Home » අවුරුදු පහළොවකට කලින් කොළඹ ආවේ රෙදි කෑලි දෙක තුනක් බෑග් එකක දාගෙන

අවුරුදු පහළොවකට කලින් කොළඹ ආවේ රෙදි කෑලි දෙක තුනක් බෑග් එකක දාගෙන

සගා ගුරුගේ

by thanushika
June 22, 2024 12:30 am 0 comment

සගා යැයි කියූ සැණින් ඔහුගේ මුහුණ මැවී පෙනෙනවා පමණක් නොව ඔහුගේ කටහඬ ද දෙසවන් තුළ රැව් පිළිරැව් දෙන්නට ගතවන්නේ නිමේෂයකි. අද අප රසඳුනට එක් කරගන්නේ ඔහුවයි. ඔහු සගා ගුරුගේ.

කොහොමද මේ දවස්වල ජීවිතේ…?

ස්වර්ණවාහිනියේ My Friends, හද රැදී පැය වැඩසටහන් කරනවා.ඊට අමතරව ගීත ලිවීම, අලුත් දේවල් නිර්මාණය කිරීම වැනි වෘත්තිය වැඩකටයුතු කරන ගමන් මගේ වැඩිදුර අධ්‍යාපන වැඩ කටයුතුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ කලාවට අත්පොත් තබන්නේ කොහොමද

මම නිවේදනය වෘත්තිය ලෙස අරඹන්නේ විශ්වවිද්‍යාල සමයේදීයි. ඊට පෙර කාලයේ එනම් පාසලේ නිවේදන වැඩ කටයුතුවලට මම සම්බන්ධ වුණා.ඒවගේම රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙයි අධ්‍යාපනය ලැබුවෙ.ඒ කාලයේදී වගේම කුඩා කාලයේදීත් මම ලිවීම විලාසිතාවක් ලෙස කරගෙන ගියා.මම ගීත බොහොමයක් නිර්මාණය කර තිබුණා. ඒ අතරින් මම ගී පද රචකයෙක් ලෙස ලේබල් වන්නේ සංඛ දිනෙත් ගේ “රෑ සිහිනේ මා” ගීතය තුළිනුයි. ඒ ගීතය නැවතත් ජනප්‍රිය වුණේ ඉන්දියානු ගායක උදිත් නාරායන්ගේ පුතු ආදිත්‍ය නාරායන් ලංකාවට ඇවිත් ප්‍රසංගයකදී සිංහල ගීතයක් ලෙස එය තෝරාගත් නිසයි. මම සංඛ දිනෙත්ට ඒ ගීතය ලියලා දුන්නේ ඒක මම ලිව්වා කියලා කියන්න එපා කියලයි. ඒ නිසා ඒක මගේ ගීතයක් බව කවුරුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් ආදිත්‍ය නාරා‍යන්ගේ ගායනයෙන් පසුව මිනිස්සු ඒ ගීතය ගැන වැඩිදුරටත් උනන්දු වුණා. එවිටයි එය මගේ ගීතයක් බව බොහෝ දෙනා දැනගත්තේ.

ඇයි ඔබ ‘රෑ සිහිනේ මා‘ ගීතය ඔබ ලියූ ගීතයක් බව ප්‍රසිද්ධ කරනවට අකැමැති වුණේ…?

මම ක්ෂේත්‍රයට පිවිසුණේ රේඩියෝ නිවේදකයෙක් විදිහටයි. එක් මාධ්‍ය ආයතනයක් ආරම්භ කරන මොහොතේදීම එහි රේඩියෝ නිවේදකයෙක් ලෙස මම ඉදිරියට ආවා.ඒ නිසා නිවේදකයා කියන භූමිකාව රඳවා ගන්න පමණයි මට අවශ්‍ය වුණේ. ඒ හැරුණු කොට ගී පද රචකයෙක් වීමේ අවශ්‍යතාව මට එවකට තිබුණේ නෑ. ඒ නිසා මම වැඩ කළ මාධ්‍ය ආයතනය තුළ පිටපත් ලිවීම, ගීත ලිවීම ආදී වැඩ කටයුතු මගේ අතින් ඉටුවුණා. ඒවායින් මගේ පැවැත්ම තහවුරු කර ගන්න මට කිසිවිටෙකත් අවශ්‍ය වුණේ නැහැ. නමුත් මේ වන විට ගීත රචකයෙක් වීම ගැන මම ආඩම්බර වෙනවා.

නිර්මාණයක් ඇගයීමේදී ගී පද රචකයාට ලබා දෙන්නේ අඩු අවධානයක්. මේ ප්‍රවණතාවය තුළ නිර්මාණකරණයට තියෙන උත්තේජනය අඩු වෙනව ද?

ගීතයක් නිර්මාණය කළ විට එම ගීතය ශ්‍රාවකයා අතරට යන්නේ ගායකයා ඔස්සේයි. ඒ නිසා ඒ ගීතය ගායකයාගේ කියලයි බොහෝ දෙනා හිතන්නේ. ගීතය හඳුන්වා දෙන්නෙම ගායකයාගේ නමිනුයි. නමුත් සංගීතඥයාගේ හා ගී පද රචකයාගේ ප්‍රබල භූමිකාවක් එම නිර්මාණය තුළ තිබෙනවා. ගීතයට අවශ්‍ය ලෙස සංගීතය නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණය පවා මම එහිදී සොයා බලනවා. එසේ ගීතය පිළිබඳ ලොකු බරක් හා වගකීමක් මම ගන්නවා. නමුත් එසේ ගී පද රචකයාව සැඟවුවත් ඇතැම් විටෙකදී නොදැනුම්වත්වම ඔහුව හෝ ඇයව එළියට එනවා.

