Home » අපි අතර ලොකු ආදරයක් තියෙනවා ඒ නිසා තමයි මේ වගේ රෝගයක් හැදිලත් කුමරු මාත් එක්ක ඉන්නේ

අපි අතර ලොකු ආදරයක් තියෙනවා ඒ නිසා තමයි මේ වගේ රෝගයක් හැදිලත් කුමරු මාත් එක්ක ඉන්නේ

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

– ඩග්ලස් රණසිංහ අයියා නිසා තමයි මම නිළියක් වුණේ
– මම කලාකාරිනියක් වුණු නිසයි මට හැමදේම ලැබුණේ
– බොහෝ දෙනෙක් සුසන්තාගේ දුව නොකියා
– තිසුරිගේ අම්මා සුසන්තා කියන මට්ටමින් එයා එයාගෙ ගමන හදා ගත්තා
– වල් කොටාගෙන පාර එළිපෙහෙළි කරගෙන ආ ගමනක් මට තියෙන්නේ
– ඒත් දුව ආවේ එළිපෙහෙළි කළ පාරේ

මාතලේ යොවුන් කුමාරිය වූ නිසා දශක තුනකට පෙර ඇයගේ රූපයට ලොකු ඉල්ලුමක් තිබූ නිසාම ඒ අලුත් රූපය ටෙලි නාට්‍ය හා සිනමා තිරයට එකතු කර ගන්න බොහෝ අධ්‍යක්ෂවරුන් උත්සාහ ගත්තා, එහි ප්‍රතිඵලයක් හැටියට රංගන ශිල්පිනියක් වූ ඇය ‘රන්මසු උයන‘ ටෙලි නාට්‍යයෙන් රංගන ජීවිතයට ආරම්භය ගන්නවා, කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන ඇය සුසන්තා චන්ද්‍රමාලී. ‘චාරුලතා‘ නමින් තවමත් අමතන ඇය ගැන කතා කරන්න මේ විදිහට රසඳුන එක්ක එක් වුණා.

දාන දාන රූපවාහිනී නාළිකාවේ මම ඉන්න ටෙලි නාට්‍ය යද්දී හස්බන්ඩ් කිව්වේ ඔයත් රූපවාහිනියේ කුරුල්ලා වගේ තමයි කියලා

තවමත් ප්‍රතිකාර කටයුතු එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?

තවමත් ප්‍රතිකාර කරමින් ඉන්නවා. දෙවැනි වතාවට ටිකක් අමාරු වුණු නිසා නැවත කිමෝ තෙරපි පටන් ගත්තා. ඒ නිසා ආයෙමත් කොණ්ඩේ ගියා. පෙනුම වෙනස් වුණා. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළේ නම් මම ජීවත් වෙයි කියලා හිතුවෙත් නැහැ. නමුත් දැන් නම් මම ඉස්සරට වඩා ගොඩක් හොඳින් ජීවත් වෙනවා. මගේ සැමියා කුමරු හා පවුලේ හැමෝම මාව බලා ගන්නවා.

ඔබේ සුවදුක් විමසන්න තවම රසිකයින් අමතක කරලා නැහැ නේද ..?

කතාවක් තියෙනවා කරදරයක් වුණු වෙලාවට තමන්ට අවංකව උදව් කරන්නේ ආදරේ කරන්නේ කවුද කියලා හඳුනා ගන්න පුළුවන් කියලා. ඒත් මම හරි වාසනාවන්ත කෙනෙක්. මොකද අදටත් මගේ සුවදුක් විමසන රසිකයන්, නෑදෑයෝ වගේම යාළුවෝ මට ඉන්න නිසා. අසනීපයත් එක්ක රසිකයින්ගේ ආදරේ, ගෞරවය කොහොමද කියලා ලක්ෂ වාරයක් අත්වින්දා. මම කලාකාරිනියක් වුණු නිසයි මට හැමදේම ලැබුණේ. හරි සතුටුයි ඉතින්.

දැන් නිදහසේ ඉන්න නිසා ඔබ රඟපෑ නිර්මාණ යළි යළිත් නරඹලා මතක අලුත් කර ගන්නවා ඇති..?

