමේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, ඒවගේම ගැටලුවක් ඇති නොවන පරිදි කාන්තාවන්ගේ ප්‍රශ්න යොමු කිරීමට ක්‍රියාවලියක් ඇති කරන්න හා ඒවට මැදිහත්වෙන්න පුළුවන් බලතල මේ හරහා පිහිටුවනු ලබන කොමිෂමට ලබාදෙන්න කටයුතු කිරීම පිළිබඳව වැඩි වශයෙන් අප අවධානය යොමු කළා.
දැනට තිබෙන මානව හිමිකම් කොමිෂමට තිබෙන වැඩ රාජකාරි එක්ක කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම මෙන්ම එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන ඇති කරමින් මේ ගෙනැවිත් තිබෙන පනත සාධනීය මෙන්ම අවශ්‍යම පනතක් ලෙසයි අප මෙය දකින්නේ.්
කාන්තාවන් ලැබූ ලොකු ජයග්‍රහණයක්
– කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවැනි වසරේ ෂෙහාරා වඩුගේ සිසුවිය
අධ්‍යාපනය, සේවා නියුක්තිය හා වෙනත් පැති ගණනාවකින් අපේ රටේ කාන්තාවන් දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපට ලැබිය යුතු තැන සමහර අවස්ථාවල නොලැබී යන ආකාරයක් අපි දකිනවා. දේශපාලනය පැත්තෙන් ගත්තහම පළාත් පාලන පනත සංශෝධනය කරල සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්යයි කියන ස්ථාවරය යථාර්ථවත් කරගත්තා. නමුත් ඊට ඉහළ මට්ටම්වල අඩුපාඩුකම් තිබෙනවා. නිදසුනකට හමුදාව පොලීසිය වැනි ආයතනවල ඉහළට යන්න ඒ අයට කාඩර් එකවත් නැහැ. එක තැනකින් නතරවෙනවා. මේ නිසා කාන්තාවකට පොලිස්පති කෙනෙක් වෙන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ වුණත් මන්ත්‍රීවරියක් ඇමතිකෙනෙක් හෝ ඊට ඉහළ තත්ත්වයකට යන්නේ ඉතාම ටික දෙනයි. අමාත්‍යංශවල කාන්තා ලේකම්වරියන් ඉන්නේ බොහෝම සුළු වශයෙන්. ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කාන්තා විනිසුරුවරියන්ගෙත් අඩුවක් තියෙනවා. ඒ අය මේ ක්ෂේත්‍රවල බහුල වශයෙන් හිටියත් දැනුම තිබුණත් සුදුසුකම් තිබුණත් ඉහළ තනතුරු පිරිනැමීමේදී කිසියම් අසාධාරණයකට ලක්වනවා. අධ්‍යාපන මට්ටමින් ඉහළ තැනක කාන්තාවන් සිටියත් ඔවුන් ශ්‍රමබලකායට එකතුවන ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුයි. මේ සඳහා ඇතැම් සමාජ ආකල්ප හා ගතානුගතික සාම්ප්‍රදායික අදහස් පවා බලපා තිබෙනවා. ඒ වගේම ප්‍රසූත නිවාඩු ලබාදිමට සිදු වීම වැනි කාරණා නිසා ද ඔවුන් අසාධාරණයට ලක්වෙනවා.
නමුත් මේ රටේ ආදායම් උත්පාදනය වැඩි වශයෙන් සිදුවන්නේ කාන්තාවන් අතින්. ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තත්, තේ කර්මාන්තය ගත්තත් විදේශ ශ්‍රමිකයන් ගත්තත් වැඩි වශයෙන් ඉන්නේ කාන්තාවන්. ඒ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම ඉතාම වැදගත් කොට සලකමින් අද යම් යම් සංශෝධන යටතේ වුණත් මේ පනත සමිමත වීම කාන්තාවන් ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මේ හරහා නිර්මාණයවන ස්වාධීන කොමිෂන් සභාව මඟින් ඉදිරියේදී කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල අභිවෘද්ධියක් අපේක්ෂා කළ හැකි බව මා විශ්වාස කරනවා.
ආකල්ප දියුණුවට කතිකාවක් අවශ්‍යයි
– කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
ලංකාව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් නොතිබුණා යැයි කියන්නට අපට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මේ රට යටත්විජිතකරණයට ලක්වීමට පෙර ඔවුන් විශාල සමාජ ගෞරවයක් හා අයිතිවාසිකම් භුක්ති වින්දා. අද වුණත් යම් තරමකින් ප්‍රමාණිකව වුවත් පවතින්නේ ඒ පැවති පිළිගැනීමයි. මේ සියලු පූරුෂ මූලික ආකල්ප අපට එන්නේ යටත් විජිත උරුමයක් විදියට. එකී වික්ටෝරියානු සදාචාරය අනුව පාඨශාලා මඟින් අප හික්මවීමට පටන් ගැනීමත් සමඟ මෙම ආකල්ප අපමත බලාත්මක වුණා. ඊට ප්‍රථම මේ රටේ රාජ්‍ය හසුරවපු කාන්තාවන් හිටියා. ප්‍රාදේශීය පාලිකාවන් හිටියා. කන්ද උඩරට රාජධානියේ එකගෙයි කෑ ස්ත්‍රියකට විශාල සමාජ ගෞරවයක් හිමි වූවා. උත්සව අවස්ථාවල ඇය ප්‍රධාන තැනක් ඉසුලුවා. කොටින්ම කුටුම්භයේ පාලන තිබුණේ පිරිමියා අතේ නොවෙයි ඇය අතේ. අප කාන්තා දෙවිවරුන් වන්දනා මාන කළා. මාතෘ මූලික සමාජයක ලක්ෂණ ඒ පිළිබඳව ගවේෂණය කරන විට දැක ගන්න පුළුවන්. ඉන් පෙනී යන්නේ යටත් විජිතකරණයට පෙර මෙරට කාන්තාවන් විශාල නිදහසක් භුක්ති විඳි බවයි. අද අපට මෙවැනි අණපනත් ගෙන ඒමට සිදුව ඇතිතේ එවන් පසුබිමකයි.