ඔබ ගී පද රචනය කරන්නේ අත්දැකීමෙන් ද නැත්නම් පරිකල්පනයෙන් ද?

මේ ලෝකයේ සෑම මනුස්සයෙක්ටම යම් අත්දැකීමක් තිබෙනවා. එය අපේ අත්දැකීමක් හෝ වෙනත් අයකුගේ අත්දැකීමක් විය හැකියි. එම අත්දැකීම මාගේ ආත්මය ස්පර්ශ කළ විට එය නිර්මාණයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ලෝකයේ සෑම නිර්මාණයක්ම එකී නිර්මාණකරුවාගේ ස්වයං අත්දැකීමක් ලෙස මම හිතන්නේ නැහැ.මගේ නිර්මාණ බිහිවී තිබෙන්නෙත් මම මෙතෙක් කල් අහපු, දැකපු, විඳපු අත්දැකීම්වලිනුයි.

ගීත අලෙවි කරන්න ගීතයට නොගැළපෙන රූප රචනා එක් කිරීමේ අලුත් විලාසිතාව ඔබ දකින්නේ කොහොමද?

අතීතයේ පැවතුණේ රේඩියෝ කලාවක් පමණයි. නමුත් වර්තමානය වන විට දෘශ්‍ය මාධ්‍යයත් මිනිසුන්ගේ රසවින්දනයට බලපෑම් කර තිබෙනවා. වර්තමානයේ ගීතයෙන් දැනෙන අර්ථයට රූප රචනාවෙන් සාධාරණයක් ඉටු නොවන අවස්ථා තිබෙනවා.ඒවා බොවිට නිර්මාණය කරන්නේ සමාජගත කිරීමට පහසුවන ලෙස පමණයි.. නමුත් ගීතයේ අර්ථය රූප රචනාවෙන් ඉස්මතු කර වැඩිදියුණු කළ හැකිනම් එය ඉතාමත් වටිනවා. රේඩියෝ කලාව ප්‍රචලිත යුගයේ ගීතයක් අහන විට ඒ ගීතයේ අර්ථයට රූප අපි පරිකල්පනයෙන් මවනවා. නමුත් වර්තමානය වනවිට එය මිනිසුන්ගෙන් ගිලිහී තිබෙනවා. ඒ වගේම රූප රචනාවෙන් ලබාදෙන අර්ථය පමණක් ගීතය අර්ථය ලෙස සිතීමට මිනිස්සු පුරුදු වෙලා තිබෙනවා. ඒ නිසා ගීතයේ සැබෑ අර්ථය නොදැනුම්වත්වම සැඟවෙනවා.

සාගර කොහොමද සගා වුණේ…

ලංකාවේ එක් මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් ලෙස මං මගේ රැකියාව කළා. සාමාන්‍යයෙන් රේඩියෝ සංස්කෘතිය තුළ ඉක්මනින් ග්‍රහණය කරගන්නා නම් යොදා ගන්නවා. එහිදී සාගර කියනවට වඩා සගා කියන නමින් මිනිසුන් අතරට යන්න පහසුයි කියලා මට හිතුණා. සගා කිව්වම මම ඇරෙන්න වෙන කවුරුත් නැහැ. එදා මෙදා තුර තාමත් සගා කෙනෙක් ගොඩනැගුණේ නැහැ.ඒ නිසා මම සාගර කියනවට වඩා සගා විදිහට මිනිස්සු අතරට යන්න කැමැතියි.

මාධ්‍යයට සම්බන්ධවූවන් ජනප්‍රිය වුණත් මූල්‍යමය වශයෙන් ස්ථාවර වන්න බොහෝ විට අපහසුයි. නමුත් ඔබ එකී ස්ථර දෙකටම ඉතාමත් කෙටි කාලයක් තුළ ළඟා වී තිබෙනවා. ඒ ආශ්චර්යය සිදුවුණේ කොහොමද?

මම අවුරුදු පහළොවකට කලින් කොළඹට ආවේ රෙදි කෑලි දෙක තුනක් බෑග් එකක දාගෙන. නමුත් මේ වනවිට ජනප්‍රියත්වයෙන් වගේම මූල්‍යමය වශයෙන් ස්ථාවර මට්ටමක මම සිටිනවා. ජීවිතේ වරදින මිනිසුන් සමාජගත කරන්නේ ඒ වැරැද්ද සාධාරණීකරණය කරමිනුයි. එවිට ඒ වැරැද්ද තවදුරටත් වැරැද්දක් ලෙස සමාජගත වන්නේ නැහැ. ඒ නිසාම ඒ වැරදි සමාජයට සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මම කියන්නේ ජීවිතේ වැරදුණ මිනිසුන්ගේ වැරදි ආදර්ශයන් ලබා නොගෙන ඔවුන් නැගී සිටීමට පමණක් හේතු වූ කරුණු ආදර්ශයට ගන්න කියලයි.

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division