ඒ කාලේ නිර්මාණකරුවන් එක්ක මට වැඩ කරන්න ලැබීම කොයිතරම් වාසනාවක් ද කියලා හිතෙනවා අද බිහිවෙන ඇතැම් නිර්මාණ දැක්කම. ඒ කාලේ අධ්‍යක්ෂක නිෂ්පාදක වගේම චරිතයට ගැළපෙන දක්ෂ නළු නිළියෝ හිටියේ. කතා රසයක් තිබ්බා. කොච්චර දුෂ්කර ගමනක් වුණත් ඒ කාලේ නිර්මාණ බලද්දී හරිම සතුටක් දැනෙන්නේ.

ඔය කියන හේතූ නිසා ද ඔබේ දියණිය තිසුරීත් රංගනයෙන් ඈත් වෙලා විදෙස් ගත වෙන්නේ..?

එයා සම්පූර්ණයෙන් රංගනයට සමු දුන්නේ නැහැ. නමුත් හිතේ සතුටින් රඟපාන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්නේ අඩුවෙන් නිසා එයාගේ පවුල් ජීවිතේට ඒ කැපවීම කරන්න එයා සැමියා එක්ක ඕස්ට්‍රේලියා ගියා. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් එයාගේ සැමියත් එයාට රඟපාන්න යන්න කියයි.

දශක තුනකට එහා කලාව එක්ක ජීවිතේ ගෙවූ සුසන්තාට දැන් කනගාටුවක් නැද්ද රඟපාන්න අවස්ථාව නැති එක ගැන ..?

මම මුලින් සනීප වුණාට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ආයෙමත් අසනීප වුණු නිසා මම හිතුවා ප්‍රතිකාර හරියට කරන්න ඕන කියලා, වෛද්‍යවරුන් මහන්සි වෙනවා වගේම මගේ කැපවීමත් තියෙන්න ඕන. ඒ වගේම දැන් රඟපාන්න තරම් පෙනුමක් මට නැහැ. යථාර්ථය ඒකයි. ඒ වගේම සතුටින් පැනලා චරිතයක් භාරගන්න තරම් ගුණාත්මක නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බලමු. කිසිම දුකක් නැහැ. මොකද අද බිහි වෙන නිර්මාණ එක්ක එහෙම දුකක් ඇති වෙන්නෙ නැහැ.

ඔබව නිළියක් කරන්නේ ‘රන්මසු උයන‘ ටෙලි නාට්‍යය, යොවුන් කුමරිය නොවුණා නම් අද ඔබ නිළියක් නොවෙන්න ඉඩ තිබ්බා..?

86 අවුරුද්දේ මාතලේ යොවුන් කුමරිය වුණා. ඊට පස්සේ මගේ ඡායාරූප පත්තරවල ගියා, ඒත් එක්ක වාසනා චක්‍රය කියන රූපවාහිනී වැඩසටහනට ආරාධිත අමුත්තියක් විදිහට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. මම එයට සම්බන්ධ වෙද්දී තිලකා රණසිංහ මහත්මිය හිටියා. තිලකා අක්කා ගෙදර ගිහින් එයාගේ අයියා ඩග්ලස් රණසිංහ මහත්තයාට කියලා තියෙනවා ෂෝක් කෙල්ලෙක් ඉන්නවා අයියා ඔයාගේ ෆිල්ම් එකට ටිකක් කතා කරලා බලන්න කියලා. ඒ විදිහට තමයි ඩග්ලස් අයියා මට කතා කරලා එයාගේ ෆිල්ම් එකකට ආරාධනා කළේ. නමුත් එය ප්‍රමාද වූ නිසා ඔහුගෙ ‘රන්මුසු උයන‘ ටෙලි නාට්‍යයේ චරිතයක් මට දුන්නා. කෙළින්ම මුහුරත් උළෙලට කතා කළේ. ඒ කාලේ ඉතිං හීනයක් වගේ. හරිම සතුටින් සම්බන්ධ වුණා. ඒ 1987 අවුරුද්දේ . එතුමා නිසා තමයි මම නිළියක් වුණේ. ඊට පස්සේ ‘චාරුලතා‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. ඒකෙන් තමයි හැමෝම හඳුනා ගත්තේ. හැමෝම මේ අලුත් මුහුණ කවුද කියලා හොයන්න පටන් ගත්තා. ගොඩක් ආරාධනා ලැබුණා,

තවමත් බොහෝ දෙනෙක් කතා කරන්නේ චාරුලතා කියලා නේද ..?

