Home » ‘මාවතගම මාරි’ ඝාතකයන් අල්ලා දුන් සපත්තුවේ ඔත්තුව

‘මාවතගම මාරි’ ඝාතකයන් අල්ලා දුන් සපත්තුවේ ඔත්තුව

by thanushika
June 22, 2024 12:30 am 0 comment

කුරුණෑගල මාවතගම, පිලැස්ස ග්‍රාමසේවා වසමේදී පසුගිය 6 වැනිදා කාන්තාවක සාහසික ලෙස ඝාතනය කර තිබිණි. එම ඝාතනයට අමතරව මුදල් වංචාවක් ද සිදුවී තිබූ එම අපරාධයේ විමර්ශන පොලිසියට පැටලුනු නූල් බෝලයක් මෙන් වූයේ පාර්ශ්ව දෙකක් විසින් එකම කාලයකදී අපරාධ දෙකම සිදුකර තිබූ හෙයිනි.

කෙසේ හෝ මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම කාන්තාව ඝාතනයේ සුලමුල මෙන්ම මුදල් වංචාවේ සුලමුල ද අනාවරණය කර ගත්තේ පැය 72ක් වැනි කෙටි කාලයකදී ඝාතනයට සහ මුදල් වංචාවට අදාළව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. කාන්තාව ඝාතනය සහ මුදල් වංචාවට සම්බන්ධ විමර්ශන පිළිබඳ කතාව පෙළ ගැසෙන්නේ මෙසේ ය.

මාරි රූත් පෙරේරා 62 හැවිරිදිය. සැමියාගෙන් දික්කසාද වී සිටි මාරි සිය දියණියන් දෙදෙනා සමඟ ඉතාලියේ වාසය කළාය. එහෙත් ඇය මාස තුනෙන් තුනට මෙන් ලංකාවට පැමිණ මාවතගම, පිලැස්ස ග්‍රාමයේ සිය නිවසේ ටික කාලයක් ගතකර නැවත ඉතාලියට යෑමට කලක සිටම පුරුදුව සිටියාය. පසුගිය මැයි 30 වැනිදා මාරි සුපුරුදු පරිදි මෙරටට පැමිණියාය. ඇගේ පාසල් මිතුරිය ජූඩ් ඈන් ද මාවතගම නගරයේ පදිංචිව සිටින්නීය.

“ඈන් මං 30 වැනිදා ලංකාවට එනවා… මාව එයාපෝට් එකෙන් ගන්න එන්න පුළුවන් නේද…?” යැයි මාරි දුරකතන ඇමතුමක් දෙමින් ඈන්ගෙන් විමසුවාය.

අනතුරුව 30 වැනිදා ඈන් නිතරම ගමන් යන වෑන් රථයක් කුලියට ගෙන ඇගේ සැමියා සමඟ මාරිව කැඳවාගෙන ඒමට ගුවන් තොටුපොළට ගියාය. වෑන් රථයෙන් මාවතගමට පැමිණි මාරි 30 වැනිදා රාත්‍රිය මිතුරිය ඈන්ගේ නිවසේ ගත කළාය. 31 වැනිදා පෙරවරුවේ නැවත වෑන් රථය ගෙන්වා ගත් මාරි ඇය රැගෙන ආ ගමන්මලු ද පටවාගෙන මාවතගම සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ආසන්නව පිහිටා ඇති තම නිවසට පැමිණියාය.

එම නිවස අක්කර භාගයකට අධික භූමියකින් යුත් ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පැරැණි වලව්වක් මෙන් විශාල නිවසකි. මුර කුටියකින්ද සමන්විත නිවසේ ඉදිරිපස තාප්පවලින්ද පිටුපස කුඹුරකට මායිම්ව පිහිටියේය. කුඹුර දෙසින් නිවස දෙසට වැටකඩුලු කිසිවක් නොතිබිණි.

