Home » කුඩු සල්ලිවලින් සැප වින්ද මාතලේ අඹුසැමියෝ

කුඩු සල්ලිවලින් සැප වින්ද මාතලේ අඹුසැමියෝ

සීසීටීවී 20යි: තාප්පෙත් අඩි 20ක් උසයි

by thanushika
June 29, 2024 12:30 am 0 comment

මත්කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීම අරමුණු කරගෙන රට වටා දියත් කර ඇති යුක්තිය මෙහෙයුමට සමගාමීව මාතලේ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් සැපවත් ජීවිතයක් ගත කළ අඹුසැමි යුවළක් කොටුකර ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට පසුගියදා හැකි විය.

මෙම අඹුසැමියන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරු අනුව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු ක්‍රියාත්මක වූ මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 22 වැනිදා මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ එම දෙපළ පදිංචිව සිටි බව පැවසෙන නිවෙසක් පරික්ෂාවට ලක්කරන ලදි. එසේ පරීක්ෂාවට ලක්කළ නිවසේ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 5567ක් සමඟිනි. අත්අඩංගුවට ගත් කත මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණයේ අවසරය මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරිණි.

ඉන්පසු මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ විසින් මෙම සැකකාර කාන්තාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන ලදි. එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර කාන්තාව විසින් රුපියල් 2,41,500.00ක් පමණ වටිනා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් සහ ඇගේ සැමියා විසින් රුපියල් 26,50,000.00ක් පමණ වටිනා වෑන් රථයක් මිලදී ගෙන පරිහරණය කරන බවය.

මේ අතරේ මෙම කාන්තාවගේ සැමියා කඩුගන්නාව ප්‍රදේශයේ හෝටල් කාමරයක රැඳී සිටියදී හෙරොයින් මිලිග්‍රෑම් 2780ක් සමඟ අත්අඩංගුවට ගැනීමට කතඩුගන්නාව පොලිසියේ නිලධාරින් පිරිසකට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ ඉතා වටිනාකමින් යුත් යතුරුපැදිය සහ වෑන් රථයද තිබී ඇති අතර එම දේපළ කඩුගන්නාව පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම අඹුසැමියන් සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන සිදුකළ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා කිසිම රැකියාවක්, ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක නොයෙදන බවය. වෑන් රථය සහ යතුරුපැදිය මිලදී ගැනීමට ප්‍රකට ආදායමකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවද මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සැකකාර අඹුසැමියන් පදිංචිව සිටි බව පැවසෙන දෙමහල් නිවෙසේ බිම්මහල සම්පූර්ණයෙන් ඉදිකර තිබෙන බවත් නිවෙස වටා අඩි 20ක පමණ උසට තාප්පයක් ඉදිකර තිබෙන බවත් නිවෙස අවට සී.සී.ටී.වි.කැමරා 20ක් පමණ සවිකර තිබුණු බවත් පොලිස් නිලධාරීන්ට නිරික්ෂණය වී ඇති අතර එම නිවෙස තුළ විදුලි ජනන යන්ත්‍රයන් ඇතුළු වටිනා භාණ්ඩ රැසක්ද තිබී ඇත.

පසුගිය ජුනි මස 12 දින මාතලේ සහකාර පොලිස් අධිකාරි (11) යූ.ජී.පී.කේ. රත්නායක විසින් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(01) වගන්ති ප්‍රකාරව දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් මෙම අඹුසැමි යුවළ සතුව තිබුණු බව පැවසෙන දේපළ සඳහා නිකුත් කර එම දේපළ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස මාතලේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් මත, මාතලේ සහකාර පොලිස් අධිකාරි (11) යූ.ජී.පී.කේ. රත්නායකගේ අධීක්ෂණයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක බස්නායක, උප පොලිස් පරීක්ෂක ඉන්දික, උප පොලිස් පරීක්ෂක විජිත බණ්ඩාර, සැරයන්වරුන් වන (6762) ජයසේන, (20749) ප්‍රේමසිරි, (57191) සාලිය, (29804) දිසානායක, (5717) ත්‍යාගරාජා, (26743) ගුණවර්ධන, කාන්තා පොලිස් සැරයන් (6511) අත්තනායක, සැරයන් (57134) සීලරත්න, කොස්තාපල් (72181) නාලක ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබති.

කටුගස්තොට - එස්.ජී. විජේරත්න, උකුවෙල - ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division