ඇයත් ඔහුත් දැන හඳුනන්නේ බොහෝ කල් සිටය. ඒ දැන හඳුනා ගැනීම ළෙන්ගතු මිතුරු ඇසුරක් දක්වා යන්නට කල්ගත වුයේ නැත. දිනෙන් දින හදවත් බැඳුණ ද ඒ බැඳීම තවත් කෙනෙකුට දැනගන්නට ඉඩක් නොතබන්නට ඔහුත් ඇයත් වගබලා ගත්හ.
“අපි දෙන්නාම රැකියාවල් කරන කාලෙක තමයි අපිට අපිව හමුවුණේ. අදත් හිතාගන්න බැහැ ඇයි අපිට අපි ගැන තනි තීරණයක් ගන්න බැරි වුණේ කියලා. අපේ ප්‍රේමය ගැන කාටවත් කියන්නවත් අපිට ඕන වුණේ නැහැ. ඒ ගැන කවුරුවත් දැන ගන්නවටවත් මම නම් කැමැති වුණේ නැහැ. ඒ නිසාම එයා බොහෝම නිහඬව හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලාගෙන හිටියා. කාලයක් ගෙවිලා ගියා. අපේ ප්‍රේමය අපි ළඟම තියෙද්දි මම වෙන් වෙන්න තීරණය කළා. අදටත් මට හිතා ගන්න බැහැ මම ඇයි එයාට නොකියාම එයාගෙන් වෙන් වුණේ කියලා. අම්මා තාත්තාගෙ කීමට මම විවාහ වුණා. මම විවාහ වෙලා කෙටි කාලයකින් එයත් විවාහ වුණා. ඒත් මගෙ විවාහය සාර්ථක වුණේ නැහැ.
බොහෝම කෙටි කාලයකින් මම නීතියෙන් වෙන් වුණා. මගේ විවාහය අසාර්ථකයි කියලා දැන ගත්ත දවසේ එයා ගොඩාක් කම්පා වුණා. අපි ඉඳහිට හමුවුණා. ඒ ඇස් දෙක දකින කොට මට පුදුම දුකක් දැනෙනවා. අපේ ජීවිත නතර වුණේ අපිටත් නොදැනීමයි. මට අද හිතෙනවා මම එදා කිව්වා නම් අපි කොහේ හරි යමු කියලා එයා ඇයව අතහැරලා මා එක්ක එනවා කියලා. එත් මට කවදාවත් හිතුණේ නැහැ එයාට එහෙම කියන්න. මට ඕන වුණේ එයාගේ ජීවිතේ ලස්සනට තියෙනවා දකින්න විතරයි. අදත් මම විශ්වාස කරනවා එයා සුන්දර ජීවිතයක් ගත කරනවා කියලා. දැන් අපි අවුරුදු ගාණකින් හමුවෙලා නැහැ. මට එයාව දකින්න ඕනකමකුත් නැහැ. මගෙ දෙවැනි විවාහය සිදු වුණේ මීට අවුරුදු පහකට විතර කලින්. කවදාවත් හමුවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු මට එයාව මගෙ මංගල දවසේ හමුවුණා. ඒ කියන්නේ එයා මගෙ මහත්තයාගෙ යාළුවෙක්. එදා එයා ඒ උත්සවයට ආවේ මං ගැන දැනගෙන ද නොදැන ද කියන්න මම අදටත් දන්නේ නැහැ. එයාගේ ඇස්වල කඳුළු දිලිසෙනවා මම දැක්කා. ජීවිතේ පළමු වතාවට හමුවුණ කෙනෙක්ට වගේ එයා මා ළඟට ඇවිල්ලා අතට අත දීලා සුබ පැතුවා. ඊට පස්සේ එයා මගෙ මහත්තයට මොනව මොනවද කියලා ඉක්මනින්ම එතැනින් පිට වෙලා ගියා. ඒ තමයි මම එයාව දැක්ක අවසන් වතාව. අදටත් මගෙ හිතේ සියුම් රිදීමක් තියෙනවා. ඒ රිදමේ වේදනාව කියන්න මට තේරෙන්නේ නැහැ.”