31 වැනිදා නිවස අස්පස් කළ මාරි නැවත එදින රාත්‍රියේ මිතුරියගේ නිවසට ගියාය. ජුනි 1 වැනිදා මිතුරිය මාර්ගයෙන් මාරි සිය නිවසට මුරකරුවකු සොයා ගත්තාය. ඔහු විපුලරත්න හෙවත් රංජිය. 50 හැවිරිදි විපුලරත්න පිටගම්කාරයෙකි. එහෙත් ඔහු විවාහ වී සිටියේ පිලැස්සට යාබද මීතැන්වල ග්‍රාමයෙනි. 1 වැනිදා දින ද මාරි මිතුරිය සහ මුරකරු, ඔහුගේ බිරිය ද කැටුව වත්තපිටිය සුද්ධ පවිත්‍ර කළාය. එදින රාත්‍රිය ද මුරකරු සහ ඔහුගේ බිරිය එම නිවසේ මුරකුටියේ සිටියදී මාරි සිය මිතුරියගේ නිවසට ගියාය. දෙවැනිදා දින රාත්‍රිය මාරි තමාගේ නිවසේ ගතකරද්දී මුරකරු සහ බිරිය ද මුරකුටියේ සිටියහ. දෙවැනිදා දින මාරිට අමුතුම අදහසක් පහළ විය. ඒ තම ගෙවත්තේ නිධානයක් ඇති බවයි.

ඒ බව මාරි ඒ වන විට ඇය ගමන්බිමන් යාමට යොදාගත් වෑන් රථයේ රියැදුරුට පැවැසුවේ නිධානය ගැනීමට ක්‍රමෝපායක් ද විමසමිනි.

“මැඩම් ඔය නිධාන වගේ දේවල් ගන්න වැඩ කරන මං දන්න හාමුදුරුනමක්නම් ඉන්නවා මැදිරිගිරියේ… ඕනෙනම් මං හාමුදුරුවන්ගෙන් අහලා කියන්නම්…“ යැයි රියැදුරු මාරිට කීවේය.

මුරකරු ඒ බව එම හාමුදුරුවන්ගෙන් විමසා මාරි දැනුවත් කළේ, ‘මැඩම් පරීක්ෂා කරන්න… ඉඩමේ පස් ටිකක් අරගෙන එන්න කියලා හාමුදුරුවෝ…‘ කීවා යැයි කියමිනි. අනතුරුව මාරි සහ රියැදුරු එක්ව වත්තෙහි මුරකරු වන විපුලරත්නට හොර රහසේ ඉඩමෙන් පස් ප්‍රමාණයක් ගත්තේය. එම පස් රියැදුරු මැදිරිගිරියට රැගෙන ගියේ 3 වැනිදාය. පසුදා 4 වැනිදා එම හාමුදුරුවන් පස් පරික්ෂාකොට කියා සිටියේ ඉඩමේ නිධානයක් තිබෙන බවය.

එදිනම හාමුදුරුවන් මාරිගේ නිවසට පැමිණියේ ගෝලයෙක් ද සමඟිනි. මුරකරුට හොර රහසේ ඉඩමේ තැනක් පෙන්වා එම ස්ථානය ශුද්ධකොට අඩියක් පමණ ගැඹුරට හාරා තබන ලෙස හාමුදුරුවන් මාරිව දැනුවත්කොට පිටව ගියහ. ඒ සමඟම මාරි විසින් කුණු වළක් හාරනවා යැයි හඟවා මුරකරු ලවා එම ස්ථානයේ අඩියක් ගැඹුරැති තුනයි හයේ දිග පළලට කැණීමක් සිදු කළේය. 5 වැනිදාට උදා විය. එදින අලුයම මාරි, මුරකරු සහ ඔහුගේ බිරිය, මිතුරිය ඈන් සමඟ වෑන් රථයෙන් පුත්තලමට ගොස් තලවිල ඇතුළු පූජනීය ස්ථාන වැඳපුදා ගෙන දහවල් 12 වෙද්දී කුරුණෑගලට පැමිණියේය. එහිදී මාරි මුරකරු ඇමතුවාය.