මෙවැනි ආකාරයට හෝ කාන්තා අයිතිවාසිකම් හිමි කරදීමට කටයුතු කිරීම අගේ කළ යුතු වගේම මේ සඳහා තිර විසඳුමක් දෙන්න නම් ආකල්පවලින් සමාජය දියුණු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කතිකාවක් මේ රට තුළ නිර්මාණය විය යුතුයි. එසේ නැතිව පනත් සම්මත කළ පමණින් අප බලාපොරොත්තුවන දේ යතාර්ථයක් වන්නේ නැහැ.
මේ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇති කළ යුතුව තිබුණා
– ශ්‍රී ලංකා සංක්‍රාන්තික සමාජභාවී පුද්ගල ජාලයේ විධායක අධ්‍යක්‍ෂිකා භූමි හරේන්ද්‍රන්
මේ පනත ඉතාම කාලොචිත පනතක් ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ පනත සකස් කිරීමේදී අප වැනි අයත් සම්බන්ධ කරගැනීමට කටයුතු කළා නමි අප මුහුණදී තිබෙන ඛේදනීය තත්ත්වයන් පිළිබඳවත් ඒ කෙරෙහි අවධානය යොමු කළ හැකිව තිබුණා. අපි මෙය සම්මත කිරීමේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරපු ආකාරය මා දැක්කා. ඇත්තට ඔවුන් මනුස්සයන්ද කියන ප්‍රශ්නය මට ඇති වුණා. මේ ලෝකයේ සංක්‍රාන්ති ලිංගිකයන් කියන්නේ සත්තු ජාතියක්ද? ඔවුන් මනුෂ්‍යයින් විදියට සලකන්න නුසුදුසු අයද?. ඇත්තටම ඔහු ජාත්‍යන්තර උදාහරණ ඉදිරිපත් කළෙත් තමන්ගෙ මතය හරි කියන්න මිසක් සත්‍ය හෙළි කරන්න නෙමෙයි. ඡන්දයක් ළං වුණාම මේ අය හැමදාම කළේ එක්කෝ ජාතිවාදය ඇවිස්සීම, නැත්තම් ආගම්වාදය ඇවිස්සීම. දැන් ඒක සංක්‍රාන්තික සමාජභාවීයන් වෙත ද දිගු කර තිබෙනවා. අප මේ මානව සමාජයේම කොටසක් ඒ නිසා අප වැනි අයට වෙනස්ව සැලකීම ශිෂ්ට සම්පන්න සමාජයකට කළ නොහැකියි.
ඇත්තටම මේ අය කියන විදියට එහෙම ලිංගික විපර්යාස කරගන්න බැහැ. ඒක ලොකු කැප කිරීමක් කරන්න ඕන ක්‍රියාවලියක්.
එහෙම නැතුව තමන්ට හිතුන ගමන් මේ කියන විදියට ඒ දේවල් කර ගන්න බැහැ. මම දකින විදියට මේ ප්‍රශ්නය සාමාන්‍ය සමාජයේ නැහැ. ඔවුන් අප සමඟ ඉත්‍රම මිත්‍ර ශීලීව ලෙන්ගතුව ගෞරවනීයව කටයුතු කරනවා. මේ ප්‍රශ්න තියෙන්නේ මේ වගේ අවස්ථාවාදී දේශපාලඥයින්ට පමණයි. මේ සඳහා කළ යුතුව තිබුණු හොඳම දේ මේ පනත ගෙන ඒමට ප්‍රථම මේ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ආරම්භ කළ යුතුව තිබුණා. එහෙම වුණා නම් බොරදියේ මාළු බාන මේවගේ අයට මේ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වන්නේ නැහැ. ඒ නිසයි සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් ගැන මේ වගේ පටු අවස්ථාවාදී සංවාද නිර්මාණය වන්නේ.
වමේ සිට, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ෂෙහාරා වඩුගේ සහ ශ්‍රී ලංකා සංක්‍රාන්තික සමාජභාවී පුද්ගල ජාලයේ විධායක අධ්‍යක්‍ෂිකා භූමි හරේන්ද්‍රන්
රසික කොටුදුරගේ