අවුරුදු තිස් හතක් විතර ඇති චාරුලතා කරලා. ඒත් ඒ කාලේ මගේ වයසේ අය ඒ ටෙලි නාට්‍යයේ අහවල් කොටසේ මෙහෙම රඟපෑවා. මෙහෙම හිටියා කියලා දර්ශන පවා මතක අය ඉන්නවා. මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඒ චරිතය ගැන කතා කරපු අවස්ථා තියෙනවා.

එදා මෙදාතුර ඔබ බොහෝ නිර්මාණවලට සම්බන්ධ වූ කෙනෙක්. ජනප්‍රියත්වය හා කාර්යබහුලකම පවුල් ජීවිතේට බලපෑම් කළේ නැද්ද ..?

87 අවුරුද්දේ ඉඳලා 2020 මම අසනීප වෙනකල්ම නිර්මාණවලට සම්බන්ධ වුණා. දාන දාන රූපවාහිනී නාළිකාවේ මම ඉන්න ටෙලි නාට්‍ය යද්දී මගේ හස්බන්ඩ් කිව්වේ ඔයත් රූපවාහිනීයේ කුරුල්ලා වගේ තමයි කියලා.
මට කුමරු ලැබෙන්නේ මම නිළියක් වෙන්න කලින්. එයා නැවක වැඩ කරේ. මම ෂූටින් යද්දී බඳින්න කලිනුත් එයා දර්ශන තලවලට ආවා. මගේ පෙම්වතා කියලා හැමෝම දන්නවා. අපි දෙන්නම මාතලේ. මට වඩා එයා හිතවත් සෙට් එකේ හැමෝ එක්කම. විවාහ වුණාට පස්සේ කුමරු ගෙදර එන්නේ මාස හය හතකට සැරයක් වගේ. නැවේ වැඩ කළ නිසා නිතරම ගෙදර එන්න බැහැ. ඒ නිසා එයා මගේ වැඩ කරගන්න ඉඩ දුන්නා. කවදාවත් මාව සැක කළේ නැහැ. මම ලංකාවේ නැහැ ඒ නිසා ඔයා වැඩවලට යන්න එපා කියලා නැහැ. කුමරු ගෙදර ආව දවස්වලට මට ෂූටින් තිබ්බොත් එයත් එනවා. නැත්තම් මම ඒ කාලේ ගෙදර ඉන්න කාලය හදා ගන්නවා. අපි අතර ලොකු අවබෝධයක් තිබුණා. අපි අතර ලොකු ආදරයක් තිබුණා. ඒ නිසා තමයි මේ වගේ රෝගයක් හැදිලත් කුමරු මාත් එක්ක ඉන්නේ.

සුසන්තා නැත්තම් අද තිසුරි යුවනිකා කියලා දක්ෂ සම්මානනීය නිළියක් බිහි නොවෙන්න ඉඩ තිබ්බා, අම්මට වඩා දුව දක්ෂයි කියලා නේද හැමෝම කියන්නේ ..? කතාව අවසන් කරන්න කලින් ඒ ගැනත් කියමු..?

මම මේ ගමන ආවේ දැනගෙන නෙමෙයි. හරියට උඩින් වැටුණා වගේ, වල් කොටාගෙන පාර එළිපෙහෙළි කරගෙන ආ ගමනක් මට තියෙන්නේ , ඒත් දුව ආවේ එළිපෙහෙළි කළ පාරේ. මුලදි මගේ බලකිරිල්ලට රඟපාන්න ආවේ. මුල් කාලේ පිටපතවත් හරියට කියවන්නෙ නැහැ. පස්සේ ජනතාවගේ ආදරය ගෞරවය හිමි වෙද්දී එයා තේරුම් ගත්තා එයා මේ ගමන යන්න ඕන කියලා, ආසාවෙන් එයාගේ දක්ෂතා ඔපමට්ටම් කර ගත්තා. හැමෝම සුසන්තාගේ දුව කියලා පිළිගත්තා. අන්තිමට එයා නිර්මාණ බොහෝමයක හොඳම නිළියට හිමි සම්මානය ගත්තා. හැමෝම කිව්වා මට වඩා දක්ෂයි කියලා. බොහෝ දෙනෙක් සුසන්තාගේ දුව නොකියා තිසුරිගේ අම්මා සුසන්තා කියන මට්ටමින් එයා එයාගෙ ගමන හදා ගත්තා. අම්මා කෙනෙකුට ඊට වඩා සතුටක් කොහෙන්ද.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division