“ගෙදර පොඩි ශාන්තිකර්මයක් කරනවා… ඔය දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ… මොකද මගේ පවුලේ කට්ටියම එදාට එනවා… ඒක නිසා ඔය දෙන්න දැන් යන්න… ගිහිල්ලා වෙන දවසක එන්න…“ යැයි කියමින් මුරකරු අතට රුපියල් දසදහසක මුදලක්ද දුන්නාය.

අනතුරුව මුරකරු සහ බිරිය කුරුණෑගලින් වෑන් රථයෙන් බස්සවා මාරි සහ ඈන් වෑන් රථයෙන් මාරිගේ නිවසට පැමිණියෝය. ආ සැණින් නැවත වෑන් රථය පිටත්කර යැවුණේ ඒ වන විට මග එමින් සිටි හාමුදුරුවන් නිවසට කැඳවාගෙන ඒම සඳහාය. එහිදී මාරි රියැදුරුට රුපියල් 20,000ක මුදලක් ද දුන්නේ හාමුදුරුවන් දුන් පූජා භාණ්ඩ ලැයිස්තුව ද නගරයෙන් රැගෙන එන ලෙස කියමිනි. පස්වැනිදා පස්වරුව වෙද්දී හාමුදුරුවෝ ගෝලයා සමඟ නිවසට පැමිණ ශාන්තිකර්මය සිදු කළහ. එහිදී බහිරවයාගෙන් ආරක්ෂා වීම සඳහා කිසිවකුත් තනි නොවී සිටිය යුතු බව හාමුදුරුවෝ පැවැසූහ. එම නිසා මාරි සහ ඈන් එක් කාමරයක ද රියැදුරු සහ ගෝලයා තවත් කාමරයක සිටියදී හාමුදුරුවන් තනිව ශාන්තිකර්මය සිදු කළහ.

හාමුදුරුවන් සහ ගෝලයා පැමිණෙද්දී කාන්තාවන් දෙදෙනාට හොර රහසේ කළුගලින් නිමැවූ නිදන් වස්තුවක් සේ ව්‍යාජ ‘ඩමියක්‘ද රැගෙන පැමිණ තිබිණි. ඔවුන් එය ශාන්තිකර්මය අතරේදී විශාල පලතුරු වට්ටියක් සාදා ඒ තුළ තැබුවේ කිසිවකුටත් නොපෙනෙන ලෙසිනි. රාත්‍රියේ අඩියක් ගැඹුරට හාරා තිබූ වළ නැවත හාරන්නට වූයේ රියැදුරු සහ හාමුදුරුවන්ගේ ගෝලයා විසිනි. ඒ මොහොතේ හාමුදුරුවන් කාමරයක් තුළ විකාර ස්තෝත්‍ර කියමින් සිටියදී කාන්තාවන් දෙදෙනා වෙනත් කාමරයක සිටියාය.

හැරූ වළ අසලට රැගෙන ගිය පලතුරු වට්ටියෙන් කාන්තාවන් දෙදෙනාට හොර රහසේ නිදන් ගල ගත් දෙදෙනා එය වළෙහි තැන්පත් කළෝය. මද වේලාවක් ගත විය.

“හාමුදුරුවනේ… වළ ළඟින් ගඳක් වගේ එනවා…“ යැයි වළ කපමින් සිටි අයෙක් දිවවිත් හාමුදුරුවන් දැනුවත් කළේය.

“ආ… එහෙමද එහෙනම් වැඩේ හරි…“ යැයි කී හාමුදුරුවෝ කාන්තාවන් දෙදෙනාද කැටුව කපමින් සිටි වළ අසලට පැමිණියහ. පිරිස විදුලි පන්දම් එළියෙන් ඒ වන විට හාරමින් තිබූ වළ දෙස කුතුහලයෙන් මෙන් බලමින් සිටියදී නිධානයක් වැනි වස්තුවක් මතුවන්නට වූයේ කාන්තාවන් දෙදෙනා විස්මයට පත්කරවමිනි. ඒ ඊට මඳ වේලාවකට පෙර තැබූ ව්‍යාජ නිදන් වස්තුවයි.