වසර ගණනකට පසු ඇය සිය අතීතය සිහි කරමින් පවසන්නට වූවාය.
මෙවැනි කතා එකක් නොව කිහිපයක්ම ගෙන හැර දක්වන්නට පුළුවනය. ඒ ප්‍රේමයේ හද රිදවන අත්දැකීම්ය.
“ස්නේහයේ හිමිකාරීයේ නුඹ
මනාලිය වූ දා
දුන්නු සෙනෙහස ඉවුරු බිඳලා
මතක ඇහිඳිනවා”
එවන් අත්දැකීමක් ගැන අපට කියන සුමේධ පෙරේරා ගයන මේ ගීතය සංගීතවත් කරන්නේ සංගීතවේදී විමල් දයානන්දයන් විසිනි. ගී පද ඉන්දු උඩුගමගේ ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඔහු මේ වන විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන්නේය.
ගීතයේ අත්දැකීම ගැන වෛද්‍ය ඉන්දු උඩුගම පවසන්නේ මෙවන් කතාවකි.
“මගේ වෘත්තියත් එක්ක මට විවිධ අත්දැකීම් තියෙනවා. ප්‍රේමය නිසා දිවි නසාගත්ත ගැහැනු ළමයි පිරිමි ළමයි ගැන විවිධාකාර අත්දැකීම් තියෙනවා. අනික මේ සමාජයේ ජීවත් වෙද්දි අපි සමාජය දිහා බලාගෙන හිටියාම අපිට හමුවෙනවා ප්‍රේමය නිසා විඳවන, මිනිස්සු වගේම ප්‍රේමය විඳින මිනිස්සුත්. කාලයක් තිස්සේ මේ ලබන අත්දැකීම් මගෙ හිතේ තිබුණා. මට නිතර හිතෙන දෙයක් තමයි කෙනෙක් තවත් කෙනෙකුට ඇත්තටම ප්‍රේම කළා නම් ඒ ප්‍රේමය අහිමි වුණත් ඒ අහිමි වීමෙන් පසුවත් අපි එය සුරකින්න ඕන. ඇගේ ගෞරවය රැකෙන්න ඕන. හැමෝ එක්කම කියලා ඇගේ චරිතය නසන එකවත්, ඇයත් සමඟ ආගිය ගමන් ගැන තවත් අයෙකුට කියමින් ඇගේ ගෞරවය නැති කරන තැනවත් නෙමෙයි ප්‍රේමය තියෙන්නේ. ඇය තමන්ගෙම නූනත් ඇය කොහේ හෝ සතුටින්නම් ඉන්නේ ඒ සතුට ආරක්ෂා කිරීමයි වැදගත්. මම නිතර හිතන දෙයක් තමයි අපේ සමාජය සකස් විය යුත්තේ එතැනටයි කියලා. ඔන්න ඔය අදහසින් තමයි මම මේ ගීතයේ එකතැනක මෙහෙම ලියන්නේ.
“අලුත් ලොවකට දෙපා තැබු නුඹ
ස්නේහයේ නගරේ
සිනා කොඳමල් නිති පිපේවා
නුඹේ ළය මඬලේ”
ඇත්තටම කිව්වොත් එහෙම ප්‍රේම කතා හරි සුන්දරයි.
ස්නේහයේ හිමිකාරීයේ නුඹ
මනාලිය වූ දා
දුන්නු සෙනෙහස ඉවුරු බිඳලා
මතක ඇහිඳිනවා
පැතුම් පොදි බැඳි අතීතේ එක
නිමේෙෂක තනි වී
සුසුම් කැටිකොට සිනාසෙමු අපි
නුහුරු පෙම් ලෝකේ
අලුත් ලොවකට දෙපා තැබු නුඹ
ස්නේහයේ නගරේ
සිනා කොඳමල් නිති පිපේවා
නුඹේ ළය මඩලේ
ගායනය – සුමේධ පෙරේරා
පද රචනය – ඉන්දු උඩුගම
සංගීතය – විමල් දයානන්ද