Home » නිළියක් වීම මම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් නෙමෙයි

නිළියක් වීම මම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් නෙමෙයි

දිනුකි අතපත්තු

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

– මම මටම දාගත්ත සීමාවන් නිසා ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන්නේ
– හැමෝම ආදරේ කරන දක්ෂ නිළියක් වෙන්නයි මගේ කැමැත්ත

සුරූපී රංගන ශිල්පිනියක් වන දිනුකි අතපත්තු රංගන ක්ෂේත්‍රයට එන්නේ තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණය වන ‘හිච්චි’ ටෙලි නාට්‍යයේ අරුණ්‍යාගේ චරිතය හරහායි. මේ දිනවල ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වෙන දිනුකි අතපත්තු සමඟ කළ සොඳුරු කතාබහකි මේ.

දිනුකි මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල හිච්චි ටෙලිනාට්‍යයේ ෂූටින් තියෙනවා. ඒ එක්කම මොඩ්ලින් වැඩත් කරගෙන යනවා. කාර්යබහුල වීමත් එක්ක නතර කරපු අධ්‍යාපන වැඩ කටයුතු ආයෙමත් පටන් ගන්න හිතලා වැඩ කරගෙන යනවා.

පුංචි තිරයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මම දැනට රඟපාන්නේ තරංග අයියාගේ ‘හිච්චි‘ ටෙලි නාට්‍යය. දැනට ආරාධනා දෙක තුනක් ලැබිලා තියෙනවා. මට ගොඩක් ඕනේ වුණේ හිච්චි ටෙලි නාට්‍යට මුල් තැන දෙන්න. ඉතින් මම වෙන භාර ගත්තේ නැහැ. හිච්චි ටෙලි නාට්‍යය ඉවර වෙනවත් එක්කම මම තව වැඩක් එක්ක එකතු වෙන්න බලන් ඉන්නේ.

මුල්ම රංගනයට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද සහ මුල්ම අත්දැකීම් කොහොමද?

මගේ ගැන තරංග සහ රවී අයියට කියලා තිබ්බේ මිලින්ද මඩුගල්ල අයියා. ඒ හරහා තමා මට ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වේ. එදා ස්ක්‍රීන් ටෙස්ට් දෙකකින් තේරිලා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මුලින්ම නම් පුදුම බයක් තිබ්බේ. තරංග අයියා සහ රවී අයියා එක්ක වැඩ කරද්දී තමයි තේරුණේ මගේ වාසනාවකට මට මුලින්ම ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබුණේ කියලා. කොහොමත් සෙට් එක ඇතුළේ අපි ඉන්නේ යාළුවෝ වගේ. ඒක මට හරිම පහසුවක් වුණා රඟපාන්න.

දිගටම රඟපාන්න ද කැමැත්ත?

ඔව්, අනිවාර්යයෙන්ම. මොකද රඟපාන්න එන්න ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්නවා. ඒත් අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට. එහෙම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉස්සරහට යන්න තමයි දැන් නම් මගේ බලාපොරොත්තුව.

චරිතවලදි සීමාවන් තියෙනවා ද?

ඔව්. නිළියක් වුණාම ඕනෙම චරිතයක් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒත් මම මටම දාගත්ත සීමාවන් තියෙනවා. මම මියුසික් වීඩියෝ කරලා තියෙන්නේ එකයි. ඒ මම හරිම ආස ගායකයෙක් සහ ඒ පිටපතට මම ආස නිසා. මම මටම දා ගත්ත සීමාවන් නිසා ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන්නේ.

චරිතයක් භාර ගන්න කලින් මුලින්ම බලන්නෙ මොනවද?

මුලින්ම නම් බලන්නේ මට ඒ චරිතයට පණ පොවන්න පුළුවන් ද කියන එක. අවස්ථාව ලැබුණු නිසා භාරගෙන මට ඒ චරිතය හරියට කරන්න බැරිවුණොත් මම ෆේල්. ඒ නිසා මූලිකව බලන්නේ මට ඒ චරිතයට කොයිතරම් සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ අම්මා අප්පච්චි අක්කා ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මගේ අම්මා හැමදාම මාත් එක්ක ෂූටින් එනවා. මම කමර්ෂල් එකක හෝ මොඩ්ලින් වැඩකට ගියත් අම්මා මා එක්කම ඉන්නවා. ඒ නිසා මම හින්දා මගෙ අම්මත් ලොකු කට්ටක් කනවා. මම අද තැනක ඉන්නවා නම් එ්කේ සම්පූර්ණ අයිතිය යන්නේ අම්මටයි අප්පච්චිටයි.

ඔබේ වෘත්තීය වෙන්නේ මොකක්ද?

මම රංගනයට තවම අලුත්. මොඩ්ලින් සහ කමර්ෂල් වැඩ තමයි වැඩිපුර කරලා තියෙන්නේ. මේ වෙද්දී වෙ‍ෙළඳ දැන්වීම් 35-40ක් කරලා තියෙනවා. ඒ එක්කම නිමි ඇඳුම් ආයතන 20කට වඩා ඇඳුම් ප්‍රමෝෂන්වලට සහභාගි වෙලා තියෙනවා.

නිළියක් වෙන්න ලැබුණ එක ගැන අද මොකද හිතෙන්නෙ?

මට පොඩි කාලේ ඉඳන් ආසාව තිබ්බේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න. ඒකට අප්පච්චි කැමැති වුණේ නැහැ. මම HR පැත්තෙන් ඉගෙන ගෙන රැකියාවක් කරගෙන යද්දී තමයි 2019 දී මොඩ්ලින් පටන් අරන් අද වෙද්දී නිළියක් වෙලා ඉන්නේ. නිළියක් වීම කියන්නේ මම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් නෙමෙයි. අද මම කැමැතියි රංගනය ගැන ඉගෙන ගෙන ඉස්සරහට ගිහින් හැමෝම ආදරේ කරන දක්ෂ නිළියක් වෙන්න.

ආදරණීය පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු

එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මට නීති දාලා මාව කොටු නොකර, මට මම වෙන්න ඉඩ දෙන එක ගැන මම එයාට ස්තුතිවන්ත වෙනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division