රතු රෙද්දක් අතැතිව වළට බැසගත් මාරිට එම වස්තුව වළෙන් ගොඩට ගන්නා ලෙස හාමුදුරුවෝ පැවැසූහ. එම ව්‍යාජ නිදන් වස්තුව හාමුදුරුවන්ගේ ගෝලයාගේ නිර්මාණයකි. එය ඉතා අපූරුවට නිමවා තිබිණි.

ලබාගත් එම නිදන් වස්තුව ඉතා බලවත් හෙයින් අල්මාරියේ තැන්පත් කරන ලෙස හාමුදුරුවෝ මාරිට කීහ.

“මේකට යක්කු එනවා… ඒක නිසා මෙය පේ කරන්න ජයශ්‍රී මහා බෝධිය ළඟට ගෙනියන්න ඕන… ඒකට අටපිරිකර 1004ක් ඕන… කිරිබත් කැට 2004ක් ඕන… ඒ වගේම මේකේ බාරේ ඔප්පු කරන්න ලක්ෂ 75ක් විතර යනවා…“ යැයි හාමුදුරුවන් පැවැසුවේ ඇඟටපතට නොදැනෙන ලෙසිනි.

එහෙත් එතරම් මුදලක් තමන් සතුව නොමැති බව කියමින් මාරි හඬා වැළපෙන්නට වූවාය. පසුව එම මුදල ලක්ෂ 35 දක්වා හාමුදුරුවන් විසින් අඩු කරන ලදි. එතරම් මුදලක්ද මාරි සතුව නොවීය.

“එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ… මේක පේ කළේ නැත්නම් පවුල් පිටින් විනාශ වේවි…“ යැයි හාමුදුරුවෝ පවසන්නට වූයේ දැඩි ස්වරයෙනි.

ඒ සමඟම මාරිගේ මිතුරිය ඈන් කීවේ, ‘මගේ ළඟ ලක්ෂ 10ක විතර ෆික්ස් එකක් තියෙනවා… ඒක මං හෙට උදේ අරන් දෙන්නම්…‘ කියාය. එදින රාත්‍රියේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනා එම නිවසේ ගත කළහ. පසුදා රියැදුරා සමඟ ඈන් මාවතගම මූල්‍ය ආයතනයකට පැමිණ රුපියල් ලක්ෂ 10 තැන්පතුව ලබා ගනිද්දී මාරිගේ ගෙල බැඳි රන් මාලයක්ද උකස්කොට රුපියල් 1,188,000ක මුදලක් රැස්කර ගැනීමට මාරිට හැකි විය.

ඇය එම මුදල හාමුදුරුවන්ට පිරිනැමුවාය. ඊට මදිපාඩු මුදල තමන් යොදවා පූජා භාණ්ඩ ද රැගෙන බහිරවයා එළවීමට එන බව පවසා හාමුදුරුවන් සිය ගෝලයා සහ රියැදුරු පිටව ගියේ 6 වැනිදා දහවල් කාලයේය.

නිවසෙන් පිටව ගිය තිදෙනා අතරමඟදී එම මුදල් බෙදා ගත්තේ රියැදුරුට රුපියල් ලක්ෂ තුනහමාරක්ද නිධන් ගල නිමැවූ ගෝලයාට ලක්ෂ දෙකක්ද දී ඉතිරිය හාමුදුරුවන් සතුව ද තබා ගනිමිනි. නිවසේ සිටි මාරි සහ ඈන් නිවස අස්පස්කර දැමූහ. පසුව ඈන් ඇගේ නිවසේ බල්ලන්ට කෑම දී සැණින් එන බව පවසා පිටව ගියාය.

නැවත ඇය රාත්‍රී 7.25 පමණ වෙද්දී ත්‍රිරෝද රථයකින් මාරිගේ නිවසට පැමිණියාය. ඇය, ‘මාරි… මාරි…‘ යැයි කියමින් කතා කළාය. එහෙත් කිසිම ප්‍රතිචාරයක් නොවීය. මඳක් පරීක්ෂා කරද්දී ඈන් දුටුවේ ශාන්තිකර්මය කළ කාමරය අසල මාරි ලේ විලක් මැද වැටි සිටින ආකාරයයි. විලාප නඟමින් කෑගැසූ ඈන්ගේ විලාපයට අවට කිහිප දෙනෙක්ද එක්රොක් වූහ.

ඒ සමඟම මාරිට සිදුවූ අපරාධය මාවතගම පොලිසිය දැනුවත් කෙරුණේ 119 ඇමතුමකිනි. එම ඇමතුමට අනුව විනාඩි 10ක් යද්දී එනම් රාත්‍රී 8.10 වෙද්දී කණ්ඩායමක් සමඟ එම ස්ථානයට පැමිණියේ මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චිය. මාරිගේ එම සාහසික ඝාතනය ගැන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත්කොට මූලික විමර්ශන ඇරැඹි පොලිස් ස්ථානාධිපතිවරයාට රාත්‍රී 11ට පමණ වෙද්දී ඒ වන විට මාරි සමඟ ගමන්බිමන් ගිය වෑන් රථ රියැදුරු ගැන තොරතුරක් ලැබුණේ එම වෑන් රථය ආසන්න දොරටියාව ගමේ නිවසක වෑන් රථයක් බව සඳහන් කරමිනි.

පොලිස් ස්ථානාධිපතිවරයා සැණින් එම නිවස සොයා ගියේය. වෑන්රථ රියැදුරු නිවසේ සිටියේය. ඔහු පොලිසිය භාරයට ගෙන නිවස පරීක්ෂාවේදී නිදන් අනුරුවක් ද සමඟ ලක්ෂ තුනහමාරක මුදලක් ද සොයා ගැනිණි.

ඔහුගෙන් ප්‍රශ්න කෙරුණේ මාරිට සිදුවූ අපරාධය ගැන විමසමිනි.

“සර්, අනේ අපිනම් මිනීමැරුවේ නෑ සර්… අපි කළේ නිදන් ගලක් වගේ බොරු ඩමියක් හදලා ලක්ෂ 11ක් අරන් ‍ෙබදාගත්ත එක විතරයි…“ යැයි ඔහු කීවේය.

ඔහුගේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් විමර්ශන සිදු කරද්දී පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ 7 වැනිදා අලුයම් කාලයේම ගොස් මාරිගේ නිවස පිටුපස කුඹුර සහ ඒ අවට පරික්ෂා කළේ විදුලි පන්දම් යොදා ගනිමිනි. එහිදී කුඹුරේ තිබී ලේස් නොමැති සපත්තු දෙකක් සහ සුදු පැහැති පාවහන් යුගලක් ද කුඹුරේ එරී තිබෙන ආකාරය දුටුවේය. එම පාවහන් එසේ තිබියදී 7 වැනිදා පෙරවරුවේ SOCO නිලධාරින්ද විමර්ශනවලට කැඳවීය. ජංගම දුරකතනයක් ද හාරන ලද වළ ආසන්නයේ වැටී තිබියදී පොලිස් නිලධාරින්ට හමු විය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන ද එම ස්ථානයට පැමිණියේය. පිලැස්ස මහේස්ත්‍රාත් දසනායක මහත්මිය ද පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරමින් නිවස පරික්ෂාවට ලක් කළාය. එහිදී වසා තිබූ අල්මාරියක තිබී රතු පැහැති රෙදිකඩකින් ඔතන ලද නිදන් වස්තුවක් හා සමාන කළුගලින් නිමැවුවක් හමු විය. මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත එය කඩා පරික්ෂා කරද්දී දුටුවේ තිරිවානා ගල් හතක් සහ කුප්පියක තිබූ පොල්තෙල් ස්වල්පයකි.

එලෙස මාරිගේ ඝාතනයේ විමර්ශන සිදුවෙද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම අවට සීසීටීවී කැමරා පරීක්ෂාවේදී එක් නිවසක සීසීටීවී කැමරාවක සටහන් වූයේ ටීෂර්ටයක් ඇඳගත් අයෙක් හය වැනිදා රාත්‍රී 8.15ට පමණ එම මාර්ගයේ ගමන් කරන ආකාරයයි. එම සීසීටීවී කැමරාවේ ‘වොයිස් රෙකෝඩින්‘ද සටහන් වි තිබිණි. එහි වූයේ ‘අයියේ… අයියේ… අපේ ට්‍රැක්ටර් කැඩුණා… ත්‍රිවිල් එකක් නැද්ද…‘ කියා අසන ආකාරයයි. ඒ අසල නිවසේ ත්‍රිරෝද රථයක් ද තිබිණි. ඔහුගෙන් හෙළි වූයේ කුඹුරේ වැඩ කළ දෙදෙනෙකු මඩ සමඟ එදින රාත්‍රියේ රුපියල් 1200ක් දී කුරුණෑගලට කුලී ගමනක් ගිය බවය.

මුදල් වංචාව කළ තිදෙනාගෙන් සෙසු දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඒ වන විට අත්අඩංගුවට ගෙන සිටි රියැදුරුට කියා හාමුදුරුනමට ඇමතුමක් දුන්නේ, ‘මැඩම් ඉතිරි සල්ලි දෙන බව කී නිසා එම මුදල් රැගෙන යාමට එන‘ ලෙස කියමිනි. 7 වැනිදා දහවලේ හාමුදුරුවන් සහ ගෝලයා මැදිරිගිරියේ සිට පැමිණියේය. ඒ වන විට ගෝලයා දිග කලිසමකින් සිටියදී හාමුදුරුවන් සේ පෙනී සිටි තැනැත්තා කොට කලිසමකින් සිටියේ විශාල ගමන්මල්ලක් ද අතැතිවය. එහි සිවුර තිබිණි. දෙදෙනාම අත්අඩංගුවට ගැනිණි. තිදෙනාගේ ප්‍රකාශවලින් ඔවුන් මුදල් වංචාව පමණක් සිදු කළ ආකාරයද අනාවරණය වීමත් සමඟ විමර්ශන නිලධාරින් මාරිගේ ඝාතකයන් සොයා විමර්ශන පුළුල් කරන්නට විය.

එහිදී වත්තේ වැටි තිබී හමුවූ මාරිගේ දුරකතනය පරික්ෂාවේදී එය ඇය මෙරටට පැමිණි පසු භාවිත කළ දුරකතනයක් බව හෙළි විය. එහි විපුලසේන නමින් ‘සේව්‘ කර තිබූ දුරකතන අංකයෙන් 6 වැනිදා සවස 6.54ට දුරකතන ඇමතුමක් ලැබී තිබෙන ආකාරය දිස් විය. එම දුරකතනයේ මාරි ඇතුළු පිරිස තලවිල පල්ලි ගිය දින මාරි, මුරකරු සමඟ ලබාගත් ඡායාරූපයක් විය. එම ඡායාරූපය පරික්ෂාවේදී පොලිස් නිලධාරින් දුටුවේ මුරකරු පැලඳ සිටි සපත්තු යුගලය කුඹුරේ එරි තිබී හමුවූ ලේස් නොමැති සපත්තු යුගලයම බවයි.

ඉන් විමර්ශන නිලධාරින්ගේ ප්‍රධානතම සැකය මාරිගේ ඝාතකයා මුරකරුවා බවට ඒත්තු යන්නට විය. ඒ අනුව පොලිසිය විපුලරත්න පසුපස පන්නන්ට විය. පසුගිය 9 වැනිදා මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබුණේ විපුලරත්න අඹන්පොළින් ත්‍රිරෝද රථයකින් බැස ගොස් ඇති බවය. ඒ අතරේ පිලැස්ස ග්‍රාමයේ පුද්ගලයකුට විපුලරත්න ණයවී සිටියේය. ඔහු පොලිසියට කැඳවා විපුලරත්නට දුරකතන ඇමතුමක් ගත් අතර ඊට ප්‍රතිචාර දක්වන අතරේ විපුලරත්න පියාජියෝ වැනි ත්‍රිරෝද රථයක ගමන් ගන්නා හඬක්ද ඇසිණි.

නව වැනිදා සවස් වෙද්දී මාවතගම පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් අඹන්පොළ පොලිසියට ගියේය. විපුලරත්න ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු සොයාගත් නිලධාරින් ඔහු අඹන්පොළ පොලිසියට ගෙන්වා ප්‍රශ්න කෙළේය. එහිදී ඔහුගෙන් විපුලරත්නගේ මිතුරෙක් ගැන හෙළි විය. ඔහු 48 හැවිරිදි ධනසිරි බවත් ධනසිරිගේ නිවසට පැමිණි අයෙක් කුලී ගමන් යන බව හෙළි විය. ධනසිරි ද අඹන්පොළ පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කැරිණි.

“සර්… විපුලේ මගේ පරණ යාළුවෙක්… පහුගිය පස්වැනිදා පවුලත් එක්ක අපේ ගෙදර ආවා… හැබැයි සර් අද 11ට විතර එයාගේ පවුලත් එක්කම ත්‍රිවිල් එකකින් විලච්චියේ යනවා කියලා ගියා…“ යැයි ධනසිරි පැවැසීය.

ඊට අමතරව ධනසිරි තවත් නොයෙක් කතා කියන්නට විය. ඒ අතරේ ඔහු නවතම පාවහන් යුගලක් පැලඳ සිටි ආකාරයක්ද පොලිස් නිලධාරින් දුටුවේය. ධනසිරි අඹන්පොළ පෙලිසියේ සිටියදී මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ ධනසිරිගේ නිවසට ගියේය. ඔහුට කුඩා දරුවන් සිවුදෙනෙකි. බිරිය මෑතකදී මියගොසිනි. පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ දුරකතනයේ තිබූ මඩෙහි එරී තිබූ පාවහන් යුගලේ ඡායාරූපයක් එක් දරුවකුට පෙන්වීය.

“අනේ අංකල් මේ අපේ තාත්තගේ සෙරෙප්පු දෙකනේ…“ යැයි දරුවා පැවැසීය. ඒ සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා අඹන්පොළ පොලිසියට පැමිණ ධනසිරිට පෙන්වූයේ මාරි ඝාතනය වී සිටින ආකාරයයි. එහිදී පොලිසිය ඒ වන විට සොයාගෙන තිබූ තොරතුරු ඔස්සේ ධනසිරිට ගැලවීමක් නොමැති තැන සියල්ල පාපෝච්චාරණය කළේ නිවස මංකොල්ල කෑමට ගිය බවත් එහිදී කාන්තාව කෑගැසූ නිසා විපුලරත්න ගෙල කැපූ බව කියමිනි. කාන්තාව ඝාතනය කිරීමෙන් පසු නිවසේ තිබූ රුපියල් 36000ක මුදල රැගෙන එද්දී දෙදෙනා වෙලේ වැටී මඩ තැවරුණු බවද කීවේය. පසුව ත්‍රිරෝද රථයක් කුලියට ගෙන කුරුණෑගලට පැමිණ රුපියල් 6000ක් කුලිය ගෙවා ත්‍රීවිලරයකින් අඹන්පොළට පැමිණි බව හෙළි කළේය. ධනසිරි අත්අඩංගුවට ගෙන විපුලරත්න ගැන විමසීය.

“සර්… විලච්චියේ සෝමෙලයි ගෙදර යනවා කියලා ගියේ…“ යැයි ධනසිරි ‘සෝමේ‘ යන නමක් කීවේය.

පොලිස් නිලධාරින් 9 වැනිදා මහ රාත්‍රියේ අඹන්පොළ සිටින විලච්චියේ සෝමේගේ නිවස දත් අයෙක් සොයා ගත්තේය. ඔහු සෝමේගේ නිවස පෙන්වීමට ඉදිරිපත් විය. පසුව ඔහු සමඟ විලච්චියට ගොස් තන්තිරිමලේ මාර්ගයේ 6 කණුවේ පිහිටි සෝමේගේ නිවසේ නිදා සිටි විපුලරත්න අත්අඩංගුවට ගත්තේ 10 වැනිදා අලුයම 3ට පමණය. අත්අඩංගුවට ගත් විපුලරත්න සියල්ල පාපෝච්චාරණය කරමින් කීවේ 5 වැනිදා පුත්තලමේ ගොස් පැමිණ කුරුණෑගලින් වෑන් රථයෙන් බැසීමෙන් පසු බිරිය සමඟ අඹන්පොළ ධනසිරිගේ නිවසට ගිය බවයි. එහිදී දෙදෙනා කසිප්පු පානය කරමින් සිටියදී ඉතාලියේ සිට පැමිණි මාරි ගැන කතා වූයේ ‘ගේමක්‘ දෙමු යැයි කියමිනි. පසුව දෙදෙනා 6 වැනිදා සවස 4ට පමණ ධනසිරිගේ නිවසේ තිබූ උල් පිහියක්ද රැගෙන බසයක නැඟී කුරුණෑගලට පැමිණ එහිදී අවන්හලකින් මත්පැන් පානයකොට හැන්දෑ වෙද්දී බසයක නැඟි පිලැස්ස උසාවිය අසලට පැමිණි බවය. එහි මාරිගේ නිවස ඉදිරිපිටම පැමිණ දුරකතන ඇමතුමක් දී තිබුණේ සවස 6.54ටය.

නිවසේ සිට මීටර් 25ක් පමණ දුරින් පිහිටි ගේට්ටුව අසලට පැමිණ ගේට්ටුව ඇර විපුලරත්න නිවසට කැඳවාගෙන එද්දී ධනසිරි ද හොර රහසේ පසුපසින් නිවස තුළටම ගියේය. එහිදී විපුලරත්න මුදල් ඉල්ලුවේ හාමුදුරුවන්ට දුන්නේනම් අපටත් දෙන ලෙස කියමිනි. එහිදී මාරි මුදල් නැතැයි කී විට විපුලරත්න මාරිට පහරක් ගැසීය. ඒ සමඟම මාරි විලාප තියමින් ඇද වැටීමත් සමඟ පිටුපස සිටි ධනසිරි පැමිණ උල් පිහියෙන් ඇන තිබුණේ ඇගේ උගුර පසාරු කරගෙන යන්නටය. ධනසිරිගෙන් පිහිය උදුරාගත් විපුලරත්න ලේ විලක් මැද ඇද වැටී විලාප තියමින් සිටි මාරිගේ ගෙල හිත්පිත් නැත්තකු විලසින් දෙවරකට කපා දමා තිබුණේ ඇගේ ජීවිතය අවසන් කරමිනි. රාත්‍රී 7.20ට පමණ වන විට මාරි ඝාතනය කළ දෙදෙනා ඇගේ පොකැට්ටුවේ තිබූ රුපියල් 36000ක මුදල රැගෙන මේසය මත තිබූ ඉතාලියෙන් ගෙන ආ නවතම දුරකතනය ද මාරි මෙරටදී භාවිත කළ දුරකතනය ද රැගෙන අල්මාරියක්ද ඇද දැමීය.

ඒ මොහොතේ ත්‍රීවිලරයකින් නිවසට මාරිගේ මිතුරියගේ පැමිණිමත් සමඟ කලබල වූ දෙදෙනා පිටුපස දොරෙන් පැන යද්දී දෙදෙනා ගත් මාරි භාවිත කළ දුරකතනය වත්තේ වැටිණි. මාරි ඝාතනයට භාවිත කළ උල් පිහිය ද වත්තේ වැටී තිබියදී අත්අඩංගුවට ගත් විපුලරත්නගේ අනාවරණයෙන් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

පැය 72ක් ඉක්ම යන්නටත් මත්තෙන් මාරිගේ ජීවිතය අවසන් කළ දෙදෙනා සහ මුදල් සොරකම් කළ තිදෙනා ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කළ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන හේරත්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිනී නිල්මිණි චන්ද්‍රරත්නගේ අධීක්ෂණයෙන් මාවතගම පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රත්නායක, සැරයන්වරුන් වන 58639 චන්ද්‍රසිරි, 52453 සුරවීර, 24212 ඒකනායක සහ 68419 රත්නායක යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.

ඡායාරූප – කුරුණෑගල අතිරේක

පුෂ්පකුමාර ජයරත්න

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division